තොටියෙකු හැර ගිය ඔරුකඳ රැක ගමි

දුක් වේදනාවන් නිහඬව තනිවම විඳ දරාගනිමින් සිය දරු පැටවුන් සමඟ ජීවන අරගලයට මුහුණ දෙන කාන්තාවකගේ සංවේදනාව ප්‍රස්තුතය බවට පත් කරගනිමින් නිර්මිත වු අපූර්ව ගීතයක් රසවිදීමට අවස්ථාව ලැබුණි.ජීවිතයේ යථාර්ථය අප හිතන තරම් සරල සුන්දර නොවේ. ගැඹුරු ,කටුක, අභියෝගාත්මක අත්දැකිම් අභියස අපිට ජීවන අරගලයට මුහුණ පාන්නට වෙන අවස්ථා අපමණය .දරු පැටවුන්ද සමඟ හුදකලා වෙන කාන්තාවකට මේ සමාජයේ මුහුණ පාන්නට වෙන දුක්ඛ දෝමනස්සයන් සහ අත්වන ඉරණම ගේය පද රචකයා සියැසින් දැක, අත්විඳි අනුභූතියක් අනුසාරයෙන් ඉදිරිපත් කරනු ලබයි.

තොටියෙකු හැර ගිය
ඔරුකඳ රැක ගමි
ගඟ මැද තනිවී
ඉවුරට පැද යමී

ජීවිත ගැඹරේ කැරකෙන සුළි මැද
මේ පොඩි පැටවුන්
සිනහා නගන හඬ
හිමි සඳුනේ…
ඔබට ඇසෙනවද..

සිතල දුරුකොට පැටවුන් සුරකිමි
ඔරුවේ තිබෙනා වස්තුව එයමයි
දෙනෙත් පියාගෙන ඉන්න වරම් නෑ
රකුසන්ගේ සෙවනැලි මතුවේ

රැහැයියනේ ඔය දුක් ගී ගයලා
ගොම්මන් අඳුරේ මා තනිකරදා
පැටවු පියාපත් සලනා දවසට
සැනසුම් සුසුමක සිත සතපනවා

පද රචනය – තරිදු අමිල
සංගීතය – බිබිලදෙණිය මහානාම හිමි
ගායනය – ධනුෂා සමන්මලී

ඉතාම වටින සමාජ පණිවිඩ රැසක් රැගත් සුභාවිත ගීත කීපයක්ම නිර්මාණය කළ,තරිදු අමිල සොයුරා සියැසින් දුටු අත්දැකීමක් අලලා මේ පද රචනය නිර්මාණය කළ බව ඔහු මුහුණ පොතෙහි සටහනක් තබා සඳහන් කර තිබුණි.ඒ පිළිබඳව දැන ගැනීමට ඔහූ තැබු ඒ සටහන කෙටියෙන් උපුටා පහතින් පළ කරමි.

” මරදානින් මම හිටපු පෙට්ටියට ගැහැණු ළමයි දෙන්නෙක් එක්ක අම්මා කෙනෙක් ගොඩ වුනා.එක් ගෑණූ දරුවෙක්ව අම්මා වඩාගෙන හිටියේ.අනික් ගෑණු දරුවා අම්මගෙ ගවුම් පොටේ එල්ලිලා.

ඒ අම්මාටත් එහෙම ලොකූ වයසක් නැතුව ඇති නමුත් ඇය බොහෝ කේඩෑලි කෙසඟ දුර්වල සිරුරකින් යුත් කෙනෙක්.

ඒ අම්මා දරුවෙකුට කිරිදෙනවා කියන එක මට හිතාගන්නවත් බෑ.කිරිදෙන ගමන් ඒ අම්මට නින්ද යනවා. ඒ අම්මගේ ඔඩොක්කුවෙ සිටිය දරුවා බිමට වැටෙයි කියලා ලොකු බයක් දැනුණා .ඒත් ඇය ඇතැම් අවස්ථාවල විටින් විට නින්දේදී පවා තම දරුවන් තදින් අල්ලා සිටින ආකාරය ඉතාමත් සංවේදී දෙයක් වුණා.

කෙසේ වෙතත් මා දුම්රියෙන් බැස යන අවස්ථාවේ අම්මාගේ ගවුම් පොටේ එල්ලී ආ ඒ පුංචි මල් කැකුළ මා දිහා බලාසිටින ආකාරය කිසිදිනක මාහට අමතක කළ නොහැකිය .”

අපිට අවැසි වන්නේ මෙවන් සොඳුරු , සංවේදී නිර්මාණකරුවන්‍ ය.සමාජය දෙස එහි සිදුවන දෑ දෙස සානුකම්පිතව සංවේදීව බලා තම හැගීම් ප්‍රකාශනය හරහා සමාජයට පණිවිඩයක් ද ලබා දෙමින් නිර්මාණකරණයේ යෙදෙන යම් නිර්මාණකරුවෙක් වේද ඔහු ඉතා අගයකොට යුතු විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙකි.

ගේය පද රචකයා මේ සෝචනීය ඉරණමට මුහුණ පෑ මේ කාන්තාවගේ සංවේදී හැගීම් සමුදාය අවදි කරන්නේ මෙසේය.

“තොටියෙකු හැර ගිය
ඔරුකඳ රැක ගමි
ගඟ මැද තනිවී
ඉවුරට පැද යමි

ජීවිත ගැඹරේ කැරකෙන සුළි මැද
මේ පොඩි පැටවුන්
සිනහා නගන හඬ
හිමි සඳුනේ …
ඔබට ඇසෙනවද “

මෙම කාන්තාව ” තොටියෙකු හැර ගිය ඔරුකඳකට උපමා කරමින් ගී පද රචකයා සිය නිර්මාණය අරඹයි.ඒ උපමාව හරහා ගම්‍යමාන වෙනුයේ ඇයගේ ජීවිතයේ ඇති අසරණභාවය හා අනාරක්ෂිතභාවයයි.
තොටියෙකු නොමැතිව ගඟක් මැද තනිවූ ඔරුවක් එහා ඉවුරට ගෙනයාමට පහසු නැත.එහෙත් ඒ අපහසු කාර්යයට ඇය උර දෙමින් සිටින්නීය.ඇය කෙතරම් අසරණ වුවත් ඇය, සිතේ සවි ශක්තිය ඇති ගැහැණියක බව ඇඟවීමට රචකයා අමතක කර නැත.

“ජීවිත ගැඹරේ කැරකෙන සුළි මැද ” යන යෙදුම හරහා ධ්වනිත කිරීමට උත්සහා කරනුයේ ඇය කොතරම් නම් අවදානමකට අනාරක්ෂිතභාවයකට මුහුණපා සිටින්නේද යන්නය.

“මේ පොඩි පැටවුන්
සිනහා නගන හඬ
හිමි සඳුනේ….
ඔබට ඇසෙනවද ”

මේ පද හරහා ගී පද රචකයා ඉස්මතු කිරිමට උත්සහා කරනූයේ සමාජයෙන් එන දුක්කම්කටොළු පරයා ගොස් මේ දරුවන් දිනක ජිවිතය ජයගෙන ඉස්සරහට එන වගය..” හිමිසඳුනේ ” වැනි ආමන්ත්‍රණ යෙදීම හරහා තමාව අතැ’ර ගියත්, මේ කාන්තාව තම ස්වාමියා කෙරෙහි භක්ත්‍යාදරයෙන් පසු වෙන බව හැගවීමට ගේය පද රචකයා උත්සහා දරා ඇතැයි මට සිතුණි.

මේ ගීතයේ එන කාන්තාව රචකයා නිර්මාණය කරනුයේ නිර්මාණය රසවිඳින කොයිකාටත් ඇය ගැන සුපහන් සිතුවිලි ඇතිවෙන අන්දමිනි. සැමියා මගඇරුණ කාන්තාවක් නූතන සමාජය තුළනම් ගෙවනුයේ බෙහෙවින්ම අභියෝගාත්මක ජීවිතයකි .

“දෙනෙත් පියාගෙන ඉන්න වරම් නෑ
රකුසන්ගේ සෙවනැලි මතුවෙ”

යනුවෙන් නිර්මාණකරු ඉස්මතු කරනුයේ නූතන සමාජයේ එවන් කාන්තාවකට අත්වෙන ඉරණමය.

එහෙත් මෙම කාන්තාව තම සිතට නැගෙන ප්‍රේමය ආදී වූ හැගීම් යටපත් කරගනිමින් තමන්ට ඇති එකම වස්තුව තම දරු පැටවුන් බව අදහමින් දරු පැටවුන් වෙනුවෙන් සිය ජිවිතයම කැපකිරීමට සැදී පැහැදී සිටී..ඒ බව ගී පද රචකයා සිය නිර්මාණය තුළ එළි දක්වන්නේ මෙසේය .

“සීතල දුරුකොට පැටවුන් සුරකිමි
ඔරුවේ තිබෙනා වස්තුව එයමයි “

සිය සැමියාගේ විප්‍වයෝගයෙන් ප්‍රකම්පිතව සිටින ඇයගේ ජිවිතය දැන් දුක්කම්කටොළු නමැති අඳුරෙන් වැසී ගොස් අහවරය .ආදරය නමැති සුසුවඳ කුසුම සිතෙහි පුබුදුවාගෙන සිය සැමියා සමඟ ගෙවු සුන්දර කාලයක් නොඅනුමානයෙන්ම ඇයටත් තිබෙන්නට ඇති.එහෙත් දැන් ඒ සොඳුරු අතීතය ඇය හදවතේ කොණක සිරකොට අඟුළු දා ඇති සෙයකි.ඇයගේ ජීවිතයේ පාළුව කාන්සිය රචකයා ගීතයට මුසු කරනුයේ මෙසේය.

“රැහැයියනේ ඔය දුක් ගී ගයලා
ගොම්මන් අඳුරේ මා තනිකරදා ”

“රැහැයියන්ගේ දුක් ගී හඩ” හා “ගොම්මන් අඳුර ” වැනි යෙදුම් හරහා දුක්කම්කටොළුවලින් වැසී ගිය ඇයගේ ජීවීතයේ කටෝර බව තව තවත් තීව්‍රර කර පෙන්වයි.

මේ කටෝර ජීවීතයට අපහසුවෙන් වුවද පණ පොවන ඇයට දැන් ඇත්තේ එක් මනරම් සිහිනයක් පමණි .ඒ සිය දරු පැටවුන් තනිව ජීවත්වීමට හුරුවෙන දවස එළඹීමය.මේ අසරණ කාන්තාවගේ ඒ අහිංසක සිහිනය ගී පද රචකයා සිය නිර්මාණය තුළින් විද්‍යමාන කරනුයේ මෙසේය .

“පැටව් පියාපත් සලනා දවසට
සැනසුම් සුසුමක සිත සතපනවා “

සැමියාගේ වියෝවෙන් පසුව දරුවන්ගේ හෙට දවස උදෙසා ජීවන බර කරට ගන්නා මෙවන් කාන්තාවන්ගේ ශෝකාලාප තව කොපමණ ප්‍රමාණයක් මේ සමාජය තුළ සැගවී ඇත්ද.

වඩා සාර්ථක නිර්මාණයක් ලෙස මේ ගීතය මා ඇතුළු රසික හදවත් වැළඳගැනීමට මේ පද රචනය පමණක් නොව මෙහි ගීත ගායනයද.. තනු නිර්මාණයද වෙසෙසින්ම හේතු විය. ගීතය ගයන්නේ නුතන පරපූරෙ අතිදක්ෂ ගායිකාවක වෙන දනූෂා සමන්මලී සොයුරියය.පද රචකයාගේ ප්‍රස්තුතයට ගැළපෙන ශෝකය ,සංවේගය ,විරහව මුසු කට හඬක් ඇය සතුය.රසික භාවයන් අවදිකරමින් ගී ගැයිමේ ඇය සතු හැකියාව ඉස්මතු වෙන්නෙ බිබිලදෙණිය මහානාම හිමියන්ගේ නාද රටා සංයෝජනයෙනි. මහානාම හිමියන් සිය සංගීතය හරහා පදරචනයේ සියුම් තැන් හොදින්ම ස්පර්ෂ කර ඉස්මතු කරන්නේයැයි මට සිතේ.

මේ විෂය පථය ගැන පුළුල් දැනුමක් මා සතුව නැත. ඒ නිසාදැයි මම නොදනිමි.මේ නිර්මාණය තුළ කතා කිරිමට තරම් අඩුවක් මට හසු නොවිණි .

ගීත යනු මිනිස් සන්තානයන්හි උපදින හැඟීම් ප්‍රකාශ කිරිමේ එක් සියුම් මාධ්‍යයකි . ගීතනම් නූතනයේ ඕනැතරම් බිහිවේ.එහෙත් අසා රසවිඳිය හැකි සමාජයට පණිවිඩයක් ලබාදෙන සුභාවිත ගීත බිහිවන්නේ අතළොස්සකි . ඒවාද ජනගත නොවීම අවාසනාවකි . එවන් තත්ත්වයක් තුළ ඇස ගැටුණ මෙම ගීතය සුභාවිත ගීතයේ හෙටදවස ගැන දෑස් දල්වා බලාසිටිය හැකි ආකාරයේ නිර්මාණයක් යැයි මට සිතේ.

නූතනයේ සුභාවිත ගීත කෙත අස්වද්දනු වස් මෙවන් නිර්මාණකරුවන්‍ අපගේ ගීත සාහිත්‍ය තුළ හිඳ නිහඬ මෙහෙවරක යෙදෙන බවට මේ ගීතය හොදම සාක්ෂියකි .තරිඳු අමිලයන් වැනි තවත් දක්ෂ ගේය පද රචකයන්ද, බිබිලදෙණිය මහානාම හිමි වැනි සංගීතවේදීන්ද, දනූෂා සමන්මලී වැනි නව පරපුරේ දක්ෂ ගායිකාවන්ද නූතන ගීත සාහිත්‍ය තුළ නිහඬවම හිඳ සුභාවිත ගීතයේ හෙට දවස වෙනුවෙන් කොපමණ වෙහෙසෙනවා ඇත්තද.. ? එහෙත් සන්නිවේදන මාධ්‍යය හරහා මෙවන් නිර්මාණවලට , නිර්මාණකරුවන්‍ට ලබාදෙන අත්වැල ප්‍රමාණවත්දැයි යන්න මටනම් ගැටලුවකි.

දේවිකා ප්‍රියදර්ශනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *