පිපුණු මලේ රුව එමල දනීදෝ? – නිලක්ෂි බණ්ඩාර

පද -: ලූෂන් බුලත්සිංහල
සංගීතය -: ඩන්ස්ටන් සිල්වා
ගායනය -: විශාරද නන්දා මාලිනී

නිසර්ග සිද්ධි ප්‍රතිභාවක් ඇති කලාකරුවා විෂය ලෝකයෙහි ප්‍රවර්තමාන සංසිද්ධි තැන්පත් නුවණින් ග්‍රහණය කරයි.හෙතෙම නිබඳවම අවට ලෝකය නිරීක්ෂණය කරයි.තමා අවට විසිරි පවත්නා කුදු මහත් දෑ හදවතින් උකහාගෙන සිය නිර්මාණ වල හරය කර ගනී.

 

අතීතයේ සිටම පුරුෂාධිපත්‍යයෙන් දුගී බවින් පවුල් බර තම කරපිට පටවා ගමින් බැට කෑ කාන්තාව අතීතයටත් වඩා වර්තමානයේදී පිඩාවට පත් කළ “දෑවැද්ද ” නමැති ප්‍රවීණ කලාකරුවා විසින් රචිත නන්දා මාලිනී නමැති ප්‍රවීණ ගායිකාව විසින් හෙළ මහා ගී කෙත තුළ වපුරන ලද මිණිමුතුවන් අගනා ගීත වන අතර ” පිපුණු මලේ රුව එමල දනීදෝ” යන ගීතයද සදානුස්මරණිය වුවකි.

 

දිළිඳු බවේ ශාපයට ලක්ව දෑවැදි සොයා ගත නොහැකිව විවහා වන කල වයස ගෙවී යමින් ගෙදරට වියපත්වන දියණිය පිළිබඳව සෑම මවක් තුළම ජනිත වන සිතුව්ලි සමුදායක් මේ ගීතයෙන් කියවේ.ඇය පිපුනු මලක් මය එනම් මල්වර වීමේ කඩයිම පසුකල නව යොවුන් තරුණියක්ය…. ඇය ඇගේ සැබැ ලස්සන නොදකිනවා යැයි ඇගේ මවට සිතේ. මක්නිසාදයත් ඇගේ සමවයස් තරුණියන්ගේ කණකර අබරණ වලින් ඔපමට්ටම් වූ ලස්සනත් සමග සංසන්දනාත්මක චින්තනයකින් ඇය ඈ දෙස බලනවා ඇතැයි යන හැගීම ඇවිලුනු ගින්නක් මෙන් මවගේ සිත දවාලන නිසාවෙනි.

 

“කඩුල්ල ” යන පදය දුප්පත්කම නමැති සාධකය සංඛේතවත් කරයි. ” මලකි … දුවේ” යන්නෙහි මල රුපකයක් ලෙස ගීත රචකයා විසින් නිරුපණය කරනු ලබයි. පිපුණු මලේ රුව එමල දනීදෝ යන පදයෙන් ආරම්භ වන මෙම ගීතයෙහි තමාගේ රූමත්කම දියණිය නොදකියි. එමෙන්ම සැබෑ රුව දියණිය දකිනවට මව කැමති නැති බව පෙන්වයි. නැතිබැරි කම මාල 7 ක් වී ඇයගේ විවාහය ප්‍රමාද කරයි.

 

 

සිය දියණිය පෝරුවක හිඳුවා මාල හතක තැල්ලක් බැඳ සරණ පාවා දීම සෑම සිංහල කාන්තාවකටම රමණිය සිහිනයකි. නමුත් දිළිඳු බවේ පත්ලටම ලඟාවූ මෙම දියණියගේ මාල හත නැතිබැරි කමයි.නැතිබැරිකම නිසා ඇගේ කරකාර බඳින දිනය කඩුල්ල පැන යයි. ගැමි පරිසරයක හැදෙන වැඩෙන පවුලක් පිළිබඳව චිත්තරුප ගොඩනැංවීමට පද රචකයා “කඩුල්ල” වැනි වචන යොදාගෙන ඇත.

 

“කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා ” ” රෑ සෙවනැල්ලෙන් හිස පීරන්නේ යන පද පේළි වලින් ඔවුන්ගේ කටු මැටි ගැසූ බිත්ති මත කුප්පි ලාම්පුවෙන් පතිත වන රූ සෙවණැලි වලින් හිස පීරන දියණිය දකින මවගේ හිත තැලී පොඩි වී යයි. ගෙපැලේ රඳවා තිබු කැඩපත බිඳ දැමුවේ මව විසිනි/ ඇය එයට හේතුව ලෙස දක්වන්නේ රන් මාලයක් නැතිකමින් පාළුවූ කරට දුව ඇත තබා බලන විට එය ඇයට ඉහිලිය නොහැකි වූ නිසයි.

 

සරළ බසින් රචනා කරනු ලැබුවා වූත් මෙම ගීතයෙන් කියැවෙන අදහසට වඩා පුළුල් වචනාර්ථයක් සහ සම්ප්‍රධායක් මින් ධ්වනිත වේ. පෙරදිග සංස්කෘතියට අනුව ලංකාව ඉන්දියාව වැනි රටවල දියණියක් විවහා කරදීමේදී අතට කරට රන් ආභරණ දිය යුතුය. එලෙසින් අභරණ නොදීම දියණියටත් ඇගේ දෙමව්පියන්ටත් මදිපුංචිකමකි. විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල දියණියක් එලෙස දායාද නොමැතිව කුලගෙට ගියහොත් ඇගේ මුළු ජිවිත කාලයම පුරාවට නැන්දම්මාගේ අඩතේට්ටම් වලට මුහුණ දීමට සිදුවේ. මේ නිසාම ඇය සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථාද අපමණ දැකිය හැක.

 

” ලිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ලිඳට ඇයි නුඹ හිනැහෙන්නේ ” යන පද වලින් සහෘදයාට සංජනනය් වන්නේ මෙම තරුණිය හිමිදිරියෙන් අවදිවන බවයි. කුමන වැඩ කටයුතු තිබුණත් අලුයම අවදිවීම ගැමි පරිසරයේ සෑම කෙනෙකුගේම සිරිතකි. ඇය ලිඳ දෙසට යන්නේ හිරු නැග ඒමටත් ප්‍රථමය.

 

” හිරු නොබලන පින්නේ ‘ යන වචන වලින් තවමත් හිරු නැගී නැති බැව් පැහැදිලි වේ. නමුත් දියණිය ළිං ජලය තුළට නැමි සිනහා සෙයි. ආලෝකය හා පැහැදිලි ජල කළයක් තුළ ඇගේ රුව අපිට දැකිය හැකිය. නමුත් අපැහැදිලි හෝ අඳුරු වෙලාවක ජලය තුල එලෙස රුව දැකිය නොහැක.

 

මෙම ගී පද වැල් තුළින් මිට වඩා ව්‍යංගර්ථයක් ධ්වනිත කරවයි,. දියණියට ඇගේ අනාගතය පිලිබඳ පැහැදිලි දසුනක් නොමැත.අපේක්‍ෂාවන් අපැහැදිලිය. ගීත රචකයා පින්නෙන් වැසුණු හිරු රැස් පතිත නුවූ අපැහැදිලි ළිං ජලයට ඇගේ අනාගතය උපමා කරයි.පද රචකයා භාෂාව උපයුක්ත කර ඇත. මෙම තරුණිය අපැහැදිලි දිය තුළින් තම රුව දැකීමට උත්සහ කරයි. බුදු දහමින් නිබඳවම ආලෝකමත් වූ ගැමි සිතට දුක් කම්කටොලු දරාගැනීමේ ශක්තියෙන් යුක්තය. කළකිරිම තුලින් වුවද සිනාසි ජිවිතයට මුහුණ දීමේ නිසඟ හැකියාව මින් පිළිඹිමු වේ.

 

මෙම ගීත ඛණ්ඩයේ සුවිශේෂිත්වය පිළිඹිබු කරවන්නේ ” නොතලන් සිත මා ආදර දියණියනේ ” යන ආයාචනයෙනි . මෙම ගීතයේ පියකු පිළිබඳව නොකියවේ .සමහර විට පියා මිය ගොස්ය. බොහෝ දුරට දුදරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී වන්නේ මවයි. දියණියගේ සෑම ක්‍රියාවක් පිළිබඳවම මව විශේෂාවධානයකින් බලා සිටීම ලක් සමාජයේ බහුතරයක් මෑණිවරුන්ගෙන් අපි දකින සංසිද්ධියකි. අවසානයේ ඇගේ සිතේ මෝදු වන්නේ සංවේගයයි.
වත්මන් වාණිජ රැල්ල විසින් බිලිගත් ගෝලීයකරණයට හසුවූ ලෝකයේ විවහා වීමට අපේක්ෂා කරන තරුණියකට ලන්සුව තබන්නේ ඇය සතු ආර්ථික වටිනාකමයි.

 

ගීත රචකයා සරල භාෂාවක් උපයුක්ත කරගනිමින් රසික සිත් සන්තානයේ චිත්තරුප ජනිතවන ආකාරයෙන් පදවැල් සුසංයෝග කර ඇති බැව් මානව වැටහෙන දෙයකි. මෙම චිත්තරුපයන්හි ගලාගෙන යන ස්වරුපය ගීත රසය වඩ වඩාත් ඉස්මතුවීමට සමත් වී ඇති ආකාරය ඉතාමත් අපුරුය. වචාර්ථය ඉක්මවා යන ප්‍රබල පණිවිඩයක් මෙම ගීතයෙන් සමාජයට දායාද කර ඇති අතර අර්ථ රසයටම මනාව සුසංයෝඝ වූ පද සංගටනයේ අපුර්වත්වය රසිකයාගේ සිත්හි ගැඹුරටම කිඳා බසී. විවාහ වන වයසේ දියණියක් සිටින පිඩිත පන්තියේ මව්වරුන්ගේ හද ගැස්මේ රාවය නන්දා මාලිනීන් විසින් ඇගේ ගැඹුරු සිතට වදින්නාවූ තියුණු කටහඬින් සහෘද ජනයා වෙත ඉදිරිපත් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *