කතානායකවරයා හොල්ලන්නේ නෑ – ජනමාධ්‍ය ඇමති

කතානායක කරූ ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට යන බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එතුමා සම්බන්ධයෙන් මෙවැනි ද්වේෂ සහගත අසත්‍ය ප්‍රචාර ගෙන යන ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියට එදා පාර්ලිමේන්තුවේ දී තමන්ගේ කණ්ඩායමේ නායකයා රැක ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමන්ගේ මන්ත්‍රීවරුන් මෙහෙයවා ගැනීමට පවා නොහැකිවූ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කතානායකවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා-

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ තත්ත්වය ඉලක්ක කර ගෙන තමයි පිරිසක් කතානායකතුමාට එරෙහිව මේ වගේ විවේචනයක් සිදුකරන්නේ. එදා පැවති විවාදය බොහෝ දෙනෙක් සජීවිව රූපවාහිනියෙන් නැරඹුවා. අදාළ මන්ත්‍රීවරයාට කතානායකතුමා මුලින් අවවාදය කළා. පසුව කාරුණිකව ඉල්ලීමක් කළා කතානායකවරයාගේ නියෝගයට කන් දෙන්න කියලා.

පාර්ලිමේන්තුවේ කටයුතුවලට දිගින් දිගටම බාධා නොකරන ලෙස අවස්ථා ගණනාවකදී ම එතුමා මේ මන්ත්‍රීවරයාට කාරුණිකව දැනුම් දුන්නා. ඒත් කතානායකතුමාගේ නියෝගයට ඇහුම්කන් නොදී ඒ මන්ත්‍රීවරයා දිගින් දිගටම බාධා කළා. පසුව කතානායකතුමා සැසිවාරය තාවකාලිකව කල්දමා තත්ත්වය සමථයකට පත්කිරීමට උත්සාහ කළා. වෙනත් කතානායකවරයෙක් නම් එහෙම කරන්නේ නැහැ. ඒත් බැරිවූ තැන එතුමා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ඡන්දය විමසීමක් කරන මේ පිරිස ලෙස ඉල්ලා සිටි නිසා එතුමා ඡන්දයක් පැවැත්වූවා. අන්තිමේ ඒ අයට ලබා ගන්න පුළුවන් වුණේ ඡන්ද විසි ගණනක් විතරයි.

තමන්ගේ කණ්ඩායමේ නායකයා බේරා ගන්න සියලු දෙනාගේ ඡන්ද ඒකරාශි කරගන්නවත් බැරි කණ්ඩායමක් තම‍යි අද මේ කතා කරන්නේ. කතානායකතුමා පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කර ගත යුතුයි. එතුමා කටයුතු කළේ ඒ සඳහායි.

එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සභාවේ දී වැඩිවේලාවක් කතා කිරීමට ඉඩ ලබා දීම සමබන්ධයෙන් විරෝධය පළකිරීමට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාගැබෙන් පිටව ගිය බව සත්‍යදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ, කතානායකවරයා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ නිසා ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියේ කීපදෙනකු එදින දිගින් දිගමට කතා කළ බවත්, එසේ කළ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එළියට ගොස් ඒ ගැන කතා කර තීන්දුවකට එන්න උත්සාහ කළා මිස කතානායකවරයාට විරෝධය දැක්වීමක් ලෙස සභාවෙන් පිටව නොගිය බවයි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා-

කතානායකතුමාට එරෙහිව පිරිසක් දූෂමාන ප්‍රචාරයක් ගෙන යමින් සිටිනවා. ඔවුන් එසේ කරන්නේ එතුමා කතානායකවරයකු ලෙස හැසිරෙන නිසයි. එකාබද්ධ විපක්ෂයේ පිරිසක් පාර්ලිමේන්තුවේ ගෝරනාඩු කරමින් සභාවේ කාලය හා මුදල් නාස්ති කරමින් සිටිනවා. වෙන ඕනෑම කතානායකවරයෙක් කටයුතු කරන විදිහටයි එතුමා එදා කටයුතු කළේ. මේ රටේ ජාතික නායකයෙක් වන කතානායකතුමාට හිංසාවට පීඩාවට පත්කිරීම සඳහායි මේ අය මේ විදියේ ප්‍රචාර ගෙන යන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *