මනුෂ්‍යත්වයේ හෙද සටහන් – 05

වසන්ති

මිසී………….
හෙදියක් හැටියට ගෙවපු දිවියෙ වැඩිපුරම අහපු ඇමතුම. කවදත් මට මාව මතක්කරල දෙන්නෙ මේ ඇමතුමෙන්. ඒ නිසාම මම මේ ඇමතුමට බෙහෙවින් ආදරය කරමි. එයින් මම නැවත නැවතත් උපදිමි. මොකද අම්මා යන ඇමතීමට පස්සෙ දෙවෙනි අම්මෙක් වීමට ලැබුණු අවස්ථාව මෙය නිසා මට මෙය නෑදෑකමක් වැනිය. ඒ නිසාම නොසිතනා මොහොතකදි මේ ඇමතුම කන වැකුනත් හදවතේ ගැස්ම වැඩි කරයි, සිත ගත සියල්ල උත්තේජනය කර මා මිසී වෙයි. කාටද මගේ උපකාර අවැසි. මං ඒ වචනය ඔස්සේ විපරම් කරයි. ඒ මගෙ හැටියකි. මොකද මගෙ ලේවල දුවන්නෙ මං මිසී කියාගෙනය. කියනව වගේම මේ ඇමතුම මා නොසිතූ මොහොතක මගේ කනේ රැදුනි. එතකොට මං සේවය කෙරුවෙ කොළඹ අක්ෂි රෝහලේ. මේ මගේ වෘත්තිය ජීවිතේ පරිවාස කාලයයි. ඒත් ජාතික රෝහලටද සේවා සදහා යොමු වීමට මට සිදු විය. එසේ යමින් සිටින අතර තුරෙකයි මේ ඇමතුම මා සොයා ආවෙ. මං නිල ඇදුමට කොහොමත් මිසීය. ඒ හින්දම මිසී ඇහෙන්නෙ කොතනද සිසිරයේ නින්දත් අකුලල මං ඇහැරෙනව. ඒ තරමට මං මේ ඇමතුමට හීලෑය…මිසී,,,,
එක විටම හැරී බැලුන මගේ දෑස නැවතුනෙ කාන්තාවක් ළගය. ඇය ඒ තරමටම සුවිශේෂ එකියකි. එහෙම වුණෙ ඇය ඉහේ සිට සියල්ල වසාගෙන සිටි බැවිනි. මං ටිකක් ඇතුළෙන් ගැස්සුන. ඇය වෙත යනවද නැද්ද. මං දෙගිඩියාවක. එය තුන්ගිඩි හතරගිඩි වෙන්න කලින් මං හිතට විධානයක් දුන්න. කමක් නෑ ඕනි යකෙක්, මං ඇය දෙසට අඩියක් මාරු කෙරුව. මං තවත් තැති ගත්තෙ ඇගේ මුහුණ හොදින්ම දැකගත් මොහොතෙ. මට මාවම විශ්වාස නෑ. ඇතුළ දෙදරන්න වුණා. මොකක්දෝ අසරණකමක් එකවරම හදවත බදාගෙන. ඇගේ මුහුණ පුරාම තිබුණෙ පිලිස්සුම් කැලැල්. මට දැනුනෙ මහා කම්පිත බවක්. මං ඒක මැඩගෙන ඇයට කතාකළා.
මටද ඔයා කතා කෙරුවෙ
ඇය පිළිතුරු නොදී බිම බලාගත්ත. ඇය හිටියෙ ආයාසයෙන්. ඒ ඇස්වල තිබුණෙ පුදුමාකාර ලෙන්ගතු බවක්. මගේ හිතේ විදුලි සියයක් එකපිට කෙටුවටත් වැඩි වේගෙන් ඒ ඇස් සිහියට නැගුණ. මේ ඇයමද…..වසන්ති…..වස්න්ති නේද මේ…..

දෙවියනේ වසන්ති,
කාලෙකට ඉස්සර මගෙන් උපකාර ලැබූ දමිළ යුවතිය. ඇය අතීතය අතේ තියාගෙන මරණය සොයනවද තාම. ඉන් පසුව මරණය සෙව්වෙ නැතිද. හමුවුණෙත් නැද්ද. මං ඇගේ අතකින් අල්ල ගත්ත.
ඔයාට දැන් හොදයිනේ…………
මං ඇය හා සිනාසී ඇහුව. ඒත් ඇගේ ඇස්වල තිබ්බෙ මහා බරක් කදුලු එක්ක එලියට පනින්න බලාගෙන. ඇය කවදත් කතා නොකරන්නියකි. වැඩියෙන්ම උත්තර දෙන්නෙ ඇස්වලිනුයි ඔළුවෙනුයි.
ඇය දමිළ සමාජයේ අතවරයට පත් යුවතියක්. ලාබාල යුවතියක්. ඇය විවාහකයි. මෙය දමිළ සමාජයේ බොහොම සුළබයි. ඒ වගේම ඔවුන් තීරණ ගනිද්දි ඇග කිලිපොලා යන අයුරින්ම ක්‍රියා කරයි. එය එහි සාමාන්‍ය දෙයක් බව මං දැන් අත්දැකීමෙන්ම දන්නව. ඇය මට මුණගැසුනෙ ජාතික රෝහලේදි. මං එතකොට පුහුණු සේවා කෙරුවෙ ජාතික රෝහලේ. ඇය දුටු මුල් දවසෙම ඇගේ මුලු සිරුරම වෙලුම්පටිවලින් වෙලා තිබුණි. මං ඇගේ අවයවයකට කියා දැක්කෙ ඇස්දෙක විතරයි. සිරුරෙන් වැගිරෙන තරලයකින් වෙලුම්පටි තෙත්වෙලා. ඇද අසලටවත් යාමට නොහැකි තරම් වාතාවරණයක්. මෙය මගේ පුහුණු කාලයේ මට ලැබුණු අපහසුම රාජකාරියක්. මට අත්දැකී අඩුයි. ඇත්තම කිව්වොත් කොහෙත්ම නෑ. කොතනින් පටං අරං කොතනින් අහවර කරන්නද. කොහොම නමුත් මගෙ හදවත හොදට වැඩ කෙරුව. මං වැඩේ පටං ගත්ත. දවස පටං ගන්න තිබුණෙ ඇගේ සියලු වෙලුම්පටි ගලවා ඇයව නැහැවීමෙනි. එය ඉතාමත් සියුම් ඔපරේෂන් එකක්. මොකද ඇගේ ඇල්ලීමට කියා කිසිදු තැනක් නොවිණි. පිලිස්සුමෙන් බේරී තිබුණෙ ඉගටියෙන් පහල කොටස විතරයි. කොහොම නමුත් මං ඒකට පුරුදු වුණා. ඇය සිටියෙ හොද සිහියෙන්. ඇය ඒ වේදනාව කෙසේ නම් දරාගත්තදැයි මට අදටත් විශ්වාස නැත. එහෙත් ඇය ඉවසිය යුතු වුණා. ඇය සොයපු නිදහස්කාමී ජීවිතය ඇයව දමා ඇගෙන් ඈතකට පලා ගොස් තිබුණෙ වේදනාව පමණක්ම ඇයට ඉතිරි කරය. මේකද ජීවිතය????
මම කල්පනා කරමි. ඒත් එක්කම ඊළගට ඇය බෙහෙත් දැමීමේ සායනයට යොමු කළ යුතුය.

මං දිනපතාම ඇයව නහවා බෙහෙත් දැමීමේ සායනයට ඇයව ඇතුළත් කළා. ඒ විතරක් නෙමෙයි පුලුවන් සෑම මොහොතකම ඇගේ හිත හදන්නත් උතසහ කළා. ඇයව නැහැවීමට යාමේදී මට අත්වැසුම් පාවිච්චි කිරීමට සිදු වුණත් මං කිසි විටෙක මුව ආවරණ පාවිච්චි කළේ නැත. ඒ ඇයගේ හිතට සහනයක් වීමටය. මට ඇගේ සිත රිද්දන්න කෙසේවත් නොහැකිය. ඇය සෑම මොහොතකම මට පිළිතුරු බැන්දෙ නිහැඩියාවෙනි. ඒ ඇස් හැමදාම දිලිසෙනව මං දැක්ක. ඕනෑම අයෙක් තමාට යම් වටිනාකමක් දෙන්නේ නම් ඔහු හෝ ඇය ඉත සිතින් සතුටට පත් වේ. ඒ වගේම ලෝකයම වුණත් පාවල දෙන්නත් කැමති වෙයි. ඇය තම උතුරන සෙනෙහස පෙන්නුවෙ ඇස් දෙකෙන්. ඒ ඇස් හැමදාම දිලිසෙනව මං දැක්ක. ඒ නිසාමදෝ මට ඒ ඇස් ඕනම තැනකදි හදුන ගන්න පුලුවන.
ඇයට උවටැන් කළ කාලය පුරවටම මම දිවා ආහාරය නොගත්තෙමි. දිවා විවේකය ලද විගස මං කෙරුවෙ හෙද විවේකාගාරයට ගොස් ස්නානය කර වෙනත් නිල ඇදුමකට මාරු වීමය. මා කිසි දිනෙක ඇයට එය නොදැනෙන ලෙස සිදු කළාය. ටික කලකට පසු දිනකදි ඈ මට කුඩා පෙට්ටියක් තිලිණ කලාය.මං වහම පසෙකට වුණා. මට එය අකැපය. මම මහත් ලෙස අසරණ වීමි. එහි වූයේ කුඩා සුවද විලවුන් කුප්පියක්. සුවද විලවුන් සදහා මං කෙතරම් ප්‍රියද මෙයින් කිසි දිනෙක බිදක්වත් පාවිච්චි නොකලෙමි. එදිනම හිතවතෙකු ට දුන්නෙමි.
ඇය ක්‍රමයෙන් ජීවිතය ලබමින් මරනයෙන් මෑත් වෙමින් සිටිය. ඒත් එක්කම මට ඇගෙන් සමුගන්න වෙලා. ස්තාන මාරුවක්. මං එය වස්න්තිට කිව යුතුයි. කෙසේ හෝ එය කියා ඇගෙන් සමු ගැනීමට කාලය එලබිලා.
වස්න්ති මට මෙහෙන් යන්න වෙලා. හෙට ඉදන් ඔයාව බලන්නෙ වෙන කෙනෙක්.”
ඇගේ දෑස් අදුරු විය. දැඩි කම්පනයෙන් යුතුව පපුවෙන් ආ අමුතු ශබ්දයෙන් මාද බියට පත් විය. ඇගේ පපුව හිරවිනි. ඇය ඒ තරමටම මට සෙනෙහසක් දක්වා ඇති බවක් මා දැන සිටියේ නැත. මොකද ඇය මා සමග වැඩිපුර කතාකොට නැත. ඇය හැමදාම කතා කෙරුවෙ ඇස් දෙකෙන්. ඒත් මා ඇගෙන් සමු ගත යුතු විය. ම ඇයට පොරොන්දු විය නැවතත් ඇයව බැලීමට එන වගට. ඇය එය කෙසේනම් බාරගන්නට ඇද්දැයි සිතමින්ම මං රෝහලට සමුදුන්න.

හෙද නිලධාරිනී – ක්‍රිෂාන්ති බෝපේ ගෙදර 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *