මේ රහස් කවුලුවෙන් එබෙන්න භාෂා ත්‍රිත්වයකට පරිවර්තනය වේ

මේ රහස් කවුලුවෙන් එබෙන්න” නවකතාවේ දෙමළ, උර්දු හා හින්දි පරිවර්තන ප්‍රකාශයට පත් වීමට නියමිත ය. 2014 දී මා රහස් කවුලුව පලකරන විට මෙවැනි දෙයක් මගේ උපරිම සිහින වල පවා තිබුනේ නැත. සිංහල සාහිත්‍යය වෙනත් භාෂාවන්ට විවර වීම අතිශයින් දුලබ අත්දැකීමකි. මේ නිසාම රහස් කවුලුවට කලින් පරිවර්තනය විය යුතු වඩා වැදගත් පොත් සැලකිය යුතු ප්‍රමාණයක් සිංහල සාහිත්‍ය සංස්කෘතිය තුල පවතින බව මට අමතක කල නොහැකි ය.

නමුත් ලෝකය සහ ජීවිතය දිගහැරෙන්නේ නියතයන් හා අහම්බයන් අතර අනිශ්චයවාදී සුසම්බන්ධයක් ඔස්සේ ය. රහස් කවුලුව තවත් බොහෝ සිංහල නවකතා වලට පෙර දෙමළ, උර්දු හා හින්දි භාෂාවන්ට පරිවර්තනය වන්නේ ලෝකයේ මෙම තර්කනයට අනුව යැයි මට සිතෙයි. මේ මගේ පලමු හා දැනට පල කර ඇති එකම නවකතාවයි. නමුත් එය දෙමළට පරිවර්තනය කරන සාමිනාදන් විමල් යනු ලංකාවේ දෙමළ හා සිංහල සාහිත්‍යය භාෂාව නැමැති ගංගාවෙන් එතෙර කරවන දැවැන්තම පාලමයි.

එසේම එය උර්දු හා හින්දි භාෂාවන්ට පරිවර්තනය කරන අජ්මල් කමාල් යනු දශක ගනනාවක් පරිවර්තකයෙකු, සංස්කාරක වරයෙකු හා ප්‍රකාශකයෙකු ලෙස ලෝක සාහිත්‍යය උර්දු පාඨකයන් වෙත රැගෙන ආ කෙනෙකි. එසේම දකුණු ආසියානු සාහිත්‍යය ලෝකය වෙත ගෙන යාමට ද වෙහෙසෙන්නෙකි. මේ දෙදෙනාම සාහිත්‍යය තුල මට වඩා බෙහෙවින් පරිණත ය. මා මේ සටහන ලියන්නේ දෙමළ පරිවර්තනය මූලික කර ගනිමිනි.

රහස් කවුලුව සිංහලෙන් පලවන්නේ 2014 සැප්තැම්බර් මාසයේ ය. මේ කාලයේ මා යුද්ධයෙන් සිදු වූ මානසික ව්‍යසනයන් හා ඒවා සුවකිරීමට දරන උත්සාහයන් ගැන ජර්මනියේ හයිඩ්ල්බර්ග් සරසවිය විසින් සිදු කරමින් සිටි පර්යේෂණයකට සම්බන්ධ වී වැඩ කල නිසා නිතරම උතුරු නැගෙනහිර ප්‍රදේශයන් කරා යාමට සිදු විය. 2014 ඔක්තෝබරයේ යාපනයට යාමට සිදු වූයේ ද මෙයට අදාලව යි. සතියක් පමණ යාපනයේ ගත කල යුතු වූ නිසා මීට කලින් හමු වී නොතිබුනු නමුත් සිංහල සාහිත්‍ය සංස්කෘතිය තුල ප්‍රකට නමක් වූ සාමිනාදන් විමල් හමු විය යුතු යැයි මම කලින්ම හිතා ගෙන සිටියෙමි. යාපනයට ගිය දා දහවල් ඔහුට දුරකථන ඇමතුමක් ගෙන මා හදුන්වා දී විවේකයක් තිබේ නම් ඔහු හමුවන්නට කැමති බව පැවසුවෙමි. එදා හැන්දෑවේම මා හමුවිය හැකිබව ඔහු පැවසුවේ ය. මා යාපනය ටවුමට වී ඔහු එනතෙක් විනාඩි කිහිපයක් බලා සිටියේ මා මිත්‍ර විදුර ප්‍රභාත් මුණසිංහ ගෙන් අසා දැනෙගෙන සිටි ඔහුගේ හැඩරුව පමනක් හිතේ දරාගෙන ය.

ඔහු පැමිණියේ පරණ බයිසිකලයකිනි. සාමි සහ ඔහුගේ බයිසිකලය ප්‍රසිද්ධ ය. ඔහු මුණගැසීමට යන බොහෝ දෙනෙකු ඔහු මේ බයිසිකලයේ නංවාගෙන යාපනය නගරයේ විස්තර කියමින් එහා මෙහා ගෙන යාම ඔහු දන්නා අයට සුපුරුදු දෙයක් බව එකල මම දැන නොසිටියෙමි. ඒ නිසා එදා ඔහු මා බයිසිකලයේ නංවාගෙන යන විට මට දැනුනේ මා විසින් අන් අය නොලබන සතුටක් අත්විදිමින් සිටින බවයි. මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා දිනපතා යාපන සරසවියට යන්නේ ද මේ බයිසිකලයෙන් බව ඇසූ විට මට සිහි වූයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මගේ උපදේශක මහාචාර්යවරයා ව සිටි බොබ් සිම්ප්සන් ය. ඔහු ද මා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පැමිණියේ බයිසිකලයෙනි. එය එංගලන්තය වැනි රටක නම් සාමාන්‍ය දෙයකි.

එදා සාමි සමග කතා කරමින් ගත කල සන්ධ්‍යාවේ දී මා පුදුමයට පත් කල දෙය වූයේ ඔහුගේ දැනුම දකුණේ සංස්කෘතියේ ප්‍රධාන ධාරාවේ සිදුවීම් වලට පමණක් සීමා නොවී විකල්ප සංස්කෘතික අවකාශයන් හා පුද්ගලයන් වෙත ද යොමු ව ඇති ආකාරයයි. මා මසකට පමණ පෙර මගේ පලමු නවකතාව පල කල බව මා කියන්නට පෙර ම ඔහු දැන සිටියේ ය. ඔහුට දීමට රැගෙන ගිය රහස් කවුලුවේ පිටපත එදා සන්ධ්‍යාවේ අප වෙන් වීමට පෙර මම ඔහුට දුන්නෙමි. ඔහු මා හා කතාබහ කල ආකාරය අනුව අඩු තරමේ මාස කිහිපයකට පසුව හෝ ඔහු මේ පොත කියවා මට ඔහුගේ අදහස් කියනු ඇතැයි විශ්වාසයක් මා ඔහුට පොත දෙන මොහොතේ මගේ හිතේ රැදී තිබින. ඒත් මගේ ඒ අදහස එතරම්ම නිවැරදි නොවී ය. මා ඔහු නැවත මුණ ගැසුනේ දින දෙකකට පසු ව ය. එදා ඔහු මා එන තෙක් යාපනය පුස්තකාලය අසල බයිසිකලයට නැගී බලා සිටියේ ය. මා බයිසිකලයේ නංවා ගෙන එය පාගමින් මදක් දුර ඉදිරියට ඇදුනු ඔහු කතා කරන්නට පටන් ගත්තේ ය. “මං පොත කියවල ඉවර කලා. මං හරිම කැමතියි පොතට. මං ඒක දෙමළට පරිවර්තනය කරනවා. ප්‍රශ්නයක් නෑ නේ ද?”. කිව යුත්තේ කුමක් දැයි මට වටහා ගත නොහැකි විය. සතුට විසින් වචන හිර කර දමා තිබින.

එදා අපි කේකේඑස් පාර ආසන්නයේ වූ යාපනය නගරයේ පැරණිම ආපන ශාලාවක් වන මලායන් කැෆේ වෙත ගොස් තෝසෙ කෑමෙන් පසු ඔහු මා කැදවා ගෙන ගියේ නල්ලූර් ආසන්නයේ වූ කඩපේලියක් ආසන්නය ට ය. එහි වැසූ කඩයක පඩි මත වාඩි වී කිහිප දෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනු පෙනින. සාමි මා ඔවුන් වෙත කැදවා ගෙන ගොස් හදුන්වා දුන්නේ ය. ඔවුන් ගෙන් සමහරු විශ්‍රාම ගිය රජයේ සේවකයන් ය. සමහරු පැරණි වාමාංශිකයන් ය. බොහෝ දිනවල මෙතැන ට එකතු වී රටේ දේශපාලනය ගැන කතා බහ කිරීම ඔවුන්ගේ ජීවිත වල එදිනෙදා බව තුලට කැටි වූ වතාවතකි. රාජපක්ෂ බලවත්ව සිටි ඒ මොහොතේ පවා ඔවුන් හැමදෙනෙක්ම පාහේ දෙමළ ජාතික වාදයේ විවේචකයන් විය. රාජපක්ෂ පාලනය ගැන තියුනු විවේචනයක් ඔවුන් සතු වූ අතර එය කියන්නට පැකිලීමක් ද නොවී ය. නමුත් ඔවුන් හැම විටම උත්සාහ කලේ දෙමළ ජාතික වාදයේ අර්බුදය තම කතිකාවේ කේන්ද්‍රය තුල තබා ගන්නට ය. කලුවර වැටෙන තෙක් සල්ලාපයේ යෙදී සිටිය ද මගේ පොත දෙමළ භාෂාවට පරිවර්තනය වන්නේ ය යන ආරංචිය මගේ හිත වරින් වර සල්ලාපයෙන් පිටතට ගෙන ගියේ ය. සමහර විට සාමි මෙය එතරම් බරපතල ලෙස නොකියන්නට ඇතැයි යන සිතුම ද විටින් විට පැන නැංගේ ය.

නමුත් වසර දෙකක් ගත වීමට පෙර එනම් 2016 අගෝස්තු මාසය වන විට ඔහු රහස් කවුලුව පරිවර්තනය කර සංස්කරණය කර මුද්‍රණයට අවශ්‍ය අවසාන පිටපත සකස් කලේ ය. එය ප්‍රකාශයට පත් වීම තවත් වසර දෙකක් ප්‍රමාද වන්නේ මා අධ්‍යාපන කටයුතු සදහා ඉන්දියාවට යාමත් තවත් බොහෝ දේත් නිසා ය. කෙසේ වුවත් දැන් එය දෙමළ පාඨකයන් අතට පත් වීමට සූදානම් ය.

මේ මස 18 වන දා සවස 2ට යාපනය විශ්ලවිද්‍යාලයේ දී රහස් කවුලුව නවකතාව නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව හා ප්‍රභාත් ජයසිංහ ගේ මකර තොරණ කෙටිතකා එකතුවත් සමග ජනගත වනු ඇත. මේ සිදුවීම විය හැකියාවක් කල සාමිනාදන් විමල් ට සහ අනුෂා සිවලිංගම්ට සේම ආර්ථික ලාභ නොතකා මේ කෘතීන් ප්‍රකාශයට පත් කරන අහස ප්‍රකාශකයන්ට මගේ ආචාරය. මෙහි දී තාරා මගේ දෙව්දුව කෘතිය පරිවර්තනය වීම සිදු වන්නේ අලුත් පරපුර සංවිධානයේ මැදිහත් වීම මත ය. එය මතක වන්නිය සිංහලට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ දෙවන අදියර යි. තුන් වන අදියර මේ දිනවල අනූෂා අතින් සිදුවෙමින් පවතියි. ඒ දමයන්තිගේ ඌලික්කාලම් කෘතියේ සිංහල පරිවර්තනය යි.
දැනට හිස් වචනයක් වී ඇති රජ්‍ය කේන්ද්‍රීය හා රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍රීය සංහිදියාව සමග මෙය පටලවා නොගන්නා මෙන් ඉල්ලා සිටිමු. අප කරමින් සිටින්නේ දෙමළ ජනයාට සිංහල ජනයා හිතන පතන හැටිත් සිංහල ජනයාට දෙමළ ජනයා හිතන පතන හැටිත් දැන ගැනීමට හැකි අවම ඉඩක් විවර කර දීම පමණ ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *