මට මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ඉඩක් නැති සම්ප්‍රදායයක් ඇතුලේ ජීවත් වෙන්න බෑ – ලංකා බණ්ඩාරනායක

 ඔබ ක්ෂේත‍්‍රයට අවතීර්ණ වෙන්නේ නිළියක් විදියට… පසුකාලීනව රංගවස්ත‍්‍ර නිර්මාන ශිල්පිනියක් බවට පත්වෙනවා. දැන් සිනමාවට පිවිසිලා. ඇයි මෙහෙම භූමිකා දෝලනය කරන්නේ ..?

කවුරුවත් නොදන්න කෑල්ලකුත් තියනවා.. මම කාලෙකදි නර්තන ශිල්පිනියක් විදිහටත් වැඩ කරලා තියෙනවා. හේතු දෙකක් දෙන්න පුලුවන්. එකක් තමයි මම මාව හොයාගෙන යාම. මගේ වපසරිය මොකක්ද කියලා මට පෙන්නලා දෙන්න ගුරූ ලා හෝ ගුරී ලා මට නෑ. ගුරූ ලා පස්සේ ගිහින් ඔඩොක්කුවට වැටෙන දේවල් අහුලගන්න උඩ බලාගෙන ඉන්න කෙනෙක් නෙමේ මම. ඉතින් මම මාව හොයාගෙන යනවා. මම උත්සාහ කරනවා මම දන්න දේවල් වලින් මට කළ හැකි දේවල් සොයා යන්න. හැබැයි මගේ භූමිකා ඔක්කොම කලාව හා සම්බන්ධ දේවල්. ඒ නිසා මම හිතනවා කලාව තමා මගේ මාධ්‍ය. ඒ කලා මාධ්‍ය ඇතුලේ මගේ තැන මොකක්ද කියන එක මම තාමත් හොයනවා. සමහරවිට මැරෙනකල්ම මම මෙහෙම ඉබාගාතේ යන්න පුලුවන්. සමහරවිට හෙට කෙනෙක් මට කතා කලොත් මිනියක් එම්බාම් කරන කලාවට එන්න කැමතිද කියලා මම යන්න ඉඩ තියෙනවා. ඒක මට කරන්න පුලුවන්ද කියලා බලන්න. සොයා නොගියොත් ඔබ කොහොමද අඳුන ගන්නේ ඔබව.

දෙවෙනි කාරණය තමයි. ඔය මොන භූමිකාව තුල උනත් මගේ ප්‍රකාශනයක් තියෙනවා. භූමිකා මාරු උනාට මගේ දර්ශණය සහ ප්‍රකාශනය මාරු වෙන්නේ නෑ. මම මෙතෙක් සම්භන්ධ වෙච්ච නිර්මාණ දිහා බැලුවම ඒක පැහැදිලි වෙයි. මම ඉතාම සවිඥානිකයි මම හිටගෙන ඉන්න පොළොව ගැන. ඇත්තටම මට භුමිකාව මොකක්ද කියන එක අදාල නෑ මම හිතන්නේ. මනුස්සයෙකුට භූමිකාවක් අවශ්‍ය වෙන්නේ තමන්ගේ ස්වයං අභිමාණය සන්තර්පණය කරගන්න කියලා මට හිතෙන්නේ. මම නිලියක්, මම අධ්‍යක්ෂිකාවක් කියන එක අදාල වෙන්නේ මාව අනිත් අයට හදුන්වලා දෙන්න භාවිතා කරන තැනකදි විතරයි. ඒක සමාජය ඉස්සරහා මම කවුද කියන ප්‍රශ්නෙට උත්තරයක් විතරයි. මම නිලියක් වීමෙන්වත්, අධ්‍යක්ෂිකාවක් වීමෙන්වත් සමාජයට තියෙන පලේ මොකක්ද? භූමිකා දෝලනය වීම නෙමේ මම ඒ හරහා සමාජය වෙත ගෙනියන දේ විතරයි වැදගත් වෙන්නේ.

කෙටි චිත‍්‍රපට කලාව ලංකාව තුළ ස්ථාන ගත වෙලාතියෙන තැන ගැන මොකද හිතෙන්නේ
ඔයා ඔය අහන්නේ ලංකාවේ නැති දෙයක් ගැන. ලංකාවේ කෙටි චිත්‍රපටි කලාවක් නෑ. ලංකාවේ කෙටි චිත්‍රපටි විතරක් නෙමේ ලංකාවේ සමස්ත කලා මාධ්‍යන්ම අර්බුදයකනේ තියෙන්නේ. එක් පැත්තකින් කලාකරුවන් යනු කවුරුන්ද කියන ප්‍රශ්ණේ තියෙනවා. දෙපැත්ත කැපෙන විහිලු ටිකක් කියලා එහෙට මෙහෙට ඇබරිලා කියනවා අපි තමයි ලංකාවේ නලු නිළියෝ කියලා. ඒ විහිලු ටික කොල කෑලි ටිකක ලියලා කියනවා අපි රචකයෝ කියලා. ගෑණු මිනිස්සු ටිකකට මූණ එහෙට මෙහෙට ඇද කරන්න කියලා අපි තමයි අධ්‍යක්ෂකවරු කියනවා. ඇඳට නැග්ගොත් සල්ලි දෙන්නම් චිත්‍රපටි කරන්න කියලා අපි තමයි නිශ්පාදකයෝ කියනවා. අනිත් පැත්තෙන් චිත්‍රපටි සංස්ථාව පිරිත් කියනවා, වෙසක් එකට තොරණ් ගහනවා. හැබැයි ඔය සේරම විකාර අස්සේ තාමත් සැබෑ ලෙසම නිර්මාණකරනයේ යෙදීමේ දුශ්කර ප්‍රයත්නයන් තුල තමන්ගේ ජීවිතය ගැටගහන අතලොස්සක් නිර්මාණකරුවනුත් ඉන්නවා.
අනිත් අතට ලංකාවේ නිර්මාණය වෙන අතලොස්සක් කෙටි චිත්‍රපටි ගත්තොත්(මම එහෙම කියන්නේ ඔය නිර්මාණය වන සියලුම වීඩියෝ කෑලි කෙටි චිත්‍රපටි විදිහට මම සලකන්නේ නැති නිසා) ඒවා නිර්මාණය කලාට ඒ නිර්මාණ ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන ක්‍රමයක් නෑ. විනාඩි දහයක පහලොවක කෙචි චිත්‍රපටියක් බලන්න විතරක් කිසි කෙනෙක් රඟහලකට එන්නේ නෑනේ. එතකොට වෙනවා කීප දෙනෙකුට එකතු වෙලා අඩුම පැයකට වත් සංවිධානය කර ගන්න ප්‍රදර්ශණයක්. එතකොට වෙන්නේ ප්‍රකාශන ගොඩක් එකට ගැටෙනවා. නැතිනම් ඒ එක්කම සාකච්ඡාවක් වගේ මොනවහරි සැරසිල්ලක්. ඉතින් නිර්මාණය වෙන ගොඩක් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ ගෙවල් වල පැත්තකට වීසිවෙලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති ලංකාවේ කෙටි චිත්‍රපටියක් කලාට පස්සේ ගොඩක් අය ඒක තමන්ගේ වැඩ පෙන්නන සාක්ෂියක් විදිහට තියාගෙන වෘත්තාන්ත චිත්‍රපටියකට සූදානම් වෙන ප්‍රවනතාවයකට ඇවිල්ලා තියෙන්නේ. මටත් දැන් හම්බවෙන හැම කෙනාම කියන්නේ ඔයා දැන් ඉතින් මෙතනින් පස්සේ කෙටි චිත්‍රපටි කරන්න ඕන නෑ. දැන් ඉතින් කෙලින්ම ලොකු වැඩක් කරන්න කියලා. පොඩි වැඩ අස්සේ ලොකු දේවල් කරන්න පුලුවන් කියන එක අතහැරිලා අපිට.

 ඔබ කාන්තා අධ්‍යක්ෂිකාවක්වීම සම්ප‍්‍රදාය ලාංකීය සමාජය සමග’ කරන ගනුදෙනුවට කොයි තරම් දුරට බලපෑමක් කරනවද
ලොකු බලපෑමක් තියෙනවා. ගැහැණියක් විදිහට මගේ සමාජය එක්ක මට තියන ගණුදෙනුව කෙලින්ම සම්භන්දයි මම කරන නිර්මාණ වලට. මගේ ඔලුව ඇතුලේ බිහි වෙන දේවල් මගේ සමාජය මට දෙන පීඩනය සහ ඒවාට මගේ ප්‍රතික්‍රියාව එක්ක අනුලෝමව සමපාත වෙනවා. රංගන ශිල්පිණියක් විදිහට නිර්මාණයක ඉන්නකොට මට සිද්ද වෙනවා මගේ දර්ශණය සහ අධ්‍යක්ෂවරයාගේ දර්ශණය එක්ක යම් සම්මුතියකට එන්න. මට රංගන ශිල්පිණියක් විදිහට ඒ පීඩනය මුදා හරින්න මම කල නිර්මාණ තුල ලැබුණ අඩු අවස්තා ප්‍රමාණය මාව අධ්‍යක්ෂිකාවක් දක්වා රූපාන්තරනයට මග පෑදුවා කියලා තමයි මට හිතෙන්නේ.
මගේ කෙටි චිත්‍රපටය “සම්ප්‍රදාය” තුලිනුත් මම කතා කරන්නේ පුරුෂ මූලික සාම්ප්‍රදායික ලාංකික සමාජ වටිනාකම් සහ වර්තමාන සමාජයේ ස්ත්‍රී පුරුෂ සම්භන්ධතා අතර ඇති විසංවාදයයි. මේ අදහස මගේ පෞද්ගලික අත්දැකීමක ප්‍රතිපලයක්. මම ගැහැණියක් වීම නිසා මට මේ ගැටලුව අහුවෙන්නේ ස්ත්‍රී දෘශ්ඨි කෝණයකින්. ඒක “අධ්‍යක්ෂණය” කියන විෂයේ ප්‍රවීනත්වයට අහුවෙන දෙයක් නෙමේ. “ගැහැණියක්” අධ්‍යක්ෂවරියක් වීම එක්ක සම්බන්ධ කාරණයක්.

මේ සමාජ ක‍්‍රමය ගැන ඔබට තියෙන්නෙ වෛරයක්ද

නෑ. මට වෛරයක් තිබුනානම් මම කරන්නේ පිහියක් අරන් ගිහින් මට අහුවෙන අහුවෙන පිරිමියාගේ පුරුෂ භාවය නැති කරලා දාන එක. ඒ වගේම මේ පුරුෂ මූලික සමාජ ක්‍රමය දරාගන්න මට බෑ. මම නොදන්න පෙර ආත්මයක්, මතු ආත්මයක්,කර්ම ඵල එක්ක ජීවිතේ දියකරලා දාන්නත් මට බෑ. මට මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ඉඩක් නැති සම්ප්‍රදායයක් ඇතුලේ මට ජීවත් වෙන්න බෑ. මගේ ලිංගේන්ද්‍රියවත්, කන්‍යාභාවයවත් විතරක් නෙමේ මම.

මම විශ්වාස කරනවා සංස්කෘතීන් යනු වෙනස් වෙන දෙයක් බව. වෙනස සිදු වෙන්නේ සෙමෙන් වෙන්න පුලුවන්. වේගය නෙමේ වැදගත් දිශාවයි කියලා කතාවක් තියෙනවනේ. අපි හිර වෙලා ඉන්න අමනුෂ්‍යත්වයේ අඳුරු ගුහා ඇතුලේ බව තව මිනිසෙකුට කියන්න මම තෝරගත්තේ කලාව.

 ස්ත‍්‍රීවාදය ගැන මොකක්ද ඔබේ අදහස

මම ස්ත්‍රී ලිංගික මනුෂ්‍යයෙක්. මේ ලෝකේ මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙන්න මම බලාපොරොත්තුවෙන විදිහක් තියෙනවා. නමුත් මට මගේ පාඩුවේ සතුටින් ජීවත් වෙන්න මම ජීවත් වෙන සමාජයේ ඉඩක් නැති වෙනවා. මට පේනවා මා සමඟම මේ සමාජයේ ජීවත් වෙන පිරිමි ලිංගිකයින්ට නැති අමුතුම, කිසිම පදනමක් නැති සම්ප්‍රදායයන් සමුදායකින් මාව වටකරලා කොටු කරලා තියෙනවා, ප්‍රශ්ණ කිරීම් වලින් තොරව ඒවා පිළිගන්න බල කෙරෙනවා. මම ඒ සීමාවන් පිළිනොගනිමින් අනිත් ගැහැණුන්ටත් එලෙස සිරවීවේ පදනම් විරහිත බව පෙන්විය යුතු යයි විශ්වාස කරනවා. ස්ත්‍රී වාදය ගැන මට තියෙන්නේ එවැනි සරල අදහසක්.
ස්ත්‍රී වාදය කියලා එකක් මේ ලෝකේ භාවිතාවයට ඇවිත් තියෙන්නෙම ඒකේ තියන සමාජ අවශ්‍යතාවය නිසානේ. නමුත් ආසියාතික කලාපය ඉතිහාසයේ ස්ත්‍රීන් අරගල කරමින්, දිවි පුදා ලබාගත්ත නිදහසේ ඵල බුක්ති විදින්නේ නෑ කියලා තමයි මම හිතන්නේ. ආසියාතික කළාපයේ ගැහැණිය තාමත් කාන්තා දින සමරමින්, අම්මාවරුන් සමරමින් හුදු වාණිජ පරමාර්ථ වල ගොදුරු බවට පත් වෙලා පමණයි. අපි තාමත් ස්ත්‍රී අයිතීන් හෝ වටිනාකම් දිනා ගැනීම ගැන කතා කරනවා. නමුත් බාහිර ලෝකය සමලිංගික අයිතීන් ගැන කතා කරන තරම් ඉදිරියට ගිහිල්ලා.

නිළියෙක් වීම අධ්‍යක්ෂණ කාර්යයයේ දී උපකාරයක් ද බාධාවක්ද

නෑ. ඒක මටනම් දැනෙන්නේ පහසුවක් විදිහට. මට මගේ නලු නිලියන් හසුරුවා ගැනීම පහසුවක් උනා චරිත නිරූපනයේ මට තිබුන අත්දැකීම් නිසා. මම කලින් සැලසුම් කළා මගේ ශිල්පීන්ට මම ලබාදිය යුතු විධානයන් මොනවාද කියලා. හැම කෙනාටම එකම චරිත විග්‍රහයක් මම කරන්න ගියේ නෑ. මගේ රංගන ශිල්පීන්ට ශිල්පිණියන්ටත් තමන්ගේ චරිත නිරූපනයේ නිදහස ලබා දෙන ගමන්ම මගේ චරිත ඔවුන්ගෙන් මම ලබා ගත්තා. සමහර දර්ශණ 10-12 වතාවන් මට ඔවුන් ලවා කරවන්න සිදු වුනත් එහි වෙහෙසක් ඔවුන්ට නොදැනෙන්න ඔහු හෝ ඇගේ කාලය ඔවුන්ට දෙමින් තමා මට අවශ්‍ය දේ ලබා ගත්තේ. මට එහෙම කරන්න සංයමය ලැබුනේ මම රංගන ශිල්පිනියක් විදිහට ලබපු අත්දැකීම් නිසා කියලයි මම හිතන්නේ. මගේ ඇතුලේ ඉන්න නිළියගෙන් අධ්‍යක්ෂවරියට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා.

සම්ප‍්‍රදාය අරගෙන යුරෝපයට ගිය ගමනේ දී කොහොමද ලැබුණූ ප‍්‍රතිචාරය

අපේ රටේ සමාජ ජීවිතය පිළිඹඳව මම කෙලින් වගේම නිර්මාණාත්මක විදිහකට කතා කිරීම ගැන ඔවුන් හරිම ප්‍රසාදයකින් කතා කලා. ගොඩක් දෙනෙක් දර්ශණය අවසානයේ පෞද්ගලිකවත් මාව හමු වෙලා කතා කලා ඔවුන්ට දැණුන දේවල් ගැන. අපේ රටේ සම්ප්‍රදායන් ගැන, එදිනෙදා ජන ජීවිතය ගැන ඔවුන් තුල ලොකු කුතුහලයක් තිබුනා. ඔවුන් වඩා විවෘත මනසකින් මම කියන්න හදපු දේ තේරුම් ගන්න උත්සාහ කලා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව. ඒ ගැන මම ගොඩක් තෘප්තිමත්.

මොනවද යුරෝපයෙන් අරන් ආවේ

මට එහෙදී ලෝකේ නිර්මාණය වුන හොඳ චිත්‍රපට රාශියක් නරඹන්න අවස්ථාව ලැබුනා. සමහර දවස් වලට නොකා නොබී පවා චිත්‍රපට බැලුවා. ඒ වගේම ලෝක සිනමාවේ ප්‍රවීණයන් ඇසුරු කරන්න, අත්දැකීම් බෙදා ගන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්. ඒ වගේම ඔවුන්ගේ සංස්කෘතිය, සමාජ ජීවිතය දකින්න අවස්ථාව ලැබුණා. සමාජයක් විදිහට ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කරන බොහෝ දේවල් බැලූ බැලූ අත තියෙන්නේ. මගේ නිර්මාණාත්මක චින්තනයට වගේම පෞද්ගලික චින්තනයටත් මම ඒ ලබපු අත්දැකීම් වල බලපෑමක් උනා කියලා මම හිතනවා

දිගින් දිගටම ඔබේ නිර්මාණ ඇතුළෙ ස්ත‍්‍රී විමුක්ති කතිකාවෙ හෙවනැල්ල පතිත වෙයිද….

මම මගේ නිර්මාණ හරහා කියන්න උත්සාහ කරන්නේ නෑ කිසිවක් මෙසේ විය යුතුයි කියලා. මම කරන්නේ මගේ නිර්මාණ හරහා මෙන්න ඔබ, මම, අපි ජීවත් වෙන සමාජය, මේ සමාජය ඉදිරියට විකාශණය විය යුත්තේ කොතැනටද කියන එක ඔබ තීරණය කරන්න කියන තැනකින් නවතින එක. ඒක හරියට මේ සමාජයට කැඩපතක් අල්ලලා පෙන්වනවා වගේ දෙයක් විතරයි. මම ස්ත්‍රියක් නිසා ඒක ස්ත්‍රී දෘෂ්ඨියකින් ගේන ප්‍රකාශණයක් වෙන එක වලක්වන්න මට බැරිවෙන එක ස්වාභාවිකයි. නමුත් මගේ නිර්මාණකරනයේ පදනම සමස්ථ මනුෂ්‍යයත්වයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *