බුදුන්ගේ පච්චය නිසා පිටුවහල් කළ කතට රජයට වන්දි ගෙවීමට සිදුවේ

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටාගෙන මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික හෙදිය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණා.ඒ අනුව ඇයගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රජයට නියෝග කළේ අදාල කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසටයි.
එමෙන්ම තවත් රුපියල් ලක්ෂ 02ක් නඩු ගාස්තු ලෙස ගෙවන ලෙසටද නියෝග කෙරුණා.
මෙම විදේශික කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයෙකුට ඇයට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව රුපියල් ලක්ෂ 8ක සමස්ත මුදලක් මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ගෙවිය යුතු වනවා.
මෙම පච්චය මගින් බුදු දහමට හෝ බුදුරුවට කිසිදු අපහසයක් කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නොතිබූ බව අදාළ කාන්තාව අධිකරණය හමුවේ කියා සිටියා.
එමෙන්ම සැදැහැවත් බෞද්ධ කාන්තාවක් වන තමා බුදු දහමට ඇති ගෞරවය නිසාම බුදු රුව සිය බාහුවේ පච්චයක් ලෙස සටහන් කර ගත් බව ද ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙම කාන්තාව අත්අඩංගුවට පත් වුණේ පසුගිය 2014 වසරේදීයි.

එම අවස්ථාවේදී ඇය මෙරටින් පිටුවහල් කිරීමට ද අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණා.
මෙම නඩු තීන්දුව වාර්තා කරන බී.බී.සී සිංහල සංදේශය පෙන්වා දෙන්නේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ද සිය කළිසම් සාක්කුවේ කුඩා බුදු රුවක් තබා ගෙන සිටි බව පසුගිය දා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බවයි.

සිය සාක්කුවේ තිබූ කුඩා බුදු පිළිමය ගෙන අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය හමුවේ, බරක් ඔබාමා කියා සිටියේ ආශිර්වාද පිණිස මෙන්ම සිහිවටන වශයෙන් තමා වෙත ලැබුණ දේ කලිසම් සාක්කුවේ දමාගෙන සිටි බවයි.
හිටපු ජනපති ඔබාමා එම අවස්ථාවේ එම බුදුරුව සිය සාක්කුවෙන් පිටතට ගෙන මාධ්‍යවේදිනියට පෙන්වූ බව ද බී.බී.සී. සිංහල සංදේශය, අදාළ ප්‍රවෘත්තියේම දක්වා තිබුණා.

නිව්ස්24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *