මේ ආණ්ඩුව ඇලෝසියස්ලාට දඩුවම් දෙන්නෙ නෑ – වසන්ත සමරසිංහ

මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකු මුදලින් රුපියල් මිලියන 31,000ක් ලබාදී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තා මඟින් තහවුරු කර ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ අනාවරණය කරයි. එම රුපියල් මිලියන 31,000න් පමණක් අර්ජුන් ඇලෝසියස් ලැබූ ලාභය රුපියල් මිලියන 4,600ක් බව සමරසිංහ මහතා කියයි.
ලබාදුන් එම ණය මුදලට මහ බැංකුව විසින් රුපියල් මිලියන 21ක දඩ මුදලක් නියම කර ඇති බවද සමරසිංහ මහතා කියයි. සුප්‍රසිද්ධ මහ බැංකු බැඳුම්කර කොල්ලය හරහා රජයට සිදු වී ඇති මූල්‍ය හා දේපළ විනාශය මේ වනවිට රුපියල් මිලියන 55,850ක් වන අතර 2015 වසරේදී මහ බැංකු බැඳුම්කර පොලී අනුපාත ඉහළ යෑම නිසා ඇස්තමේන්තු කළ පොලියට අමතරව රුපියල් මිලියන 69,000ක් වැඩිපුර ගෙවා ඇති බවත් එයින් ගෙවීමට සිදුවූ පොලිය රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් පන්දහසක් (රු.මි. 1,45,000) බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඊට අමතරව මේ වංචාවෙන් විශාලම පාඩුව සිදුවූයේ සේවක අර්ථසාධක අරමුදලට වන අතර එය රුපියල් මිලියන 15,000ක් බවත් සඳහන් කරන ඒ මහතා පවසන්නේ 2015 වසරේ සිට මේ වංචාව හේතුවෙන් ජනතාව පොලී ගෙවමින් සිටින බවයි.
වංචාවට අදාළව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සේවක අර්ථසාධක ද්විතීයික වෙළෙඳපොළ හරහා බැඳුම්කර මිලදී ගැනීම නතර කළද 2015 පෙබරවාරි 27දා සිට පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම හරහා මහ බැංකුවටත් සේවක අර්ථසාධක අරමුදලටත් සිදුවූ අලාභය නැවත අයකර ගැනීමටත් දූෂිතයන්ට දඬුවම් දීමටත් කිසිදු පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ඔහු සැක පළ කරයි.
සේවක අර්ථසාධක අරමුදලට සිදුවූ රුපියල් මිලියන 15,000 පාඩුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවෙන් ක්‍රියාමාර්ග නොගන්නා බවත් හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ගැසට් වාර්තාවක් ඉදිරිපත් කළේ ජනතාව නොමඟ යැවීමට බවත් සමරසිංහ මහතා චෝදනා කරයි.
ඔහු වැඩිදුරටත් පැවැසුවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ අභ්‍යන්තර විගණන වාර්තා ඇතුළු පිටු 225ක වාර්තාවක්, බැඳුම්කර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට භාරදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *