මම දැන් මගෙන් තොර මම

ටික ටික කණාමැදිරියො අඩු වෙනව කියන්නෙ ටික ටික හීන දකින්න තියෙන රාත්‍රීන් අඩු වෙනව කියන එක. එහෙම ගිහින් නින්ද පවා අඩු වුන රාත්‍රීන්වල අපි දැක්කේ වෙන වෙන හීන. ඒවයෙ කණාමැදිරියො හිටියේ නෑ අන්තිමට.

ඉස්සරෝම කාලෙක අපිට හෝදන්න නාන කාමරයක් තිබ්බෙ නෑ. අඩුම තරමෙ කුස්සියට පිඟන් කෝප්ප ටික හෝදගන්න ටැප් එකක්වත් තිබ්බෙ නෑ. හැබැයි දැන් පැයක් දෙකක් වතුර කැපුවම එක නොරුස්සන හැඟීම, වරුවක්, රැයක් ලයිට් කැපුවම එන මර කේන්තිය අපිට ඒ කාලෙ ආවෙම නෑ. මොකද අපිට එහෙව් ප්‍රශ්න තිබුණෙ නෑ. කියන්න බැරි වුනා. කොටින්ම කිව්වොත් ලයිටුත් නෑ. ඕක බහුතරේකගෙ කතාව. ඔය ටික සාමාන්‍යයි. ඔන්න දැන් හිතෙන් බනිනව ඇති ඉස්සරෝම කාලෙ ලයිට් වතුර අපිටත් තිබුණෙ නෑ තමා, ඉතින් ඕක ඔච්චරටම කියවන්න දෙයක්ද කියල.

නෑ..
ඒකෙ
කියන්න දෙයක්
තියෙනව.

මොකක්ද ?

අර කියපු ඉස් ඉස්සරෝම කාලෙ පොඩි එකී අම්ම එක්ක රෑ අටට නවයට විතර එළියට එනව නිදා ගන්න කලින් කරන්න තියෙන වැඩ කිහිපයකට.
ගේ තිබ්බෙ පුංචි කඳු බෑවුමක. ගේ හදන්න ගෙපල ඇද්දට පස්සෙ ඉතුරු වෙලා තිබ්බෙ ගෙයි වහලෙ තරමටම උස කණ්ඩියක්. ඒ කණ්ඩියෙන් නිතරම පුංචි පුංචි උල්පත් ගලනව. ඒ උල්පතක් ගලන තැනෙකින් අම්ම බැදගෙන තිබ්බා පුංචි ළිඳක්. අපි වතුර බිව්වෙ ඒකෙන්. නිල් කැටේට රෑට උනන වතුර ටික බලන්න ලස්සනයි. ඉතින් රෑට ඔතනට නෑවිත් කොහොමද… පොඩි එකීට බලන්න දේවල් සහ අහන්න ප්‍රශ්න දාහක් පැන නගිනව.

නිල් කැටේට දිය පුරවා
අහසේ තරු දිය කරවා
රෑට නිසංසලේ නිදන
පුංචි ළිඳේ මතක මතින්
කණාමැදිරියෝ පියඹති

ඒ එළි මැද හීන දුටුව
නිල් දිය සිහිලස දැවටුන
රාත්‍රීන් කොතෙක් දුරද
පසුකර ආවෙන් අද මට..

ඒක සිංහරාජයෙ සීමාව. වනාන්තරය කියන්නෙ දිව්‍යමය කාරණාවක්. ඒක වර්ණනා කරන්න තරම් වචන මේ වනතෙක් මේ පොඩි එකී උපයාගෙන නැහැ. ඒ නිසා ඒ සොඳුරු මතක සිත්තම් ගහන පරිසර අත්දැකීම් විභූතිභූෂණගෙ අරණකට පෙම්බැඳ කියවලා හරි ඔයාටත් අත් විදගන්න කියල ඉල්ලන ගමන් කතාවට එනව.

කණාමැදිරියො !

ඔව් උන් තමා මගෙ මේ මතක පොත ඇවිස්සුවෙ. මේක ලයිට් කපපු වාසනාවන්ත රාත්‍රියක්. ඉතින් මාත් එක්කම මේ අතීත මතක පාරුවෙ තව ටිකක් පාවෙලා ඈතට යද්දි අපිට අපි මග හැරුණෙ කොයි හරියෙදිද කියල හෝඩුවාවක් හොයාගන්න බලමු.
ලේන් එකේ අයිනෙ සුවිසල් ගෙදරක් විලෝ තුරු පෙලක්. ලේන් එකටම ලියිට් කපල නිසා කව්රුත් අන්දකාරෙ. ඒ විලෝ ගස් පෙළ කණාමැදිරියො බදු අරන්.

කණාමැදිරියො බලන්න එක බැල්මකින් බැහැ. මම ඕන ඔට්ටුවක් අල්ලනව. ඒකට සමාධියක් ඕන. ඒක මෙහෙමයි. මුලින් යාන්තමට..
ඊලගට ටිකක් හොඳින්.. උනන්දුවෙන්. ඊට පස්සෙ කොහෙවත්ම නොබලා
මනස සහ ඇස් එක තැනකට අරන් බලන්න…

ඔව් උන් ලක්ෂ ගනක්. එක ගස් පෙළක. අන්දකාර හැන්දෑවක. හිත ඉපිළෙනව.
ආයෙත් මතක පොත.

මේ මතකයෙන් සැඟව ගෙවන දිවියම
අන්දකාරයෙන් පිරුණු
රාත්‍රියක්මය තරුද නැති.
කදෝපැනි සිහිනෙක
සැරිසරමි එන්න
ඔබ එන්න

අර පුංචි ළිදෙන් වතුර බේසමකට අරන් අම්ම මාව හෝදනව. මගෙ ඇස් ගස් අතරෙ…හැමතැනකම එළි. ඒව පාවෙන එළි. අහසෙ නිතරම තරු පිරිල.

අහසෙත් තරු පොළොවෙත් තරු
අනේ අපේ ගේ ඇතුළේ
ඒත් අනේ හරි අඳුරුයි.
කණාමැදිරි යාළුවනේ
රෑට අපේ හීනවලට
එළිය අරන් එන්න එන්න

ඒ පොඩි කාලෙ. හරි ලස්සන පොඩි කාලෙ. දැන් සේරම හරි. සියළුම අවශ්‍යතා සහ උවමනා සපුරාගතහැකි ආර්ථික සහ දේශපාලන වටපිටාව. ඒත් යමක් අඩුයි. සමාජ ජාල සහ වටපිටාව ඇතුළෙ පරිපූර්ණයි. සේරම ශේප්. ෆිට් !

ඒත් යමක් අඩුයි. මුදලට ගත නොහැකි, දේශපාලනික වශයෙන් බලපෑම් කර ලබා ගත නොහැකි යමක්. ඒත් මොකක්ද ? අපි අපි අතරේ විතැන්වීමක්.. ඔව් ඒක අතීතයේ දැල්විලා වර්තමානයේ පෙනී නොපෙනී හෝ අපි උවමනාවෙන් උනන්දුවෙන් නොබලන නොසිතන් යමක්.

අපිට අපි මගහැරුනු කොහේ හරි තැනක දැල්වුනු කදෝපැනි එළියක්…

 

දේවී ජයතුංග 

කාෂ්ටකී

lankatarget.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *