ඒක බියකරු හැන්දෑවක්.. එත් මම තාමත් තනියම

“පැය ගාණක් ඉර අහසෙම රජ කරලා, අහස එක්ක නෝක්කාඩු කරගෙන වගේ අවරගිහින් බැහැ ගෙන යනවා.. අහස රතුම රතු පාටයි.. හරියට ඉර ‍යන්න යනවට ඇස් රතුකරගෙන වගේ..!

මුහුදු වෙරළේ හුරු පුරුදු තැන ඉදගෙන අදත් මං ජීවිතේ හෙවුවා. අහසෙ වැහි වළාකුළු සුළඟ ඇවිත් එහාට එහාට තල්ලු කරගෙන යනවා වගේ මගේ ජීවිතෙත් ප්‍රශ්න මේ සුළඟ තල්ලු කරගෙන යනවනම් කියලා විකාර මනස්ගාත වලින් වෙලාවකට මගේ හිත පිරෙන්නේ තනිකමත් තුරුළු කරගෙන.
“විගහට ගෙදර යමන්. දැන් රෑ වෙලා.”

මං තිගැස්සිලා ගියා ඒ වචන වලට. වට පිට බැලූවත් කවුරුත් නැති බව මට දැණුනා. කල්පනාවෙන් මිදිලා මගේ හිත ඈව හොයන්න ගත්තා..

“කවුද.? ” උඹ දැන් මගෙන් අහවි.

“අම්මා.” මං උඹට උත්තර දේවි.. !

හ්ම්ම්ම්.. මට ඒ ඇහුණේ අම්මගෙ හඬ. ඒත්, පෙන ඉමකවත් අම්මගෙ රූපේ මට දකින්න තිබුණේ නෑ.. වෙරළ සිපගන්න රැල්ල වගේ, අම්මගෙ ආ ගිය මතක මගේ හිතට ඇවිත් යන්න ගත්තා.
අම්මගෙයි , මගෙයි පිය සටහන් වැල්ල මත සෙල්ලම් කරනවා වගේ මට මැවිලා පෙනෙද්දි මං කල්පනා කරේම අම්මා දැන්වත් එයිදෝ කියලා.

මුහුදු හුළං ඇඟ පුරා එතිලා එතිලා මුළු ඇඟම කරිජ්ජ වලින් නෑවිලා ගිහින්. දැන් දැන් සිතිජය ඉරත් ගිල ගන්නවා.. හුරුපුරුදු තනිකම එක්ක නිදහසේ අතපය විසීකරලා මං තාමත් වැල්ල මත මතක එක්කාසු කරනවා.

ඉස්සර මුහුදු හුළං සැර වෙද්දී , පොලඅතු සෙවිළි කල වහලය මහ උජාරුවෙන් පියඹගෙන යනවා. එතකොට අම්මයි, මමයි කරකියා ගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. පහුවදා එළිවෙනකම්ම අම්මා මාව එයාගෙ උණුහුමේ ගුළි කරගන්නවා.
“අදත් තාත්තා නෑනේ අම්මේ?”

” තාත්තා එන දවසක් හරියට කියන්න බෑ මයෙ පුතේ?”

” ඒ ආවම කවදාවත්ම තාත්තා යන එකක් නෑ නේද අපිව දාලා”

“දැන් රෑ වෙලා හොදටම. කෝ නිදාගනින්.” අම්මා මගේ ප්‍රශ්න වලට උත්තර හැංඟුවා කියලා මං දැන ගත්තේ පස්සේ. එළිවෙනකම් පුංචි කතා ගොතලා මට කියද්දී මං ඒවා අහඟෙන ඉන්නවා. ඒ හැමකතාවකම සතුට ගොඩයි දුක පොඩ්ඩයි.. එතකොට මං ඇහුවෙම,

“අපිටත් මේම දවස් තියෙනවද ?” කියලා.

අම්මා මගේ ඇස් දිහා බලලා කීවේ, “කවදම හරි අපිටත් කලක් යියි ” කියලා.
මාළු හොඳයි පොලුයි බතුයි රස කෑමත්. හරියට දිව්‍ය බොජුන් වගේ. අම්මා උදේම කෑම හදනවා. එතකොට මං පොල් ටික ගානවා.

“කෝ..කෝ.. මෙහාට දියන්. උඹට ඕවා කරන්න බෑ”

“නෑ..නෑ.. අනේ මට පුළුවන්. දෙන්නකෝ අම්මේ.”

“කියන දේ අහලා පැත්තකට වෙයන්. ”

පොල් ගානකොට අම්මා එක්ක හිත් අමනාප කර ගන්න එක මට සාමාන්‍ය දෙයක් වුණා. අල්ලට සීනි කාලා අපි උදේම කහට කෝප්පයක් බොනවා. සමහර දාට මට කලින් කූඹියෙක් දෙන්නෙක් ඒ කහට කෝප්පෙට ඇල්ම දාද්දි මං වුන් එක්ක රණ්ඩු කරගන්නවා. ඒක හරි සුන්දරයි.. එතකොට අම්මා කීවෙම,
“ඔය විකාර නැතුව විගහට ඕක බීපන් ” කියලා. දවල් 12 වගේ වෙද්දී ඉර මුළු අහසම අයිති කරගන්නවා. අපි ඊට කලින් ගෙදරින් එළියට යන්නේ වේලක් කන්න කීයක් හරි හම්බකරගෙන එන්න.

අම්මා අත්දෙකම මාළ වළලු වලින් පුරවා ගන්නවා. උරහිස් දෙකට රෙදි කෑලි තුන හතරකුත් දාගෙන වැල්ල පුරා එහා මෙහා යනවා. එතකොට මං කොනකට වෙලා අම්මා අයෙම එනකම් වැල්ලේ අකුරු ලියනවා.ඒ අකුරු පැහැදිලි නෑ. හරියට මගේ ජීවිතේ වගේ. ඒත් මං කාලෙ මකා ගත්තේ ඒ අකුරු එක්ක. සුදු නෝනලා, සුදු මහත්තයලා වැල්ල අයිති කරගෙන. වෙලාවකට මට ලෝබ හිතුණා. පාට පාට සෙරෙප්පු එයාලගෙ කකුල් බඳාගෙන යද්දී මට වෙලාවකට දුක හිතුණා. හවස හුළඟ හීතල වෙද්දී පාට පාට වෛ වර්ණ රෙදි එයාලගෙ හීතල මකද්දී මට වෙනදටත් වඩා හීතල දැණෙන්න ගත්තා.. මං හිත ගල් කර ගත්තා. හීතලේ මිරිකීගෙන උණුහුමක් හෙවුවා.. ඒත් ඒ කොතනකවත් උණුහුමක් මට ලැබුණෙම නෑ.බිම්තබරු මල් මගේ දිහා බලාගෙන හිටියා. මං බිම බලාගෙන වැලි අස්සේ මගේ ඇස් දෙක හැංඟුවා හිතේ දුක ඇස් වලින් එළියට එන්න කලියෙන්.

වැල්ල හැඩ කරන සිප්පි කටුයි , බෙල්ලො කෑලීයි වලින් හැමදාම මගේ සාක්කු දෙක පිරවුණා. ඒ සිප්පි කටු ගෙදර ගියාම අම්මගෙ මාල වල අයිතිකාරියෝ වෙනවා. අපි උන්ට වටිනාකමක් දුන්නට වුන් අපිට වටිනාකමක් දෙන්නේ එහෙමත් දවසකට.

හුළඟ අල්ලන්න මං ආස කරා. රැල්ල එක්ක තරඟෙට දුවන්නත් මං ආස කරා. වැල්ලේ වැළි මාළිඟා හදන්න වගේම ඈතම ඈත බොට්ටු වලට අතවනන්නත් මං ආස කරා.

වැල්ලේ ලියන අකුරු, වැල්ලේ තිය පිය සටහන් හැමදේම රැල්ල ඇවිත් හනිකට මකලා යනවා හරියට අපේ ජීවිතේ හැම මොහොතක්ම අතීතෙක එකතු වෙලා අලුත් වර්තමානයක් නිර්මාණය කරනවා වගේ.
“ජීවිතේ මහ බරක්” කියලා අම්මා කියනකොට “ඇයි ඒ?” කියලා අහන්න මට ඒ තරම් දැනුමක් තිබුණෙම නෑ. ඉතිම් මං කියන්නෙම, “ඕපාර හවසට ගෙදර එද්දි ජීවිතේ වැල්ලෙන් තියලා එන්න, රැල්ල ඇවිත් අරන් යයිනේ” කියලා. එතකොට අම්මා කට කොනින් හිනා වෙලා කියන්නෙම” ඒම වෙනවනම්, ඒ බර දරා ගන්න බැරිව මහ මුහුද ගොඩ ගලයි” කියලා.!

ඒක මහ විකාර කතා බහක්.. මං තනියම කල්පනා කරේම ඒමයි..

හැමදාම එකම විදියට ඉදලා මට දැන් එපා වෙලා. මගේ ආසාවල් එක්ක ඇවිදින්න මටත් ඕන. ඇයින් ඒවට ඉඩක් නැත්තේ කියලා මං තනියම මගෙන් ප්‍රශ්න කර ගද්දී අම්මා කීවේ, “හෙට මුහුදු නාන්න එක්කගෙන යන්නම්” කියලා.

සතුටෙන් ඉපිළි ඉපිළි මං දුව ඇවිද්දා. හෙට ඉර උදාවෙනකම්ම මං ඇඟිලි ගැන්නා. අම්මගෙ බෙල්ලේ එල්ලිලා අම්මට හාදුවකුත් දුන්නාම අම්මා කීවෙම ” උඹේ ඔය හිනාව තමා මාව ජීවත් කරවන්නේ ” කියලා.
රාත්‍රිය වෙනදා වගේ නෙවෙයි. හුඟක් දිගයි. ඉර පායන්න බෑ බෑ කියනවා වගේ මට දැණුනා. මං බලාගෙන හිටියේ එළිය වැටෙන්නේ කොයි වෙලාවෙද කියලා. අම්මා හයියෙන් හුස්ම ගන්නවා. මට රෑ මැද්දේ මහ මොකක්දෝ බයකුත් දැණුනා. මං ගුළි වෙලා ඇස් දෙක පියා ගත්තා.

“කෝ.. නැගිටහන් දැන් එළිවෙලා..” හුරු පුරුදු වචන මාව ඇහැරෙව්වා.

“අම්මේ අපි ඉක්මනට යමු”

“වැල්ලට ගිහින් රැල්ල එක්ක ඕනවට වඩා නම් දඟ වෙන්න බෑ හොදද” ඒ අම්මගෙ වචන.
මං ඔලුව වනලා අම්මට එකඟ වුණා.

ඉතිම් අපි ගියා. උදේ පාන්දර නිසා තාම වැල්ලත් නිදි. වැල්ල ඇහැරෙයි කියලා බයට අපි අඩිය තිබ්බෙත් හරි හිමින්. අම්මගෙ පිය සටහන් පිටි පස්සේ මගේ පිය සටහන් කවදාවත් නැතුව හරිම ලස්සනට රටා මවනවා.

අම්මා මාව අරන් ගිහින් රැල්ලට බාර දීලා අම්මා ඇවිත් වැල්ලෙන් වාඩි වුණා. අද රැල්ල මගේ. මං උජාරුවෙන් සතුට එක්ක රැල්ලට තුරුළු වුණා. රැල්ල මගේ කර උඩින් ඉස්සරහට ඇවිදගෙන යනවා. එතකොට අම්මත් ඈත ඉදෙගෙන සතුටින් හිනා වෙනවා.
අද වෙනදා වගේ නෙවෙයි. ටිකක් අන්දකාරයි. වැහි වළාකුලු දෙක තුනක් මගේ ඔලුව උඩින් පාවෙවී තිබුණා.

” මේ බොට ඇහුනද .? වහින්න හදන්නෙ මයෙ හිතේ. දැන් යමන්. ඔය මැදැයි.” අම්මා බෙරිහන් දුන්නා.
“බෑ..බෑ.. තව ඉමු. ” මං අම්මට කෑ ගහලා කීවා.

“අද විතරයි. ආයෙනම් උඹව එක්කගෙන එන්නේ නෑ. ”

අම්මට තරහ ගිහින් . මට ඒ වචන වලින් දැනුනා.

“හා..හා.. අද විතරයි , ඒනම් තව ඉමු අනේ අම්මේ.” මං අම්මට අයාචනා කරනවත් එක්ක වැස්ස කඬාගෙන වැටුණා.

“මෙන්න මහාට වරෙන් ගෙදර යන්න” අම්මා දුවගෙන ආවා.

අම්මට අහුවුනොත් ගෙදර යන්න වෙන බව දැණුන නිසාම මම මුහුදට දිව්වා.රැල්ලත් මාව එහාට එහාට අරගෙන ගියා. එක පාරම අම්මා කෑ ගැහුවා.

“යන්නෙපා පුතේ.. යන්නෙපා” කියලා..

අම්මගෙ වචන හුළඟ ඇවිත් ඩැහැගෙන ගියා.. මාව ගිළෙනවා, ගිළෙනවා වගේ මට දැණෙන්න ගත්තා.
මමත් මර ලතෝනි දුන්නා.

“අනේ… අම්මේ බේර ගන්න, බේර ගන්න මාව ගිළෙනවා.”

මුහුදු රැල්ල නපුරු වෙලා මට කතා කරන්නත් එපා කීවා.

අම්මා මාව බේර ගන්න මුහුදට පැන්නා.. මං අම්මා ගාවට එන්න රැල්ල එක්ක සටන් කරා. මං මරු විකාරෙන් කෑ ගැහන කොට අම්මට ඒක දරාගන්න බැරි වුණා. අම්මා කෝමම හරි මගේ සුළගිල්ලෙන් අල්ලගෙන “අනේ මගේ පුතේ” කිවා..

මගේ ඇස් වල කඳුළු මුහුදටම දිය වුණා. අම්මා මාව ඇදලා ඇදලා අරගෙන වෙරළ පැත්තට තල්ලු කරා. රැල්ල එක්ක මහා යුද්දයක් කරලා මං වෙරළට තල්ලු වෙලා එද්දී අම්මට රැල්ලෙන් බේරෙන්න බැරි වුණේ දිය වැල හතර කොනින් අම්මව වට කරගද්දී..

වෙරල පුරා ගැවසුන මිනිස්සු මගේ වටේට එකතු වෙලා එකෙක් දෙන්නෙක් පණ එපා කියලා මගේ අම්මව බේර ගන්න මුහුදට පැන්නා..

අනේ… මට පෙනී .. පෙනී… අම්මගෙ කඳුළු මුහුද ගිල ගත්තා. එපා එපා කියද්දිත් දියවැල මගේ අම්මව ඩැහැගෙන ගියා. කිසිම කෙනෙක්ට මගේ අම්මව බේර ගන්න බැරි වුණා.. මරලතෝනි දෙද්දී මුහුද අම්මව ගිල ගත්තා..

“අනේ මගේ අම්මා…” මං කෑ ගැහුවා. මට කියා ගන්න දෙයක් නැති වුණා. වැල්ල මත මං දණින් වැටිලා රැල්ලට කීවා, ” අම්මව ආයෙ ගෙනත් දෙන්න” කියලා.

අද රැල්ලත් අහක බලද්දී, බිම් තබරු මල් මැල විලා ගියා..!

ජීවිතේ මහ බරක් මගේ කරමත තියලා අම්මා මේ මහ මුහුදේ හැංඟිලා ගියා…

තාත්තා ගැන තොරතුරක් නොදන්න මට අම්මත් සදා මතකයක්ම වුණා..
.
රැල්ල නුඹ අද යන්න යනකොට
අරන් ගිය මගෙ අම්මව..
ආයෙ එනකොට ගෙනත් දෙනවද
කවුරුවත් නෑ හෙට මට..
අර බලන් අර බිම් තඹරු මල්
මැලවිලා දුක හිතිලම..
පණ අදින මගෙ පුංචි හිත ළඟ
අම්මා විතරයි සැනසුම..
.
~.දිදු.~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *