නැගෙනහිර මහ ඇමැති නැති රාජ්‍ය උත්සව පැවැත්වීම ජාතිවාදීයි: බාහු

පලාතක ප්‍රධාන මහජන නියෝජිතයා වන මහ ඇමැතිවරයා නිල වශයෙන් නො කැඳවා මහ ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සව පැවැත්වීම ජාතිවාදී කටයුත්තක් ලෙසින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

“පළාත් සභාව යනු ආණ්ඩුකාරවරයා හෝ පළාතේ වෙනත් නිලධාරියකු හෝ නොවේ. මහා සභාව සහ එහි මහ ඇමැති තුමා,” යි නව සම සමාජ පක්ෂ නායකයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ තමන් වේදිකාව මතට ගොඩවීම වලක්වාලු නාවික හමුදා නිලධාරියකුට නැගෙනහිර මහ ඇමැති වරයා බැණ වැදීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයක දී මහ ඇමැති හාෆිස් නසීර් අහමඩ් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා විදුර කඳවුර භාර අණදෙන නිළධාරි කපිතාන් රංජිත් ප්‍රේමරත්නට ප්‍රසිද්ධියේ දොස් පවරනු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය ජාලා අවුළුවා ලන්නට සමත් විය.

තමන්ට හෝ පළාතේ අධ්‍යාපන ඇමැති සින්ගාරවේලු දන්ඩායුදපානි ට හෝ නිල වශයෙන් ආරාධනා නොකර පවත්වන ලද පාසල් උත්සව වේදිකාවට ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුගේ කැඳවීමෙන් ගොඩවීමට ගිය අවස්ථාවේ එය වලක්වා ලීමට තම උදරයෙන් තල්ලු කළ හෙයින් නාවික හමුදා නිලධාරියා ට නිල පටිපාටිය සිහිපත් කරදෙමින් බැණ වදින්නට සිදුවූ බව මහ ඇමැති වරයා ප්‍රකාශ කර තිබුණි.
‘ඉඩ දෙන්න බෑ’

සාම්පුර්හි ඇතිවූ ගැටුම පළාත් සභාවලට බලය විමධ්‍ය ගත කිරීමේ දුර්වලතා සම්බන්ධයෙන් මතුවන අර්බුදයේ බරපතල බව කියාපාන්නක් බව නසසප නායකයා විසින් පෙන්වා දෙන ලදී.

‘පළාත් සභාව යනු ප්‍රජාවගේ ආයතනයක්’ බව අවධාරණය කළ ආචාර්ය වික්‍රමබාහු, ‘නැගෙනහිර පළාතේ, විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමල ජනතාව නියෝජනය කරන සභාවේ ප්‍රධානියා’ වන මහ ඇමැති නො කැඳවා රාජ්‍ය හා සම්භාවනීය උත්සව පැවැත්වීම හෙලා දුටුවේ ‘පළාත් සභා ක්‍රමයටම නින්දාවක්’ ලෙසිනි.

“ඒකට ඉඩදෙන්න බෑ,” යි ඔහු දැඩි කොට කියා සිටියේය.

මෙය බලය බෙදා රට එක්සත් කිරීමට එරෙහි ප්‍රබල පහරක් බවයි ආචාර්ය වික්‍රමබාහු පවසන්නේ.

විග්නේස්වරන් ගේ මාර්ගය

කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ තමන්ට සිදුවූ අකටයුත්ත සභාව ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර මහ ඇමැති වරයා කලබලකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම නොගැලපෙන බවයි.

ඒ වෙනුවට උතුරේ මහ ඇමැති සී වී විග්නේස්වරන් අනුගමනය කරන අරගල මාවත අනුව යන ලෙස නසසප ප්‍රධාන ලේකම්වරයා නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

උතුරේ මහ ඇමැති වරයා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් සහිත ප්‍රබල පුද්ගලයකු බවට පත් වී සිටින්නේ මතවාදී වශයෙන් කරුණු දක්වා අරගල කිරීමෙන් බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *