ශුද්ධවතුනි.. මහ පාරේ love කරන්න ඉඩ දියව්..! – නිවර්තනා කාවින්ද්‍ය

කොළඹ ජාතික රෝහලේ STD ඒකකයයි.
ලස්සනය. හුරුබුහුටිය. හුරතල්ය; කෙල්ලෙකි. බටු අැට කෙල්ලෙකි.

“පොසිටිව්”

දැන් කෙල්ලට ඒඩ්ස්ය. අච්.එයි.වී ය.

“අර ළමයාටත් එන්න කියන්න”

කොල්ලෙක්ය. උසය. පට්ටය. හැන්ඩ්සම්ය. අරයාගේ බෝයි ෆෙන්ඩ්ය.

“ඒත් පොසිටිව්”

මා සිතට බයය. ලඟ ඉන්න අපි අළුවන සුලුය. එ් අැස් ගිනියම්ය. මූණේ මස් පිඬු නැටුමකය. එකපාරට කඳුලකි. “පිරිමි කඳුලකි”

“උඹලා කෑවා අපිව. අපිට ඒඩ්ස් හැදෙව්වා…”

ශාපයකි. හෙන හතම වඳින ශාපයකි. මටය. ඔබටය. අපිටය.

“මඟුලේ ගිහින් වේසකන් කරලා දැන් එනවා කෙලෝගෙන අපිට කියෝනවා”

මිසීගේ කුටු කුටුවය. ඇහුනේ මට විතරය. මිසී බෙලහීනය. මූණට කියන්න බයය.

පොඩි කෙල්ලට අවුරුදු දාසයකි. කොල්ලාට විසිදෙකකි. ෆේස්බුක් අාදරයකි. රෑම් ගොස්ය. කෙල්ලට කෙල විය. කිරි දරුවාට ලේ කැටියෙකි. පොට් එකක් හම්බුනි. වාසනාවය. ඒ කතාව එතනින් ඉවරය. දැන් බෝනස්ය. එච්.අයි.වීය.

“අැයි ඔයාලා ඔච්චර මෝඩ වුනේ…”අාදරය” ද මේ?

“අපිද මෝඩ?…උඹලාගේ වැරදි වලට අපි වගකියන්න වෙලා”

“මොකක්ද ඒ කතාවේ තේරුම?”

“මේ මගේ පණ. හැබැයි මාත් කොල්ලෙක්”

“ඉතිං දැන් ඔයාගේ කොලු කමට අපිද වැරදි? අපි කිව්වද අාදරේ කියන්නේ රෑම් එක කියලා?”

“ඔව් කිව්වා. උඹලා හැමෝම කිව්වා.

අපි දෙන්නා ගොඩක් හම්බුනේ ක්ලාස් දවස් වලට…පාරක් අයිනේ කතා කරන්න බෑ, අතින් අල්ලන් පාරේ යන්න බෑ…උඹලාට මැජික්…ලෝකේ තියෙන ලොකුම කුණුහරුපේ උඹලාට එ්ක…ඉතිං කවුරුත් එන්නැති කවුරුත් දන්නැති රෑම් තියෙන විත්තිය උඹලා කිව්වා අපිට…අැඟිල්ලෙන් අැනලා පෙන්නලා දුන්නා

බිත්ති හතරක් මැද්දේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි තනියම. මගේ දුර්වලතාවය…ඔව් මගේ දුර්වලතාවය, මට කෙලින් වුනා…හැබැයි උඹලා තමා සර්පෝර්ට් කලේ. මහා පව්කාරයෝ උඹලා…මිනීමරුවෝ…”

“නෑ දූෂණකාරයෝ”

කෙල්ලත් ශාප කරන්නේ මටමය. ඔබටමය. අපටමය.

“වල් බල්ලෝ දෙන්නා…කෑවා මාව…මගේ පැටියාව අැඳලා දාලා මාරුවෙන් මාරුවට…මාරුවෙන් මාරුවට”

මගේ කට ඇරුණු. ඇස් එළියට පනීද මටම බයය. බිලියන තුනක් ඉක්මවන ස්නායු එකවර ප(ර්)කම්පනය දරන්නට බැරිය.

ඒ “දොස්තර මහත්වරු” හමුවුනි. පාදම ඔහුන්ය. ඒඩ්ස්ය.

ඉහලට ගත් මගේ හුස්ම එහෙම්මමය. පහත හෙලන්නට නිනව්වක් නැත.

“ඇයි මිසී ඔයා එහෙම කලේ…ඇයි අපි ඒ නොදරුවන්ට එහෙම කලේ…ඇයි මන් එහෙම කලේ”

ශාපය මා බාරගමි. ඔබද බාරගත යුතුව ඇත. නැතහොත් අැගේ ගහා හෝ බාරකරමි. දන්නා තරමින් ආදරයට වයසක් නැත. අපේ මේ බටු ඇට කෙල්ලෝ කොල්ලන්ට ආදරේ කරන්න වයසක් හොයා දීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම අපිට අදාලම නැත. ඔවුන්ට රිසි සේ “ආදරය” විඳින්න දිය යුතුය. එය අපේ පරම යුතුකමකි.

ඉස්සර ඔබ මා කුඩා කාලයේ අක්කලා අයියලා කී දෙනෙක් දෑත් පටලන් පාරේ යනවා දැක ඇත්ද…බස් එකේ පිටි පස්සේ සීට් එකේ සුදු ගවුම් පොඩි එක්ක කයිය ගහන අයියලා කොතෙකුත් දැක ඇත්ද ? කෝ අද ඒ පෙම්වතුන් ?

“ඔය ඕන තරම් තැන් තියෙන්නේ දෙසීයේ තුන්සීයේ ඉදන්…රිංගන් ඇති ගුබ්බෑයම් වලට”

ඔවුන්ට එහෙම අවශයතාවයක් නැත. ඇති අයද සිටි. මා කතා කරන්නේ අපේ අවනඩුවෙන් ගැලවීමට කවුරුත් එන්නැති කවුරුත් දන්නැති තැනකට අපේ උවමනාවට අපිම යවන පිරිස ගැනය.

ඔබත් මමත් Cctv අැන්ටිලා අංකල්ලා නොවිය යුතුය. සැටලයිට් මූලස්ථාන නොවිය යුතුය. කොල්ලෙකුට කෙල්ලෙකුට මහා පාරේ “ආදරේ” කිරීමේ අයිතිය දිය යුතුය. අතින් අල්ලන් පාරේ ගිය සැනින් බබාට උප්පැන්නය හදලා දෙන සමාජයක් නොවිය යුතුය. ගල් බංකුවක් උඩ ඉඳන් හාදුවක් දුන් පමණින් අහවල් දේ දැක්ක ස්වයන් වින්දනෙන් අැහැරිය යුතුය. කොල්ලෙක්ගේ පුරුෂ ශක්තිය අප ඉදිරියේ ඔවුනේගේ දුර්වලතාවය විදිහට වැමෑරීමට ඉඩ නොදිය යුතුය.

“ආදරේ මහා පාරට ගෙන ආ යුතුය”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *