ග්‍රාමීය ආර්ථිකයේ අතෘප්තිය. – අහිලන් කදිරගාමර්

දශක ගණනාවක් තිස්සේ නොසලකා හැරීමට ලක්කරන ලද ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයේ වත්මන් ස්වභාවය කෙබදුද? පසුගිය දිනෙක ප්‍රකාශයට පත්කරනු ලැබූ 2016 කුටුම්භ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාවේ දත්ත අනුව සලකා බලන විට ග්‍රාමීය හා වතු අංශ ගැන ලැබෙන චිත්‍රය බෙහෙවින් කණගාටුදායකය.
මෑත දශක කිහිපය තුල ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් මූලික වශයෙන් දිශාගත වී තිබුණේ නාගරික සංවර්ධනය කෙරෙහිය. නාගරිකකරණය සියලු ආර්ථික දුර්දශාවන්ට පිලියම ලෙස සැලකෙන තරමට මේ නැඹුරුව ප්‍රබලය. යැපීම සදහා අවශ්‍ය අවම මුදල් ප්‍රමාණය අනුව ගණනය වන ‘දරිද්‍රතාවය’ පිලිබද ගැටලුසහගත නිල කතිකාවක් විසින් මේ අතර ආර්ථික වශයෙන් ආන්තික වූ සමාජ කොටස්වල ප්‍රශ්නය විග්‍රහ කෙරෙනු දක්නට ලැබේ.
නියගය, එක තැන පල්වෙන ආදායම් හා විවිධ හිගකම්වලින් පරිපීඩිත ගම්බද ජනජීවිතය විසින් මතු කරන අභියෝගයන් ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුව දැන්වත් සූදානම්ද? රජය රටේ ග්‍රාමීය ආර්ථිකය ගැන ගන්නා ප්‍රවේශය අපට මෙම සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අය වැය තුලින් දැකගත හැකි වනු ඇත. (මෙම ලිපිය ලියන විට අයවැය ඉදිරිපත් කොට නොතිබුණි – පරිවර්තක) කෙසේ වුවද, දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාමීය ආර්ථිකය නොසලකා හැරීම නිසා ඇති වී තිබෙන ප්‍රතිඵල නැවත රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන මූලධාර්මික ලෙස කල්පනා කොට බැලීම කෙරෙහි අපව යොමු කරනු ලබයි.
ගම සහ නගරය
2012 වර්ෂයේ ජනගහණ සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ ගම්බද ජනගහණය සියයට 77.4 ක් ද, වතු ආශ්‍රිත ජනගහණය සියයට 4.4 ක් ද, නාගරික ජනගහණය සියයට 18.2 ක් ද වේ. මෙහි නාගරික හා ග්‍රාමීය යන ජන කොටස් වෙන් කිරීමට යොදා ගන්නා පදනම විවාදයට තුඩු දී තිබෙන්නකි. නගර සභා සහ මහ නගර සභාවල ජීවත් වන අයය වර්තමානයේ නාගරික ජනගහණය ලෙස සැලකෙන්නේ. ලංකාවේ ‘ග්‍රාමීය’ ලෙස සැලකෙන දෙය වෙනත් රටවල, උදාහරණ ලෙස ඉන්දියාවේ ග්‍රාමීය ලෙස සැලකෙන දෙයට වඩා වෙනස් වීමට පුලුවන. නාගරික කේන්ද්‍රයන්ට තිබෙන දුර, ආර්ථික ක්‍රියාකාරකම්වල ස්වභාවය හා සේවාවලට තිබෙන ප්‍රවේශය ආදී දර්ශකවල වෙනස්කම් තිබීමට පුලුවන.
‘ග්‍රාමීය’ ආර්ථිකය ගැන ලියා තිබෙන බොහෝ ලේඛකයින් ‘ගම’ දෙස බලා තිබෙන්නේ ‘ඉඩම්’ හා ‘ගොවි ජනතාව’ නම් වූ ප්‍රිස්මය තුලිනි. ගම්බද ආර්ථික ජීවිතය ප්‍රධාන වසයෙන් කෘෂි නිෂ්පාදනය හා සමරූපී ලෙස හදුනා ගැනෙන අතර කෘෂි ආර්ථිකය ඉඩම් හා ගොවිජනයා සමග සම්බන්ධ කෙරේ. කෙසේ වූවද, ග්‍රාමීය ආර්ථිකයන් ගැන මෑතකාලීනව සිදු වූ පර්යේෂණ බොහොමයක් ආර්ථික ක්‍රියාකාරකම්වල බහුවිධතාවය කෙරෙහි අවධානය යොමු කොට ඇත. කෘෂිකාර්මික ඉඩම්වල වැදගත්කම තිබියදී ගම්බද ජනයා වෙනත් මූලාශ්‍රවලින් – උදාහරණ ලෙස, අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ලෙස වැඩ කිරීම, වෙනත් සුලු නිෂ්පාදන කටයුතුවල නියුක්ත වීම හා නගර සහ පිටරටවල සංක්‍රමණික ශ්‍රමිකයින් ලෙස ආදායම් ඉපයීම ආදී වෙනත් මාර්ගවලින් ද ආදායම් ලබති. වතු අංශයේ ද මේ තත්වය දක්නට ලැබේ. වතුකරයේ බොහෝ අය එක්කෝ වතුවල රැදෙමින් නැතිනම් නගරවලට සංක්‍රමණය වී නගරවල අවිධිමත් ශ්‍රම කටයුතුවල යෙදී ආදායම් ලබති. එම ආදායම් සිය පවුල්වලට යවති.
ගම්බද හා වතුකරයේ ජනයා ජීවත් වීමට දරන ආර්ථික වෙහෙස කවරාකාර වූවද 2016 කුටුම්භ ආදායම්-වියදම් සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ නාගරික ජනයාට සාපේක්ෂව ගම්බද හා වතු අංශවල දරිද්‍රතා මට්ටම හා ආදායම් විෂමතාවය බෙහෙවින් ඉහල බවයි. ග්‍රාමීය, වතු හා නාගරික අංශවල දරිද්‍රතා අනුපාතය පිලිවෙලින් සියයට 4.3, 8.8 හා 1.9 ක් වේ. තවද මේ අංශවල මාධ්‍යමික ඒක පුද්ගල ආදායම (මාසික) පිලිවෙලින් රු. 11,140, රු. 7,107 හා රු. 14, 090 කි.
Village Economy-01
ඒ අනුව පෙනී යන පරිදි ජනගහණයේ සියයට 82 ක් ජීවත් වන ග්‍රාමීය හා වතු අංශවල ජනයා සාපේක්ෂව වැඩියෙන් ආර්ථික අමාරුකම්වලට ලක්වී ජීවත් වෙති. කෙසේ වූවද, පසුගිය කාලයේ අපට දක්නට ලැබුණේ නාගරිකත්වය කෙරෙහි යොමු වූ ආර්ථික ප්‍රතිපත්ති සමුදායකි. කොලඹ නගර අලංකරණය වේවා, මෙගාපොලිස් වේවා, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වේවා, ලෝක බැංකුවේ උපාය මාර්ගික නගර ව්‍යාපෘතිය වේවා මේ සියල්ලෙහි එල්ලය නාගරික අංශයයි. මූල්‍යකරණය සමග එකට ගැටගැසුණු සීඝ්‍ර නාගරික සංවර්ධනය මගින් ආර්ථිකයේ තාවකාලික ‘බුබුලු’ ඇති විය හැකි අතර මෙය ආර්ථික වර්ධනය තුල පිලිබිඹු විය හැක. කෙසේ වූවද 1997 ආසියානු ආර්ථික අර්බුදයේ සිට 2008 ගෝලීය ආර්ථික අර්බුදය දක්වා සියලු සිදුවීම්වලින් අප දුටු පරිදි මෙම බුබුලු අර්බුදභරිතය. මෙම අර්බුදභරිත නාගරික-කේන්ද්‍රීය දැක්මට විකල්පව අපට යෝජනා කල හැක්කේ ග්‍රාමීය අංශයේ කරනු ලබන ආයෝජනවලට ප්‍රමුඛතාවය දීම ලංකාව වැනි රටක් තුල වඩාත් තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීම සදහා වැදගත් වනු ඇති බවයි.
ආර්ථික පදනම සහ ග්‍රාමීය වත්කම්
ග්‍රාමීය ආර්ථික ජීවිතයේ එක් විශේෂත්වයක් වන්නේ ආදායම් හා වියදම්වල සැලකිය යුතු පංගුවක් මුදල්-නොවන ස්වභාවයක් ගැනීමය. වෙලදපොලට නොඑන මෙබදු බොහෝ ක්‍රියාකාරකම් ජාතික දත්තවල අඩංගු වන්නේ නැත. ඉන්ධන සදහා දර සොයාගැනීම, ගෙවතු වගා මගින් එලවලු ලබාගැනීම, ගෘහස්ථ පරිභෝජනය සදහා කෘෂි හා ධීවර නිෂ්පාදිතවල කොටසක් ඉතිරි කරගැනීම ආදිය මෙබදු මුදල්මය-නොවන ක්‍රියාකාරකම්වලට නිදර්ශන වන අතර ගම්බද පවුල්වල ආර්ථික ජීවිතයේ වැදගත් පදනමක් වන මෙම අංශය ප්‍රධාන දහරාවේ ආර්ථික විශ්ලේෂණවලට බොහෝ විට විෂය නොවේ.
කෙසේ වූවද නියග හෝ ගංවතුර ආදී ස්වභාවික ආපදාවලට ලක්වූ විට මෙම ආර්ථික පදනමට හානි සිදුවිය හැක. එසේම වෙලදපොල මගින් ඇති කරන පීඩනයන්ට ද ග්‍රාමීය ප්‍රජාවන්ට මුහුණ දීමට සිදුවේ. උදාහරණ ලෙස රටේ බොහෝ ගම්බද පෙදෙස්වල ව්‍යාප්ත වී තිබෙන විනාශකාරී ක්ෂුද්‍ර-මුල්‍ය ණය සේවා මගින් ගම්බද පවුල් මත කරන බලපෑම බරපතලය. මෙබදු ණය උගුලකට හසුව ණයභරිත වු විට එම ණයගැතිභාවය ඔවුන්ගේ ආර්ථික ජීවිතය කෙරෙහි බලපායි. තම කෘෂි නිෂ්පාදනය හෝ ගෙවතු වගා පවත්වාගෙන යාමට ඔවුන්ට තිබෙන හැකියාව කෙරෙහි ණයගැතිභාවය බල පෑ හැකි අතර වඩාත් සීමාන්තික තත්වයන් තුල ඉඩම් සහ බෝට්ටු, කෘෂි ආම්පන්න ආදී වෙනත් නිෂ්පාදජනක වත්කම් ඔවුන්ට අහිමි වන ප්‍රමාණයට ණයගැතිභාවයේ බලපෑම දරුණු විය හැක.
උදාහරණයක් ලෙස, කුඩා පරිමාණ ධීවරයින් ගතහොත් ඔවුන්ගේ ජීවනෝපාය හුදෙක් ඔවුන්ගේ කුඩා ධීවර යාත්‍රාව හා එංජිම යන ආම්පන්නවලට සීමා වූවක් නොවේ. සාර්ථික ලෙස ජීවනෝපායෙහි යෙදීම සදහා කකුලුවන් ආදී විවිධ වර්ගවල ජීව විශේෂ අල්ලා ගැනීමට උපයෝගී වන විවිධ වර්ගවල දැල් වර්ග තිබීම වැදගත්ය. විවිධ ජීව විශේෂ හතරක් හෝ පහක් සදහා වෙන් වූ එබදු විවිධ දැල්වල සන්තකය ඇතැම් විට රු. මිලියනයක් පමණ වටී. මේ අනුව, සිය ජීවනෝපායන් පවත්වා ගැනීම සදහා සහ ශිෂ්ට ආදායමක් උපයා ගැනීම සදහා ධීවර ජනයාට සිය ආර්ථික පදනම වර්ධනය කරගනු වස් සැලකිය යුතු කාලයක් තිස්සේ මුදල් ඉතිරි කිරීමට සිදුවේ. මෙය ඔවුන්ගේ ජීවනෝපාය සම්බන්ධයෙන් තීරණාත්මකය.
මෙලෙස ඉතිරි කිරීමට තිබෙන හැකියාව හුදෙක් ධීවරයින් සිය නිෂ්පාදන කටයුතුවලට යොදන ශ්‍රම ප්‍රමාණය හෝ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය මත පමණක්ම තීරණය වන්නේ නැත. රජයේ ආර්ථික ප්‍රතිපත්තීන් ද ඒ කෙරෙහි බලපායි. උදාහරණ ලෙස, රජය ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් මත කොපමණ දුරට ආයෝජනය කරනවාද, වටිනාකම් එකතු කරනු ලබන ගම්බද කර්මාන්ත කොපමණ පවතිනවාද, අනුගමනය කෙරෙන්නේ කෘෂි ආනයන අධෛර්යමත් කෙරෙන විදේශ වෙලද ප්‍රතිපත්තියක්ද ආදී සාධක ගොවි හා ධීවර ජන කොටස්වල ආදායම් හා ඉතුරුම් කෙරෙහි බලපායි. තවත් වැදගත් සාධකයක් වන්නේ අතරමැද වෙලෙන්දන්ගේ සූරාකෑමෙන් තොරව වෙලදපොල සමග සම්බන්ධ වීමට එම ජන කොටස්වලට තිබෙන අවකාශයයි.
දරිද්‍රතාවය සහ ග්‍රාමීය සංවර්ධනය
බොහෝ විට ග්‍රාමීය ආර්ථිකය පිලිබද අර්බුදය ‘දරිද්‍රතාවය’ පිලිබද ප්‍රශ්නයට ඌනනය කරනු අපට දක්නට ලැබේ. දරිද්‍රතාවය ගැන මේ කතිකාවේ පදනමම ප්‍රශ්නකාරීය. නිදසුන් ලෙස අප ඉහත උපුටා දැක්වූ දරිද්‍රතා සංඛ්‍යා සදහා පදනම් වන දරිද්‍රතා නිර්වචනය තුල දිලිදුකම ලෙස හදුනාගැනෙන්නේ යැපීම සදහා අවශ්‍ය අවම ආර්ථික තත්වයන් නොමැති තත්වයයි. මේ නිර්වචනය අනුව ගිය විට 2016 වර්ෂයේ දී වාර්ෂිකව රු. 4,166 ක ආදායමක් ලැබූ අයෙක් ‘දිලිදු’ අයෙක් නොවේ. මෙම නිර්වචනයේ ගැටලුසහගතභාවය ඒ අනුව පැහැදිලිය. ජීවත් වීම සදහා අවශ්‍ය බහුවිධ අවශ්‍යතා නොසලකා හැරීමට අමතරව ජනයාගේ ආර්ථික පදනමේ ස්වභාවය, ඔවුන්ගේ ණයගැතිභාවය සහ ගම්බද සුබසාධන සේවා හා ජීවනෝපාය අවස්ථා ආදී ග්‍රාමීය සමාජ ජීවිතයේ වෙනත් ගතිකයන් නිසි ලෙස සැලකිල්ලට ගැනීමට නිල දරිද්‍රතා කතිකාව අසමත් වී තිබේ.
දරිද්‍රතාවය හා සම්බන්ධ අනෙක් විකාර සහගත ගණනය කිරීම වන්නේ දරිද්‍රතා පරතරය ගැන මිම්මයි. දරිද්‍රතාවයෙන් මිදීම සදහා අවශ්‍ය කරන ආදායම් ප්‍රමාණය මින් අදහස් වේ. ලංකාවේ රජය දරිද්‍රතාවය පහත වැටීම ගැන මහත් ආඩම්බරයෙන් අදහස් දක්වයි. 1995/96 කාලයේ සියයට 28.8 ක් වූ දරිද්‍රතා ප්‍රතිශතය 2006/07 වන විට සියයට 15.2 දක්වා ද, 2016 වනවිට සියයට 4.1 දක්වා ද පහත වැටී ඇති බව ඒ අනුව කියැවේ. මේ සියලු සංඛ්‍යා ලබාගෙන තිබෙන්නේ දරිද්‍රතාවයට ඉතාම පටු හා සීමිත නිර්වචනයක් ලබාදීම තුලිනි. මේ ගණනයන් මත විවිධ ඉලක්ක ද සම්පාදනය කරනු ලැබේ. 2016 කුටුම්භ ආදායම්-වියදම් සමීක්ෂණය අනුව වාර්ෂිකව රු.බිලියනය මගින් වැය කෙරෙන්නේ නම් සැලසුම්සහගත ලෙස දරිද්‍රතාවය මුලුමනින්ම තුරන් කල හැක.
දරිද්‍රතාවය තුරන් කිරීම පිලිබද ගෝලීය නව ලිබරල් කතිකාව සහ ඉහත කී වර්ගයේ ඉලක්කගත ක්‍රියාමාර්ග මෙබදු විකාරරූපී සංකල්ප සමග සෙල්ලම් කිරීමට කැමැති තාක්ෂණඥයින් කුල්මත් කිරීමට සමත් වනවා විය හැක. එහෙත් ජනතාවගේ සැබෑ ජීවිතවලට ඉන් ලැබෙන ප්‍රයෝජනයක් නැත. පසුගිය දශක කිහිපය තුල ගම්බද ප්‍රශ්නය ගැන ලියැවුණු බොහෝ ශාස්ත්‍රීය ලේඛකයින්ටගම්බද ජනයාට ශක්තිමත් ආර්ථික පදනමක් සහතික කල හැකි සමාජ සුබසාධනය හා ග්‍රාමීය සංවර්ධනය ඉලක්කගත වූ අර්ථාන්විත වැඩසටහන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විෂය වී නැත.
ග්‍රාමීය ජනතා අතෘප්තින් ආමන්ත්‍රණය කිරීමට අසමත් වීමේ ප්‍රතිඵල විවිධ යුගවල විවිධ අරගල හා නැගිටීම්වල ස්වරූපයෙන් ප්‍රකාශයට පත්වූයේය. අනෙක් අතට, ප්‍රතිගාමී අදහස් සහිත දක්ෂිණාංශික හා අධිකාරිවාදී ප්‍රවණතා ගම්බද ජනයාගේ අතෘප්තීන් ස්වකීය ව්‍යාපෘති සදහා පාවිච්චි කිරීම ගැන හොද උදාහරණ ලංකාවේ ඉතිහාසය තුල ඕනෑ තරම් තිබේ. ග්‍රාමීය ජන ජීවිතය තුල පවතින විවිධ අතෘප්තීන් සහ අසහනයන් වටහා ගැනීම හා ගම්බද ආර්ථිකය සදහා අර්ථාන්විත විකල්ප වෙනුවෙන් වැඩ කිරීම ඒ අනුව ගත්කල තවදුරටත් මග හැර යා නොහැකි කටයුත්තක් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *