මායාව – ශිරන්ති ජයවීර

වක්කඩේ උතුරන්නේ පෙණ බුබූළු වපුරගෙන
කඩාඩුව උතුරන්නේ මඩ ජොහොරේ කළතගෙන
අප්පච්චි නියර ළඟ පෙණ බුබුළු ගනිනකොට
මයෙ අම්මා විස්සෝප සෝ සුසුම් ජාලයක
නෑසෙන්නේ කතාබහ ගොළුබසට අවනතව

ලොකු අක්කා ඉකිබින්ඳේ හඳ එළියෙ මුනිවතට
තරු කැටත් දියවෙන්නේ අඬ අඳුරෙ හීනියට
තෙමාසෙක දිග ඇරුම දින ගනන් එළිපිටම
අඹ ඇඹුලෙ වසං වුන ප්‍රේමයේ ගනුදෙනු

රන්සළුවෙ ගෙතීගිය පෙම්කැරලි කැලත යට
මයෙ අක්කා දැවටුනා විජ්ජාවේ සේල ළඟ
ඒ අතට මේ අතට මායාවෙ බැලුම් මැද
ඈ ගොහින් නැවතුනා ලෑලි ගේ හෙවන යට

සෙයිලමේ ජේත්තුව ඇස් කොනෙන් හිනාවෙන
එක පිම්මේ ගිල ගත්ත ඇගෙ හීන මල් යාය
නාඳුනන හිත් රැවක් ඇගෙ සුවඳ තෙරපගෙන
පිළිගඳක් මුසුකලා සුදුසායෙ කෙළවරක

බඩු මල්ල පොදි බැඳන් ඈ පැමිණි පෙර දිනක
මළ ගෙයක හැඩරුවක් ඇන්දාය අපෙ ගෙදර
බත් හුලක් පෙනෙන් නැති හැළිවලං මුවාවක
ලිං ගලේ නුඹ නිදියන්න හැකිදාක ඇහැරෙන්න
බඩ පණුවො හැර ගිහින් ගම්බිමුත් නොකියාම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *