මනුෂ්‍යත්වයේ හෙද සටහන් – අංක 04

ජීවිතයට රුකුල්දීම

අළු පිරුණු කුඩා දර ලිපක්, එහෙට මෙහෙට හිතුමතේට තියෙන වලං දෙක තුනක්, පොල්අතු වටකල බිත්තියට රුකුල්ලපු පැදුරු කැබැල්ලක් තව දරු දෙදෙනෙක්. අපි ආපු ගමන් මගෙහි කෙළවරම හිටගනිද්දි අපෙ නෙත ගැටුණු දසුන. මං එක සැනෙන් මගේ ළමා කාලයෙ අපි තැනූ සෙල්ලම් ගේ වටේ කැරකී ආව. සමානකම් ගොඩක් තිබුනට එය නම් සුන්දර සෙල්ලමක්. ඒත් මෙය සැබෑවක්.
කෝ පුතේ අම්ම
කතා නැතිව බිත්ති මුල්ලට ඇලී ඇඹරි ඇඹරී නියපොතු හපන දරු දෙදෙනගෙ මලානික බව සිතට ගෙන ආවෙ වේදනාවක් විතරයි. නාවර පෙරුණ කකුල් පොඩි කිසිදු සත්කාරෙකින් තොරව නිරුවතින් ඇත. මට මතක් වුණෙ එහෙ ළමයි. අත් දෙකෙන් විතරක් නෙමෙයි කකුල් දෙකෙනුත් බත් කන්න හොදයි. කොතරම් වෙනසක්ද මේ පුංචි රටේ. ඔවුන්ගෙ මව ඒ අවස්තාවෙ හිටියෙ රෝහල්ගතවෙලා. පියා ඔවුන් අතැර ගොසින්ලු. දරු දෙදෙන බලා කියාගෙන තියෙන්නෙ අසල්වැසි කාන්තාවක්. ඇය නෑ කෙනෙක් හෝ ළගම හිතවතියක් වන්නට ඇත. ඇයගේ පෙනුමේද තිබුණෙ වියලිලා ගිය බලාපොරොත්තු විතරමයි. අපි අපවම කියවගන්න උත්සහ කළා එදා.
මේ සිදුවීම් මෙලෙස පෙල ගැසී තිබුණෙ මීට පෙර සිදු වූ සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ලෙසිනි. පිළිකා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය මේ වන විටත් පියවර රාශියක් මේ ගමන තුළ ඉදිරියට තබා තිබුණ. මේ එක උත්සහයක්. මෙහි මූලිකත්වය දැරූ හෙද නිලධාරිනී ලලිතා මහත්මිය උදාර කාන්තාවක්. මේ අරමුදලකින් දිලිදු පවුලකට නිවසක් එකාවන්ව සාදා දීමේ වැඩ පිළිවෙලක්. මාස හතරකට වරක් මෙම අරමුදලට ගම්මානයේ ඉතා දිලිඳු අයෙක් වෙනුවෙන් හිසට සෙවනක් උරුම කර දෙන්න හැකි වුණා.
අපි කෙරුවෙ මූල්‍යමය අරමුදල සක්‍රීය කර එය ලබා දීමය. ශ්‍රමය කාලය වැය කලේ ගම් වැසියන්ය. ඔවුන් ඒ අතින් මානව සිරිතේ ඉහලින්ම තියන්න මං කැමතියි. ඒ වගේම විහාරස්ථානයත් මෙම ක්‍රියාදාමයේ වැදගත් තැනක් ගත්ත………..

එදා අපිට කරන්න තවත් කාර්යභාරයක් තිබුණ. ඒ තවත් පවුලකට නිවසක් පරිත්‍යාග කිරීමේ කටයුත්තක්. එයද මුලින් පැමිණි නිවස් මෙනි. පිදුරු සෙවිලි කළ කටු මැටි නිවසක්. එහි අඩක්ම කඩා වැටිල තිබුණෙ. එම නිවසෙ දියනියෝම තිදෙනෙක්. ඔවුන් හරි සුන්දර දරුවන්. ඒ මොහොතෙ මට මගෙ මෑණියන් සිහියට ආව. නොපසුබට දිරියෙන් වැඩ කරපු මගෙ අම්ම විදපු දුක් කෙලවරක් නැති තරම්. අපේ පවුලෙත් හතර දෙනෙක්. අම්මට එය බරක් තමයි. ඒත් ඇයට කවදාවත් එය බරක් නොවුණි. අපි හතර දෙනාම ඔසවා තැබුවේ ඇගේ ශක්තියි. ඇය අපට කවාපොවා කොපමණ කුසගින්නේ සිටියාදැයි කිසිවෙක් නොදනී.

මේ ඉන්න අම්මත් ඒ වගේමයි. සැමියගෙ කිසිදු උපකාරයක් නොලබා ඇය දරුවන් පෝෂණය කරන්නීය. සැමියා කළේ බීමතේ ඇවිදපු එක පමනි. පසුව අකාලයේ මියැදී ඇත. ඒත් ඇය තාමත් දරුවන් වෙනුවෙන් ජීවත් වෙයි. ඇය ගොවිතැනට දක්ෂය. ගෙවත්ත පුරා ඇත්තෙ ඒ අත් ගුනයෙ සලකුණුය. ඇය පල දරපු ගස්කි. ඇය තුරුලෙ කිසිදා දරුවන් කුසගින්නෙ නොහඩයි.
ඇගේ අලුත් නිවසෙ කාමර දෙකක් සහ සාලයකි. එහි බිමට සිමෙන්ති දමා නැත. කපරාරුවක් වැදිලත් නැත. ඒත් ඇය සටන අතහරින්නෙද නැති බව නිසැකයි. ඒ වගේම ඇය ලෙන්ගතුය. ගැමි ගැහැණු එහෙමය. ඇය දුන් කිරිබත් සංග්‍රහය පුරාවට අපි එය අත්වින්ද. මට එය මතුවටත් රැදෙන මතකයක්. ඇගේ වැඩිමල් දියනිය දැනුදු මගේ මිතුරියකි. ඒ වගේම එදා හමු වූ මාධ්‍යවේදී කුඩලි ද තාමත් මගේ කල්‍යාණ මිතුරෙකි. විඩෙන් විඩේ ඒ මිතුරුකම් මගේ හදවත අමතයි. ඒ මොහොතින් මම නව ජවයකින් නැවත ගමන පටන් ගනිමි……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *