සත්සියක්‌ කපු මල් රැගෙන මම සත් සියක්‌ කපු පිළි වියන මම

හෙන්රි ජයසේන නාට්‍යවේදියාගේ කුවේණි ස්‌වතන්ත්‍ර වේදිකා නාට්‍යය පළමුවරට වේදිකා ගත වන්නේ 1963 වසරේදීය. ඊට පෙර වසරේදී (1962) ඔහු විසින් නිෂ්පාදිත ජනේලය නාට්‍යය සමඟ හෙන්රි ජයසේන සිංහල වේදිකා නාට්‍ය වංශ කතාවේ තම අනන්‍ය ලකුණ සටහන් කර ගනී. ඔහු විසින් කරළියට ගෙන ආ නාට්‍ය අතර, තවත් උදෑසනක්‌, මනරංජන වැඩ වර්ජන, අහස්‌ මාලිගා, හුණුවටයේ කතාව (1967) අපට පුතේ මගක්‌ නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, සරණ සියොත් සේ පුතුනි හඹායන (1975) සිරිසඟබෝ (ටවර් රඟහල නිෂ්පාදනය) වැනි ස්‌වතන්ත්‍ර හා පරිවර්තන නාට්‍ය නිෂ්පාදන රාශියකි.

ඔහුගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සේ සැලකෙන්නේ, පසුගියදා පනස්‌ වසර සම්පූර්ණ කළ හුණුවටයේ කතාව නිෂ්පාදනයයි. පරිවර්තන සෙසු නිෂ්පාදන අතර මකරා හා දිරිය මව හා ඇගේ දරුවෝ නිර්මාණ වැදගත් නිෂ්පාදන සේ සැලකෙන අතර ස්‌වතන්ත්‍ර නාට්‍ය අතරින් කැපී පෙනෙන නිර්මාණ වන්නේ, ජනේලය, කුවේණි, අපට පුතේ මගක්‌ නැතේ යන නිර්මාණයි. මේ අතරින් ද නව ආකෘතියකින් කුවේණි ඓතිහාසික පුවතට නව අරුතක්‌ දුන් නිර්මාණය වඩාත් කැපී පෙනේ.

කුවේණි යනු ලක්‌දිව විසූ යක්‍ෂ ගෝත්‍රයට අයත් ගැහැනියකගේ නාමයයි. විජය කුමාරයා ලක්‌දිවට ගොඩ බැසීමෙන් අනතුරුව මැය සරණ පාවා ගත් අතර, ඇගේ සහායෙන් යක්‍ෂයන් ප්‍රලය කොට, ලක්‌දිව රජ වූ බව වංශකතාවල සඳහන්ය. දරු දෙදෙනෙකුද ලද පසු රජු විසින් පලවා හරින ලද කුවේණිය තම ගෝත්‍රිකයන් අතින්ම මරණයට පත් වූවාය. ඈ මුහුණ දුන් ශෝචනීය ඉරණම හෙන්රි ජයසේනගේ වේදිකා නාට්‍යයට පාදක වූ කතා පුවත වුවත්, ඔහු විසින් ඓතිහාසික පුවතක්‌ ලෙසට හෝ එවැනි පුවත් කීමට පෙර නාට්‍යකරුවන් යොදාගෙන තිබූ පූර්ණ ශෛලිගත ශෛලියෙන් හෝ නිෂ්පාදිත නිර්මාණයක්‌ නොවීය. නාට්‍යය විකාශය වන්නේ පූරක, පොතේගුරු විසින් ගයන ගීයකිනි. ඔහුට සහායට ගායක පිරිසක්‌ද වේ. වනයේ අතර මං වී සිටිනා කුවේණියගේ දරුවන් දෙදෙනා ජීවහත්ත හා දිසාලාට දඩයක්‌කරුවෙකු හමුවේ. ඔහු හා දරුවන් අතර වන සංවාද ඔස්‌සේ කුවේණියට විජය කුමරු හමු වූ අවස්‌ථාව අතීතාවර්ජනයක ස්‌වරූපයෙන් රඟ දැක්‌වේ. කුවේණියට අත්විඳින්නට සිදු වූ අසාධාරණය පිළිබඳ නඩු විභාගය පැවැත්වෙන්නේ නවීන අධිකරණ ශාලාවකදීය. නීතිඥයන් දෙදෙනෙකු, විනිශ්චයකාරවරයෙකු හමුවන අධිකරණ ශාලාවේ පැමිණිලිකාරිය කුවේණිය වන්නීය. විත්තිකරු විජය කුමරුය. ඔහු ශාලාවට නොපැමිණේ. දෙපාර්ශවයේ කරුණු අසා සිටිනා විනිසුරු පවසන්නේ අනුකම්පා කිරීම හැර අන් දෙයක්‌ ඔහුට කළ නොහැකි බවයි.

කුමක්‌ කළ හැකි වෙද ළඳුනි මට

වෙනුමිසක කම්පා මෙ ඔබ ගැන.

එහෙත් හෙන්රි ජයසේන නාට්‍යකරුවා ඈ වෙත කරුණා ගුණයෙන් යුත් මානවීය දෘෂ්ටියක්‌ හෙළයි

අදත් ඇය අප දෙස බලන්නී

හෙටත් යළි අප දෙස බලන්නී

දුරාතීතේ අන්ධකාරය

මැදින් සිට එබිකම් කරන්නී

සදා ඇය අප හා සිටින්නී

දොරින් දොර සැම තැන වෙසෙන්නී

එදා හෙලු කඳුළුත් රුහිරු බිඳු

සදා අප වෙනුවෙන් හෙළන්නී

හෙන්රි ජයසේන නාට්‍යකරුවා තුළ ජීවත් වූ සාහිත්‍යකරුවා කවියා මතු වී පෙනෙන අපූරු ගීත කුවේණි නාට්‍යයේදී අසන්නට ලැබේ. පූරක විසින් කුවේණිය වේදිකාවට කැඳවන මොහොතේ හා ඈ වේදිකාවට විත් කපු කටින බව පෙන්වන රංගනයක යෙදී සිටින කල කුවේණිය මේ ගීය ගයන්නීය. ගායක පිරිස ගීතයේ අවසන් පේළිය කියති.

සත් සියක්‌ කපු මල් රැගෙන මම

සත් සියක්‌ සුදු කෙඳි රැගෙන මම

සත් සියක්‌ කපු පිළි රැගෙන මම

සත් සියක්‌ දෙන පළඳිතේ //

සත් සියක්‌ රත්මල් රැගෙන මම

සත් සියක්‌ රත් හුය රැගෙන මම

සත් සියක්‌ මල් දම් ගොතන මම

සත් සියක්‌ ගෙල පළඳිතේ….//

සත් සියක්‌ මායා බෙලෙන් මම

සත් සියක්‌ බන්ධන බෙලෙන් මම

සත් සියක්‌ සක්‌වල සොයා මම

ගෙන් වු කුමරුන් අද එතේ //

විජය කුමරු සිය රටින් පිටමං කරනු ලබන්නේ සත් සියක්‌ පිරිස්‌ සමගයි. නාට්‍යකරුවා මේ ගීය රචනයේ දී සත් සියක්‌ යන වචනය පුනරුක්‌තියක්‌ ලෙස භාවිත කරන්නේ සිතා මතාය. ඉන් මුඛ්‍යාර්ථයට ලැබෙන්නේ ආලෝකයකි. සත් සියක්‌ පිරිසක්‌ පිළිබඳ කියෑවෙන බැවින් සත් සියක්‌ යන්න පුනරුක්‌ති දෝෂයක්‌ සේ නොහැඟේ. කුවේණිය සත් සියක්‌ කපුමල්, සුදු කෙඳි රැගෙන සළු වියන්නේ සත් සියක්‌ දෙනෙකු වෙනුවෙනි. එහෙත් ඈ මෙහිදී මල්දම් ගොතන්නේ රන් පාටිනි. රත් මල්, රත් හුය සංකේතවත් කරන්නේ ඈ රාක්‍ෂ ගෝත්‍රික ස්‌ත්‍රියක්‌ යන්නදැයි ප්‍රේක්‍ෂකයනට, ශ්‍රාවකයනව සිතේ. රාක්‍ෂයන් කී කල්හි මැවෙන චිත්ත රූපය වන්නේ රක්‌තවර්ණ නෙතු ඇති, රක්‌ත වර්ණ මුවින් යුතු බියකරු සත්ත්ව විශේෂයකි. කුවේණිය සළු සත් සියයක්‌ වියන්නේ, සත් සියයක්‌ දෙනා සමඟ පැමිණෙන ඇගේ සිහින කුමරු, ඈ කැඳ වූ සිහින කුමරු පැමිණි පසු ඔවුනට පළඳවන්නටය. හෙන්රි ජයසේන කුවේණි නාට්‍යයේ ආකෘතිය, මායාමය සිද්ධිදාමයක්‌ (Fantasy) තුළ රඳවමින්, පුරාණෝක්‌තිය නවීනෝක්‌තියක්‌ ලෙස වේදිකාව මත දිග හරියි.

ඉහත ගීතය, හෙන්රි ජයසේනගේ පද මාලාවකට, එච්. එච්. බණ්‌ඩාර විසින් නිර්මාණය කරන ලද අපූරු ගී තනුවකට කුවේණියගේ භූමිකාව, අඛණ්‌ඩව නිරූපණය කළ, මානෙල් ජයසේන විසින් ගායනා කරන ලද ජනප්‍රිය මිහිරි ගීයකි. ගීතය රචනයේදී හෙන්රි ජයසේන ගීත රචකයාට කුවේණි අස්‌නෙහි කවි ආභාසය ලැබුණා විය යුතුය. මානෙල් ජයසේන කුවේණිය ලෙස මේ ගීතය ගයමින් කරළියෙහි රඟන ජවනිකාව කුවේණි නිෂ්පාදන කිහිපයක්‌ම නැරඹූ අප මතකයෙහි වේ. සිංහල නාට්‍ය වංශ කතාවේ ස්‌ත්‍රී භූමිකා අතර විශේෂයෙන්ම ඓතිහාසික හෝ ආගමික පුවත් පාදක කරගත් නාට්‍ය තුළ, කුවේණිය ඇගේ වැළපුම ප්‍රේක්‍ෂක අනුකම්පාව ලබන චරිතයක්‌ බවට පත් කොට ඇත. මනමේ බිසව, සුප්පාදේවි මන්ද්‍රි දේවි මතකයට නැඟෙන සෙසු චරිත අතර වේ. මානෙල් ජයසේනගේ කුවේණි භූමිකාව මෙන්ම ඇගේ ගායනය ද වේදිකා නාට්‍ය ගීයක්‌ ඉන් බැහැර සරල ගීතයක්‌ ලෙස ද රසවිඳින්නට හැකි නිර්මාණ කාර්යයක්‌ බවට පත් වන්නේ, ඇගේ හඬ පෞරුෂය, ගී තනුව හා ගීයෙහි සංකල්පනාව තීව්‍ර කරනු ලබන වදන් මාලාව නිසා බව අවසන් ලෙස සටහන් කරමි.

* බුද්ධදාස ගලප්පත්ති

රගමඩල ගී මිහිර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *