ලිංගිකත්වයේ සමාජ නිර්මිතය

ජීව විද්‍යාත්මක මිනිසා ස්වභාව ධර්මයේ අංගයක් ලෙස සෙසු සත්වයන් කෙරෙන් වෙනස් වුව ද ඔවුන් හා සමීප ද වේ. සත්ව ලෝකය තුළ ජෛවීය අවශ්‍යතා පුර්ණය සඳහා වන ලිංගිකත්වය මිනිසාට ද පොදු සංසිද්ධියකි. එහෙත් සංස්කෘතික සත්වයෙක් වන මිනිසා ජීව විද්‍යාත්මක අවශ්‍යතා පූර්ණය යන සීමාවෙන් පරිභාහිරව ලිංගිකත්වය හා බැඳේ. සංස්කෘතික හා සමාජීය සාධක සමඟ මානව ලිංගිකත්වය මිනිසාට අනන්‍ය ප‍්‍රපංචයකි. මානව ලිංගිකත්වය කෙරේ පැනවුණු සමාජීය සුසමාදර්ශයන් අනන්‍ය වූ මානවීය සීමාවන් සංකලනයෙන් හා බද්ධ වූ ඇවතුම් පැවතුම් වලින් ඊට සුවිශේෂිකත්වයක් ආරෝපණය වී ඇත. මේ අනන්‍යතාව හුදෙක් සමාජ නිර්මිතයක් වන අතර සංවාදයෙහි අවකාශ අල්පය.

මානව ලිංගිකත්වය යනු ජීව විද්‍යාත්මක සංස්කෘතිකමය වශයෙන් අන්තර් ව්‍යවහාරික වූවකි. එසේම මානව ලිංගිකත්වය නම් සමීප මිනිසුන් අතර පවතින ලිංගික දැනීම් හි ප‍්‍රකාශනය හෝ ස්ත‍්‍රී පුරුෂ බව හරහා සහ ස්ත‍්‍රී පුරුෂ භාවය මතින් බලපෑම් ඇති කරන ලිංගික අනන්‍යතාවයේ ප‍්‍රකාශනයකි . මානව ලිංගිකත්වය පුළුල් පරාසයක විහිදුනු චර්යාවන් ක‍්‍රියාවලීන්ගෙන් හා ඒවායේ කාය විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, සමාජ සංස්කෘතික, දේශපාලනික හා දාර්ශනික විස්තීරණයන්ගෙන් සමන්විත වේ.
මානව ලිංගිකත්වය තුළ ස්වීය ලිංගික අනන්‍යතාවයක් ස්ත‍්‍රීය සහ පුරුෂයා දරයි. මේ ලිංගික අනන්‍යතාවය යනු ඔහු හෝ ඇය දරන ස්ත‍්‍රී හෝ පුරුෂ භූමිකාව තුළ ස්වකීය පෞරුෂය හා චර්යාත්මක පසුබිම තුළින් ප‍්‍රකට කරන සහ මනෝමය වශයෙන් අභ්‍යන්තරිකව පවත්නා හැගීම් ඇතුළත් සමස්ථයයි. ස්ත‍්‍රී පුරුෂ පුද්ගල භාවය තුළ තම ස්ත‍්‍රී හෝ පුරුෂ අනන්‍යතාව මනෝගමනය වී ඇතිවාක් සේම පෞර්ෂය හා චර්යාව ද ඊට අනුරූප වේ. එලෙසම මෙහි සහ සම්බන්ධිත පාර්ෂවයක් ලෙස පුද්ගල ලිංගිකත්වය පිළිබඳ අනෙකා සිතන්නේ කෙසේ ද යන අදහස ද පුද්ගලයා තුළ පවතී. අනන්‍ය ලිංගික යථාර්ථයට අතිරේකව ඒ සමඟ ගොඩනැගෙන සමාජ සබඳතා සමාජ ප‍්‍රජාව සමඟ වන අන්තර් සබඳතාවල ස්වරූපය ද ලිංගික අනන්‍යතාවය නියමානුකූල කරයි.

ඇඳුම් පැළදුම්, භාෂාව, ජීවන මෝස්තරය, පරිභෝගයන්, විශ්වාස පද්ධතීන් තුළින් ලිංගික අනන්‍යතාව විදාරනය වේ. කෙසේ වුවද මෑත කාලීන සමාජ විපර්යාස හමුවෙහි ඉස්මතු වූ නව්‍ය ජනප‍්‍රිය සංස්කෘතිකාංග සහ ගෝලීයකරණ ක‍්‍රියාදාමය තුළ සාම්ප‍්‍රදායික ලිංගික අනන්‍යතාව පිළිබඳ සංකල්පයෙහි වෙනස්කම් ඇති විනැයි තර්ක කළ හැක. ලිංගික අනන්‍යතාවට අදාල සම්මත ස්ත‍්‍රිය සහ පුරුෂයා පිළිබඳ සංකල්ප සහ රූපීය ලක්‍ෂණ භාවිතය තුළ සම්මිශ‍්‍රණය වී හෝ තව දුරටත් අනන්‍ය නොවී පවතී. සාම්ප‍්‍රදායිකව ස්ත‍්‍රියගේ අනන්‍යතා ලක්‍ෂණ පුරුෂයා ද පුරුෂයාගේ වූ ලක්‍ෂණ ස්ත‍්‍රිය ද අත් කර ගනිමින් සිටින අන්දම නිරීක්‍ෂණය කළ හැකිය
මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් විමසීම ද වටීි. හුදෙක් ප‍්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස ප‍්‍රචණ්ඩකාරී චර්යාව ආර්ථික අත්පත් කර ගැනීම් ආදී අනු ආංගිකයන් ගණනාවක් මානව ලිංගිකත්වය හා සැබැදෙන අතර ඒවා ජෛව විද්‍යාත්මක නොවූ සමාජ නිර්මිතයන් වනුයේ මානව ලිංගිකත්වයටම අනන්‍ය බැවිනි.

ලිංගිකත්වය යනු සමාජ නිර්මිත යථාර්ථයක් වන අතර අපගේ ක‍්‍රියාවන්, ප‍්‍රතික‍්‍රියාවන්, අන්තර් ක‍්‍රියාවන් ඇසුරෙහි නිර්මාණය කරමින් සහ ප‍්‍රතිනිර්මාණය කරමින් පවතින බවයි. ඔවුන්ගේ තර්කයට අනුව ලිංගික යථාර්ථය අස්ථාවරය. හේතුව සංස්කෘතිය තුළ සියල්ල ප‍්‍රතිනිර්මාණය වීමේ ස්වභාවය මත ස්ථාවරයන් නොවන හෙයිනි. හුදෙක් ලිංගික යථාර්ථයන් අර්ථ ගැන්වෙනුයේ තත්කාලීනව සමාජය එය අර්ථ නිරූපණය කරන ආකාරයන් මගිනි’

මිචෙල් ෆුකෝට අනුව ලිංගිකත්වය වනාහි දෘඩතර හෝ ස්වභාවික සැකැස්මක් නොවේ එය ඓතිහාසික සමාජ සන්දර්භයන් මත නිර්මාණය වූ අතර ඊට යථාර්ථයන් ආරෝපණය කිරීමෙහි ලා සමාජ දූරාවලියක බලපෑමක් ද වේ. එනම් සමාජ සම්මුතික අර්ථකථන ජනනය වනුයේ ධූරාවලියේ උපරි පාර්ශවයන් වෙතිනි. ෆුකෝ ගේ මෙකී විග‍්‍රහය තුළ විද්‍යාමාන තවත් තර්කයක් වනුයේ ලිංගිකත්වය ස්වභාවික නිර්මිතයක් නම් සමාජ දූරාවලියේ උපරි ව්‍යුහය සමාජගත කරන අර්ථකථනයන්ට ප‍්‍රතිරෝධයන් තිබිය නොහැකිය යන්නයි. අර්ථකථන සමාජගත කිරීමෙහිලා හෙජොමනික ස්වභාවය තුළ පවා පොදු සම්මුතීන්ට එකඟ නොවන අර්ථකථන ලෝකය තුළ භාවිත වන්නේ ලිංගිකත්වය හුදෙක් සමාජ සංස්කෘතික නිර්මිතයක් ද වන බැවිනි. මධ්‍යකාලීන චීනයෙහි කෘතීම ලෙස දෙපා කුඩා කල ස්ත‍්‍රීන් ලිංගික ආශයන් වඩාත් කුළු ගැන් වූ බව පිළිගැණුන ද අද්‍යතන වීන සමාජයෙහි එවැනි අදහසක් දක්නට නොවීම නිදසුනකි. ලිංගිකත්වයට අදාල සමාජ සම්මුතීන් අතර වන ලිංගික චර්යාවට අනුගත වයස, සහකරු තීරණය කිිරීම ආදී සමාජ නිර්මිත වනුයේ මානවයා ලිංගිකව සක‍්‍රිය වන අවධියේ සිටම ලිංගික චර්යාවෙහි නියැලීමට හැකි වුවත් එය වාරණය කෙරී වයස් සීමාවන් යනාදිය තීරණයව ඇති හෙයිනි. මානවයාගේ මැඩිය නොහැකි ජෛවීය ලිංගික ආශයන් පාලනය කිරීමට සමාජය උත්සාහ ගැනීම තුළින් ද ලිංගිකත්වය සමාජ නිර්මිතයක් බව පෙනේ. මේ අනුව ලිංගිකත්වය පාලනය කිරීම සඳහා සදාචාරවත් සම්මුතීන් නිර්මාණය කෙරේ. නොඑසේනම් යම්කිසි වාරණ පැනවේ. ඒ අතර ලිංගික සහකරුවෙකු තෝරා ගැනීමේ වයස නිර්ණය, සංස්කෘතිය අනුව වෙනස්වන සම්මුතික ලිංගික චර්යාවන් ඒක පුද්ගල, ඒක ස්ත‍්‍රී විවාහයන් හා නෛතික විවාහ ක‍්‍රම සමාජ ගත කිරීම ආදිය වේ. මෙවැනි සම්මුතීන් හා වාරණයන්ගෙන් පාලනය කළ නොහැකි ලිංගිකත්වය සමාජ අපගමනයන් ලෙස අර්ථකථනය කෙරේ.
ජීව විද්‍යාත්මක ලිංගික ආශයන් පාලනය කරනු වස් පුද්ගලයා ලිංගික උත්තේජනය ලබන්නේ කවරෙකුගෙන් ද එහි ස්වභාවය කෙබඳුද යනන් පිළිබඳව සමාජමය අර්ථකථන ගොඩනැගී පවතී.

ලිංගික හමුවීම සහ ලිංගික චර්යාවේ ස්වභාවය නිර්නය කෙරෙන මාර්ගෝපදේශයන් සංස්කෘතිය විසින් සැපයේ. මෙබඳු මාර්ගෝපදේශ සංස්කෘතීන් තුළ ඒ ඒ සංස්කෘතියට අනන්‍ය විභේදන දක්වයි. ආසියාතික සමාජයෙහි ලිංගිකත්වය තුළ වන පුරුෂ මූලික ස්වභාවය බටහිර සමාජ සන්දර්භයේ දී වෙනස් විය හැකිය. විවිධ සමාජ සන්දර්භයන් තුළ ලිංගික චර්යාව බහුවිධ අර්ථකථන මතුකරයි. සෙනෙහස, සමීප බව, ස්වයං තෘප්තිය සඳහා වන අනියම් සබඳතා ප‍්‍රචණ්ඩකාරී ලිංගික චර්යාවන් හා ගණුදෙනු අපේක්‍ෂිත ලිංගික චර්යාවන් (ලිංගිකත්වයේ වාණිජ්‍ය ස්වරූපය) ඒ අතර වේ.

නිදන කාමරය පිළිබඳ අතිශය පෞද්ගලික යන සංකල්පය මධ්‍යකාලීන යුරෝපයේ නොවූවත් නග්න ශරීරය පිළිබඳ අද්‍යකාලීන මතයන්ට සාපේක්‍ෂ ලිහිල් මතයක් එකල පැවතුණි. එස්කිමෝ සමාජය තුළ තම ලිංගික සහකාරිය පවා පරිත්‍යාග කිරීම ද උග‍්‍ර වික්ටෝරියානු සදාචාරය තුළ පවා තම බිරිඳගේ පහස ඉතාම ඉහළ ගෞරවයක් ලෙස කෙනෙකුට පිළිගැන්වීම පිළිබඳ වාර්තා වේ.

එහෙත් වික්ටෝරියානු සදාචාරය තුළ ම ලිංගිකත්වය හා බැදුණු අන්‍ය සාධක වාරණයට ලක් වීම දැකිය හැකිය. නිදසුනක් ලෙස එච්. ඞී. ලෝරන්ස් ගේ කෘතීන් වන චැටර්ලි ආර්යාවගේ පෙම්වත්තු හා කන්‍යාවී සහ අහිකුණ්ටිකයා ප‍්‍රකාශන තහනම පෙන්වා දිය හැකිය. ෆ්‍රොඩියානු විශ්ලේෂණයට අනුව ලිංගික ආශයන් ද ඇතුළත් මූලික මානව ආශයන් ශිෂ්ටාචාරගත වීම තුළ පාලනයට නතු වේ. සමාජ සංස්කෘතික සාධක මේ ආශයන් පාලනය කිරීම සඳහා දායක වන බව තහවුරුවේ.
මේ තුළ සාධනය වන කරුණ නම් ජෛවීය මානව ලිංගිකත්වය කෙරෙහි සමාජ සංස්කෘතිකමය පදනමක් ද පවතින බවයි. හුදෙක් මේ මානවයාට අනන්‍ය වූ ස්වභාවයකි. ඒ තුළ මානව ලිංගිකත්වය වනාහි ජීව විද්‍යාත්මක එහෙත් සමාජමය අර්ථකතනයන් මත නිර්ණය වන මානවයා විෂයෙහි අනන්‍ය වූ ප‍්‍රපංචයක් වන බවයි.

සමාජ ස මාජ පර්යේෂිකා    –  එම්.නිමාලි විනිෂියා 

One thought on “ලිංගිකත්වයේ සමාජ නිර්මිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *