ගණිකා වෘත්තිය නීතී ගත කල යුතුයි….(ඔළුව අත ගා ටොකු ඇනීම)

ගණිකාවක් කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නේ කොළඹ වීදි පුරා රෑට පාරවල් වල ඉඳලා වාහන වලට අත දාලා ඕන පිරිමියෙක් එක්ක මුදල් ඉපයීම තම ඒකායන පරමාර්ථය කර ගෙන තමන්ගේ ලිංගික සේවනය ලබා දෙන කිසිඳු ලැජ්ජා බයක් නැති මහා ජරා ගෑණු කොට්ඨාශයක් ලෙසය,නමුත් අපිට කවදාවත් මතක් වෙනවද ? උනාද?ඒ ජරා විලිසංගයක් නැති ගෑණුන්ගෙන් පහස ලබන්නේ සමාජයේ උගත් වැදගත් බැටළු හම් පොරවා ගත්ත මහත් හොරු බව …නෑ නේද?

ඉතින් ලංකාව වැනි පුරුෂ මුලික සමාජයක අතීතයේ සිට බොහෝ සෙයින් සමාජීය, සදාචාරාත්මක හා සංස්කකෘතික පැත්තෙන් බොහෝ විට අසරණ බවට පත්වන්නේ කාන්තාවන් බව නොරහසකී.බොහෝ කලක සිට පැවතගෙන එන,යම් යම් කාලවකවානූ වලදී සංස්කෘතියට එකතු කර ගන්නා ලද යම්,යම් අණ්ඩ දැමීම් මගින් මොඩිෆයි කිරීම් වලට ලක් වු සමාජ පැවැත්මක් තුල තව,තවත් ශක්තිමත් වනුයේ කාන්තාවන් පුරුෂ මුලික සමාජයක ලිප් බොක්කේ සඟවා තැබීමත් ,අසරණ කිරීමත් නොවේද? 21 සියවසේ බොහෝ දුරක් ගෙවා දැමුවද අදටත් සුදු රෙද්දක් මත ලේ බිදක් හොයන පිරිමින් කොපමණද? ලේ බිඳක් නිසා ජීවිතේ අපායක් කර ගැණීමට සමාජය පොළඹවන ගැහැණුන් කොපමණද ?යන්න සිතිය යුතුය.

මම විශ්වාස කරන විදිහට බොහෝ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගම් පලාත් වලින් නගරයේ රස්සාවක් හොයන් ආව උදවියය. කතාව පටන් ගන්නේ එතැනින ය. යම් පිරිමියෙකුගේ ප්‍රේමයට නතුව සංස්කෘතික වශයෙන් වටිනාකමක් දෙන පතිවත අහිමි කර ගෙන අනපේක්ෂිත ලෙස පියෙක් නොමැති දරුවෙක් බිහි කිරීමට සිදු වීමේදී, ලංකාව වැනි රටක තම පවුලේ උදවියට මුහුණ දීමට නොහැකි වීම හෝ තම පවුලේ උදවිය ප්‍රතික්ෂේප කිරිම නිසා යන එනමක් නැති වීම හෝ තමන්ගේ පවුල් බර තම උර මත රැඳී ඇති අවස්තාවක බොහෝ කාන්තාවන් ඇඳ වැටෙන්නේ මහත් අසරණ බවකටය. මෙහෙදී වක්‍රාකාරව හෝ සෘජුව බොහෝ කාන්තාවන්ට තොරා ගැනීමට අවසානයේදී ඉතිරි වන්නේ ගණිකා වෘත්තිය ය. බොහෝ ගැටළු වලදී ගණිකා තැරැව්කරුවන් මස් වෙළඳුන් මෙන් අසරණ වූ කාන්තාවන් වෙළඳාමට ඩැහෑ ගනී. එතැන් සිට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් දිගින් දිගටම ගණිකා වෘත්තියේ ඔහුන්ට නියැලීමට සිදු වේ.

ගණිකා වෘත්තියේ නියැලෙන බොහෝ කාන්තාවන් තමන්ට ලැබෙන මුදල් මගින් තමන්ගේ අවශ්‍යතාවයක් හෝ තමන් මත යැපෙන කෙනෙකුගේ අවශ්‍යතාවයක් සපුරනු විනා අනේක දුක් විඳ ලැබෙන සොච්චම කැසිනෝ යෑමට හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වා ගැනීමට කිසිසේත් වියඳම් නොකරන බව නම් ඒකාන්තයෙන් කිව යුතුය.

එමෙන්ම ලංකාව යනු පෞඩ ඉතිහාසයේ සංස්කෘතිය ගැන ලොකු පුරාජේරු ගහන සිල්වත් උපාසක මහත්තුරු ,නෝනලා ඉන්න රටක් නම් ගණිකා වෘත්තිය නීති ගත කිරීම පිළිබඳ බිය වීමටද කාරණාවක් ඇතැයි මම නොසිතමී.පිරිමියෙක් විඳිහට තමන්ව තමන්ට විශ්වාසයක් ඇත් නම් ගණිකා වෘත්තිය නිතී ගත කලාය කියා සංස්කෘතිය පිරිහිමක්වත් ,බෞද්ධ රටට කෙල වීමක්වත් වන්නේ නැත. මන්දයත් ඕනෑම වෘත්තියක් රඳා පවතින්නේ ඉල්ලුම මත සැපයුම තියෙනතාක් කල් පමණී ඉල්ලුම නැති වී ගිය කල සැපයුමට කිසිදු පියවරක් එසවෙන්නේ නැත.

එම නිසා ගණිකා වෘත්තිය, වෘත්තීමය වශයෙන් නිත්‍යානුකූල කොට යම් කිසි නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඔස්සේ…ගණිකා වෘත්තිය ස්ථාපිත කල හොත් බොහෝ විට ලිංගික රෝග පාලනය කිරිම,දුශණයට ලක්වන සිද්ධින් මෙන්ම ලිංගික කුතුහලය යම්තාක් දුරට අවම වේ යැයි අවසාන වශයෙන් ලියා තබමි.

S H A N U W I J E T H U N G A ®️

ශානූ විජේතුංග®️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *