හිනාවකට සතුට එකතු කරන්න අපිට පුලුවන් වෙයිද? – දිගැසිගේ සිතුවිලි

මම මේ කතාව එක පුංචි සිදුවීමකින් පටන් ගන්නම්.. පුංචි සිදුවීමක් ම නෙවෙයි, ඒක ජීවිතේ මනුස්සයෙක් අලුතින් උපදිනකොට ම කඩාගෙන වැටෙනවා වගේ හැඟීමක්.. එක ගැහැණු දරුවෙක් ඉන්නවා ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ගුරු වෘත්තියට ආදුණිකයෙක්. පුංචි කාලෙ ඉඳලා සාරියක් පටලගෙන ස්කෝලෙ ගිහින් පුංචි උන් වට කරගෙන උගන්වන්න, සිංදු කියලා පුංචි උන් එක්ක තාල අල්ලන්න, පරිසරය පාඩම් වල පුංචි පුංචි ක්‍රියාකාරකම් පුංචි උන් එක්ක කරන්න මතක ඇති කාලෙ ඉඳලා මාන බලපු එකියක්.
ගුරු වෘත්තිය පටන් ගන්න කලින් ඒ කියන්නෙ පාසලක උගන්වන්න ලැබෙන්න කලින් ගුරුවරියක් වෙන්න එගෙනගන්න කාලය ඇතුලෙදි ඇය නිවසෙ පටන් ගන්නවා අමතර පන්ති කරන්න. ලොකු ළමයි ගානක් නෑ 4 වසර පුංචි කෙල්ලො දෙන්නෙක්ට. ඒ තමයි මුල්ම පන්ති මුල්ම ඉගැන්වීම.. කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් සකුනි, අනිත් කෙනා මිනුරි. සකුනි කියන්නෙ දැක්ක ගමන් ආදරේ හිතෙන බෝල කෙල්ලක්.. මේ කතාවට සකුනි සම්බන්ද නිසා මම සකුනි ගැන විතරක් කතා කරන්නම්.
සකුනි කියන්නෙ තමන්ගෙ ටීචර්ට හරිම ආදරේ කරන පුංචි එකියක්. අර ටීචර්ත් එහෙමයි. මිනුරි පන්තිය කට් කලත් සකුනි අමතර පන්තියෙ දවස එනකම් ඉන්නෙ ටීචර්ව බලන්න එන්න කියලා සකුනිගෙ අම්මා අනන්ත අප්‍රමාණ කියලා තියෙනවා.. පන්ති ආවම ඉතිං එකම කෝළමයි මුලින්ම වැඩ පටන් ගන්න කලින් ස්කෝලෙ විස්තරේ අහලා ඉන්න ඕනෙ.. නැත්තන් උගන්වන අතරතුරේත් ඔය කතා එළියට එනවා. ඉතිං පුරුද්දක් විදියට සිද්ද වෙන්නෙ උගන්වන්න කලින් මුලින්ම සකුනිගෙන් දවසේ විස්තරය අහලා ඉන්න එක.. සකුනිගෙ පවුලෙ හිටියෙ සකුනියි, තවමත් තරුණ වයස පහු නොකරපු සකුනිගෙ අම්මයි තාත්තයි තවත් අලුතෙන් එකතු උනු සකුණිගෙ පොඩි මල්ලියි විතරයි. ඉතිං පුංචි සකුනි ලොකු ආදරයක් මැද හුරතලේට හැදෙන පොඩිම කෙල්ලක්.. ඉගෙනගන්නත් සකුනිට හොඳට පුලුවන්. ශිෂ්‍යත්වෙන් වැඩි ලකුණු ගණනකින් පාස් වෙන්න සකුනිට හැකියාව තියෙන්නත් තිබුනා..

ඒත් කාලය කියන්නෙ සමහරවිට නොකරන්නම ඕන දේවල් කරලා නොදැනෙනවා වගේ බලන් ඉන්න එක. කාලයේ ඉරණමට සකුනිටත් මුහුණ දෙන්න වෙනවා.. සකුනිට පිළිකාවක් (cancer) කියලා හොයාගන්නෙ සකුණිගෙ බෙල්ල හරියෙන් පොඩියට මතුවෙලා ටික ටික ලොකු වෙන ගෙඩියකින්.. වෛද්‍යවරුන් ඒ දේ හොයාගද්දිත් සකුනිට ජීවිතේ තව හුස්ම ගන්න තිබුණු කාලය ඉතා සීමිතයි. ඒ වෙද්දි බෙල්ලෙන් පටන් ගෙන මොළය දක්වා පිළිකා සෛල පැතිරිලා. සකුනි පාසල් යන එක නවත්තනවා. ඒත් සකුනි පන්ති එනවා. ඉගෙනගන්න නෙවෙයි. ටීචර් එක්ක හුරතල් වෙන්න. බෙහෙත්වලට සුදුම සුදු පුංචි කෙල්ල කලුම කලු වෙනවා.. ටික ටික කෑම කන්න බැරි තැනට සකුනි පත් වෙද්දි සකුනිට කතා කරන්න පවා බැරිව යනවා.. කුසට වැටෙන දියර ටිකක් විතරක් කඳුලු පුරෝගෙන බලෙන් වගේ සකුනි කුසට යවාගන්නෙ හුඟක් අමාරුවෙන්..
සකුනිගෙ අම්මා සකුනි දිහා බලාගෙන විඳවපු තරමටම සකුනිගෙ ආදරණීය චූටි ටීචර්ත් සකුනි දිහා බලාගෙන විඳවනවා.. ටීචර්ට ගෙදරින් සකුනිව බලන්න මහරගමට යන්න අවසර නොලැබෙද්දි ටීචර් දෙතුන් පාර ගෙදරට බොරු කියලා මහරගම යන්න පෙළඹෙනවා.. දවසින් දවස ගෙවිලා සකුනිට සදහටම ඇස් පියාගන්න සිද්දවෙනවා. ඒ වෙන්නෙත් ටීචර් සකුනිව බලන්න ගිහින් ආව දාට පහු වෙනිදා.. සකුනිව වදාපු අම්මා හා සමාන දුකක් සකුනිගෙ නිසල වෙච්ච දේහය දිහා බලාගෙන හිටපු ටීචර් එදා විඳිනවා.. මොක්ද පුංචි සකුනිගෙ ආදරය වටා මතක ගොඩක් ඒ වෙද්දිත් ගොඩනැගිලා ඉවර නිසා… එදා සකුනි දිහා බලන් අඬපු ටීචර් වෙන කවුරුත් නෙවෙයි.. ඒ මම. මගෙ ගුරු ජීවිතේදි අත් විඳපු මම අකමැතිම මට අමාරුම දේ තමයි ඒ…

පිළිකාව.. ඒක මේ ලෝකෙට ඕන නෑ.. මම ඇඬුවෙ එහෙම හිතාගෙන. කිසිම මනුස්සයෙක් ට ඒ රෝගය එපා.. මම ප්‍රාර්ථනා කලේ එහෙම. ඒත් ප්‍රාර්ථනා කරලා විතරක්ම මදි.. ඒ අයගෙ දුක පිරුණු මුහුණු වලට හිනාවක් දෙන්න මටත් පුලුවන් නම්, එහෙම හිතෙන්න ගත්තෙ The herat of hope සංවිධානය එක්ක එකතු උනාම. මිනිස්සු වෙලා ඉපදෙන අපිට තියෙනවා වගකීමක් යුතුකමක්.. ඒ අපේම මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න.. ඉතිං මටත් ඕන උනා ඒ විදියට පෙනී ඉන්න.. මගේ මුල්ම ගෝලයා.. පුංචි සකුනි අදත් හිතේ හොල්මන් කරන අතරෙ මං ලොකු වැඩකට ආදරෙන්, ආසාවෙන් එකතු වෙනවා.. කරාපිටිය ශීක්ෂණ රෝහලේ පිළිකා අංශයෙ ඉන්න අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියො වෙනුවෙන් දහවල් ආහාරය හා පළතුරු ලබාදීමේ කටයුත්තට මම එකතු වෙන්නෙ ඒ විදියට..

අපිට බැරිවෙයි ඒ අයගෙ බෙහෙත් පෙතු වලින් කරන කාර්‍යයට උදව් දෙන්න.. ඒත් බෙහෙත් රහට හුරුවෙච්ච දිවට බෙහෙත් සැරට හුරුවෙච්ච කුසට කටට රහට කෑම ටිකකින්, ඒ බෙහෙත් වල ගින්දර නිවන්න පුලුවන් පළතුරකින් තැඹිලි වතුර ටිකකින් අපිට පුලුවන් වෙයි ඒ අයට ශක්තියක් වෙන්න.. ඔව් ඇත්තටම අපිට පුලුවන් වෙයි.. අපිට තනියම බැරිවෙයි.. මොකද මේක ලොකූ කටයුත්තක් නිසයි.. මනුසත්කම දන්න ලස්සන හිත් තියෙන මිනිස්සු අපි වටේ එකතු වෙනකොට අපිට ඒ දේ ලේසියෙන් ම කරගන්න පුලුවන් වෙයි.. මේ දානමය කටයුත්ත යෙදෙන්නෙ ලබන මාසෙ ඒ කියන්නෙ නොවැම්බර් මාසෙ 16 වෙනිදා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේදි.. හැකි පමණ පුංචිම මුදලකින් හරි ,ආහාර සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්ගෙන් හරි අපිට පුලුවන් උපකාරයක් කරන්න පුලුවන් නම් අපිට තවත් ඒ කටයුත්ත ලස්සනට කරගන්න පුලුවන් කම ලැබේවි..

ඒ වගේම එදාට කරාපිටිය රෝහලට ඔබටත් එන්න පුලුවන් නම් අපිට පුලුවන් වෙයි එකතු වෙලා අපේ හිනාවෙන් කොටසක් එයාලාට දීලා එන්න.. එයාලට ශක්තියක් වෙලා සතුට තිළිණ කරලා එන්න.. පිං බලාගෙන නෙවෙයි.. මේ යුතුකම් ඉටු කිරීමක්.. මනුස්සයෙක් වෙලා ඉපදුණු මෙහෙවරෙන් කොටසක් ඉශ්ට කිරීමක්.. හැමෝටම පේන්න බලෙන් ඒ මුහුණු වල ඇඳගත්ත හිනාවට සතුට එකතු කරන්න යන ගමනක්.. මම යන්නෙ මගෙ පුංචි සකුනි වෙනුවෙන් වගේම පිළිකා රෝගයෙන් දුක් විඳින හැමෝම වෙනුවෙන්.. අපි ගිහිම් එමු… ඔබටත් එන්න පුලුවන් කියලා මතක් කරන්නෙ හරිම ආදරෙන්…

මම

හිරු ෆර්නෑන්ඩෝ.. ( දිගැසි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *