කුණු කන්දේ political (01)

මම හඳුනාගෙන ඉන්න විදියට මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා අත්හදාබැලුම්කාරී මාර්ක්ස්වාදියෙක්.පසුගිය දවසක ඔහු මෙහෙම ලියල තිබුණා.මේක මට සමීප කළේ ආචාර්ය නිර්මාල් දේවසිරි.//අපේ වගේ රටවල ධනපති පංතියට මෙවන් දෙයක්වත් කළ නොහැක. මේ රටවල ධනපති පංතිය මැක්ස් වෙබර් කියූ ප්‍රයාණ ධනපතියන් (adventure capitalism) ය. උන් හැකිනම් කුණු කන්දෙනුත් ගාණක් කඞා ගන්නා ජාතියේ වුන් ය. අප තට්ටු මාරුවට බලය දෙන්නේ ද මුන්ට ය.//
මහාචාර්ය සුමනසිරිට විතරක් නෙමෙයි, මටත් විශාල කළ කිරීමක් තිබෙනවා මේ සිස්ටම් එක ගැන. ඇත්තට ම තට්ටුමාරු ධනපති පන්තිය විසින් ලංකාව ෆේල් කළා. තිත්ත වුනත් ඒක ඇත්තක්. 2005 වෙනකල් ලංකාවේ අපිට මේ නාරාවලෙන් ගොඩ එන්නෙ කොහොම ද කියන එක ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ.ධනපති නායකයින් කළේ එදා වේල දිවීමක් විතරයි. අනිත් පැත්තෙන් වාමාංශිකයින් කියන අය මාර්ක්ස්ගේ උපුටන කටපාඩමින් කියව කියව හිටිය විතරක් නෙමෙයි, අර එදාවේල ධනපති ආණ්ඩුවලින් හැලෙන මිනිස්සුන්ට කවදාවත් ලබාගන්න බැරි කැරට් අල ගෝනි පිටින් කැව්වා. මෙවැනි මුඩු, රැවටිලිකාරී අවකාශයකට තමයි මහින්ද සෙට් වෙන්නෙ. මහින්ද මේතාක් පැමිණි රටාව එහෙම්පිටින් ම බින්දා. ඒ නිකං නෙමෙයි, ප්‍රතිඵල-ඉලක්ක කරගත් (result-oriented) ප්‍රායෝගිකත්වයකින්. මහින්ද වැඩකාරයෙක්. ඔහුට ඊට දැඩි රැකුලක් වුනේ, බැසිල් හා ගෝඨා කියන වැඩ විතරක් දන්න සොහොයුරන්. මහින්ද ලඟින් හරි යන වැඩකාරයෙක් හිටිය නම් ඒ එජාපයේ ගාමිණී විතරයි. කොටි ඔහු මරන්න එක් හේතුවක් වෙන්න ඇත්තේ ඒක. ප්‍රේමදාස රටපුරා ගම්උදා කළත් ඔහුට විසල් දැක්මකින් වැඩ කළ කෙනෙක් නෙ‍මෙයි. ජේ ආර් වැඩ බැරි බුද්ධිමතෙක්.
ඇත්තට ම මහින්දට දේශපාලන දෘෂ්ටිවාදයක් කියල එකක් නැහැ. කැමති ම නම් කාටහරි කියන්න පුළුවන් මහින්ද ධනපති ක්‍රමයේ හා සමාජවාදී ක්‍රමයේ මිශ්‍රණයක් කියල. මහින්ද සාර්ථක වෙන්න එක හේතුවක් ඒක. අනිත් හේතුව මොකක් ද? ඒ තමා, ඔහුට පුළුවන් වුණා සමාජවාදය විසින් ඇති කළ ප්‍රශ්නවලට ධනවාදී විසඳුම් දෙන්නත් ධනවාදය විසින් ඇති කළ ප්‍රශ්නවලට සමාජවාදී විසඳුම් ද දෙන්නත්. මීට හේතුව අර එක මතවාදයක දැඩිව එල්බ නොසිටීම. ‍මේ ක්‍රමය තමා අනාගත ලෝකයට ඉතාම ගැලපෙන මාදිලිය කියල හිතන්නෙ. ලෝකය ඉදිරියට යා යුත්තේ, එවැනි මිශ්‍ර ක්‍රමයකින්. තනි ක්‍රමයක තිබෙන ගැටළු අනිත් එකෙන් පිරිමහන්න හැකි වෙනවා එතකොට. මොක ද එකම ක්‍රමයක් වත් 100%ක් සාර්ථක නැති නිසා.
කෙනෙක් හිතන්න පුළුවන් මේව ලියනකොට අපි මහින්ද ගැන වර්ණනා ලියනවා කියල. නැහැ. මේ වර්ණනා නෙමෙයි, මේ පාඩම්. මහින්ද සුරුවමක් නොකර අපි ඔහු ව නිර්වචනය කළ යුතුයි.

mahinda pathirana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *