කසල ගැසට් පත්‍රයෙන් ජනපති මානව හිමිකම් කඩලා

කසළ බැහැර කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් බවත් මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සඳහන් කරමින් ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.

ඒ අනුව කසළ බැහැර කිරීම සඳහා බාධා ඇතිකරණ ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවසර දී ඇත.

මෙමගින් ජනතාවගේ භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් නිකුත් කර ඇති නිවේදනයෙන් පෙන්වා දෙයි.

ස්වාභාවික සම්පත් රැකගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකුගේ යුතුකමක් බවත් මෙම නීති හරහා එයද යම් පීඩනයකට ලක්කර ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *