ජීවිතයම කැප කරන්නන්ගේ ජීවන ගීතය – 02

ගීත යනු ජීවිතය පිළිබඳ මනුෂ්‍යාගේ ප්‍රතික්‍රියා සූචනය කරමින් අර්ථය , රසය මූලික කරගෙන නිර්මාණකරුවන්ගේ මනෝභාවයන් තුළින් උපදින අපූර්වතම කලාංගයකි. මෙරට ගීත සාහිත්‍යය තුළ වැඩ කරන ජනතාව වෙනුවෙන් ලියැවුණු ගීත නිර්මාණ අතුරින් රඹුක්කන ශ්‍රි සිද්ධාර්ථ හිමියන් අතින් පබැඳුණ ” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ” ගීතයට හිමි වෙන්නේ සුවිසෙස් තැනකි. හිස් අහස් කුස දෙස දිවෙන යෝධ නිර්මාණ ද මහා පොළොවෙහි ගැඹුරත සොයා යමින් ඉදිවුණ නිර්මාණ ද ඇතුළුව මේ ලෝකය විස්මිත තැනක් බවට පත් කරමින් ඉදිවු සියලුම නිර්මාණ බිහිවූයේ වැඩ කරන ජනතාවගේ ලේ,දාදිය , කදුළු බිදු මතිනි.

දේශපාලන සංස්කෘතිය හා සදාචාරය අංශු මාත්‍රයක්වත් නොමැති අශිෂ්ට දේශපාලකයන්ගේ අවිනීත බල අරගලයකට මැදිව ඉතාමත් කළකිරීමට පත්ව සිටින යුගයක , විවිධ අනුභූතීන් ගත් ගීත නිර්මාණ තිබුණත් මුලින්ම මට සිහියට ආවේ මේ ගීතයය. රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින් මේ ගීතය රචනා කරනු ලැබුවේ ලෝක කම්කරු දිනය පාදක කොට ගෙන යැයි සඳහන් වේ. මේ ගීතය හරහා උන්වහන්සේ එදා මෙදාතුර පමණක් නොව මතුවටත් වලංගුවන සදාතනික සත්‍යක් අපූරුවට හෙළි කරනු ලබයි.

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුණේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

දාගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහිමත මැවුණේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයී
මොන රජ මැඳුරෙද දොරටුව ඇරුණේ

රජ සැප විදිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුණේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ…

පද රචනය – පූජ්‍ය රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමි.
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය – ටී . එම් ජයරත්න

වැඩ කරන පීඩිත ජනතාව යන ප්‍රස්තුතය අපේ නිර්මාණ වංශය තුළ මතුවැ ආ තැන් කොතෙකුත් හමූ වූවත්, රසික හදවත් ඇද බැඳ ගත් නිර්මාණ අතුරින් මේ ගීතය හිමි කරගනු ලබන්නේ අනගිභවනීය තැනකි. උන්වහන්සේ සිය නිර්මාණය හරහා පීඩිත ජනතාවගේ සැබෑ කතාව , සැබෑ යතාර්ථය අවදි කරන්නේ මෙසේය.

“අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුණේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ “

දුක් වේදනාවන් නිහඬව දරාගනිමින් දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් දිවිගෙවන මෙකී අහිංසක ජනීජනයාගේ ජීවිත කොතරම් නම් දුක්බර ද ? අව්වට වැස්සට හුරු මිනිසුන් යනුවෙන් ඒ මිනිසුන්ව හැඳින්වීම තුළින්ම උන්වහන්සේ මතු කරනූයේ ඔවුන්ගේ ජීවන අරගලයේ ඇති කටෝර බවය.අව්වට වැස්සට ඔරොත්තු දෙන සේ අනුවර්තනය වීමටනම් ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් වැඩ කරන්නට ඇත. මේ තැලෙන පොඩිවෙන පීඩිත මිනිසුන්ගේ සිත්වල රැඳුණු මහා විර්යය, දෑත දෙපයේ රැඳි මහා සවි ශක්තිය නොතිබුණානම් මෙලොව මෙතරම් අපුර්ව තැනක් නොවන්නට ඉඩ තිබුණි .

මේ වැඩ කරන පීඩිත පන්තියේ මිනිසුන්ගේ දා බිඳුවල වටිනාකම, ගලා හැලෙන ලේ බිඳුවල උණුසුම , ඔවුන්ගේ ගැහෙන හදවත් තුළින් මතුවැ එන රිද්මය හඳුනාගත් ධනේශ්වර පැළැන්තියක් නම් කවරකලකවත් බිහිවූයේ නැත. බිහිවනේද නැත. මේසා මෙහෙවරක් ඉටු කරන මේ අහිංසක ජනතාවගේ මළගම වෙනුවෙන් ” මොන රජ මැඳුරෙද සුදු කොඩි නැගුණේ ” යනුවෙන් ප්‍රශ්න කරන රඹුක්කන හිමියන් , ඒ හරහා මේ මිනිසුන්ගේ ජිවිතවල ඇති සෝචනීයත්වය හුවා දක්වන අතරම ධනපති පන්තියේ සැබෑ යථාර්ථයද නිරූපණය කරනු ලබයි. මේ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් කඳුළු සලනවා තබා,ඒ දුක තමන්ටද දැනෙන්නේයැයි හැඟවීමට සිය මන්දිරවල සුදු පැහැ කොඩියක් ඔසවා තැබීමට තරම්වත් මොවුන් මානුෂීය නොවීය.

ලොව පුරා ඉදිවී ඇති විස්මය දනවන සුන්දරත්වය උත්දීපනය කරන වෙහෙර ,විහාර ,මහා වැව් , දාගැබ් පිළිම ආදී වු කලා කෘතිද , කලා නිකේතනද සියැසින්ම නරඹා උදම් අනන මෙලොව කිසිවෙක් , ඒ නිර්මාණ තුළ සැඟවී වැළලී ගිය පීඩිත ජනතාවගේ ලේ දාදිය ,කඳුළු බිඳු ගැන කතා කරන්නට කල්පනා නොකළහ.රඹුක්කන හිමියන් සුසංවේදීව මේ ධ්වනිත කරනූයේ ඒ පරම යථාර්ථයයි.

” දාගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහිමත මැවුණේ
ඒ නුඹලාටයී දූදරුවන්ටයි
මොන රජ මැඳුරෙද දොරටුව හැරුණේ ”

එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ , අප හඳුනාගත් පරිදි සිය ජීවිත පිළිබඳ වූ අවදානම පවා නොතකා වැඩ කළ බොහෝමයක් කම්කරුවන්ගේ ජීවිත මරණයෙන් පවා කෙළවර විය. වැඩබිම්වල දහස් ගණනින් මිනිස් ජිවිත මියැදි ගිය අවස්ථාද නැතුවම නොවේ.මානව ශ්‍රමයට ඈත අතීතයේ සිටම ගරුත්වයක් හිමි වෙනු දක්නට නොලැබිණි . මේ නිසා කොයි කලකදීත් පීඩාවට පත් වූයේ වැඩ කරන පීඩිත පන්තියය.දුටුවන් විස්මයට පත් කරවන නිර්මාණ මේ මිනිසුන්ගේ ලේ, දාදිය කදුළු බිඳු මතින් ගොඩනැගෙද්දි , ඒ නිර්මාණවලට නම් ගම් ලියා ගැනීමටනම් ධනපති පැළැන්තිය දත කට මැද බලා සිටියහ.

” අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දාදිය තාර වෙලා බිමට ගලනවා
මැති උතුමන් නමින් පාරේ කඩුලු ඇරෙනවා
පාරෙ අයිනෙ අපි සැමදා බලා ඉන්නවා”

යනුවෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන්නේද මේ යතාර්ථයමය.

කුසට හරිහමන් අහරක්වත් නොමැතිව සිය ජීවිතය ගැට ගසා ගනු වස් අසාහය ලෙස දාදිය කදුළු වගුරුවන මේ මිනිසුන්ව සමරන්නයැයි පවසමින් ඉතිහාසය පුරාම නොයෙක් සැමරුම් උත්සව පැවැත්ව්ණි. එහෙත් සිදු වූයේ කුමක්ද ? කම්කරුවන්ම තැනූ වේදිකා මතට ගොඩවුණු ධනේශ්වර පාලක පැළැන්තිය මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරනු වෙනුවට ,තම තමන් ගැනම වූ ආත්ම වර්ණනා කරමින් උදම් අනමින් අවුරුදු ගණනාවක් මේ පීඩිත මිනිසුන්ව ජීවත් කරවන ධනය, එක දවසින් පරිහානියට පත්කොට ඒ වේදිකා තුළින් බැස සැඟව ගියහ.

” රජ සැප විදිනට ඒ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුණේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජදරුවද පැළකට වැඩියේ”

ලෝකය මෙතරම්ම අසංවේදී, ආසාධාරණ අවීනිත තැනක් වුයේ කෙසේද ? ව්‍යාජ හරසුන් ඇවතුම් පැවතුම් ඇති ධනේශ්වර පාලක පැළැන්තියට සුර සැප විදීමට ඒ මන්දිර තනා දුන්නේද මේ මිනිසුන්ය. එහෙත් කිසිම කලක පීඩිත පන්තිය කරදයක පත්වන විටක ඔවුන් ගැන සොයා බැලීමට මේ මිනිසුන් ළගට පැමිණෙන්නට තරම්වත් ධනපති පන්තියේ මිනිසුන් කාරුණික නොවීය .

මානව ශ්‍රමයට ගරුත්වයක් ලබාදුන් පිරිසක් විසින් ඇමරිකාවේ චිකාගෝ නුවරදි , දිවිහිමියෙන් සටන් කිරීමෙන් දිනාගත් පැය අටේ වැඩමුරයේ අයිතියනම්, මේතාක් කිසිම ධනේශ්වර පන්තියකට ආපසු හැරවීමට නොහැකි විය. නමුත් වැඩකරන ජනතාව වෙනුවෙන් සංවිධානය වූ එවන් සැබෑ සිවිල් ව්‍යාපාර නූතනයේනම් දක්නට නොමැත. පීඩිත ජනතාව වෙනුවෙන්‍ යැයි පවසමින් එවැනි ව්‍යාපාර බිහිවුවත් දේශපාලන මතිමතාන්තර සහ දේශපාලන ව්‍යාපෘති තුළ ඒවා නැසී ගියේය .අනික කාලාන්තරයක් තිස්සේ පීඩාවට පත් ජනතාව එවන් සංවිධාන කෙරෙහි දක්වන්නේ උදාසින බවකි. නමුත් රඹුක්කන හිමියන් ගීතානුසාරයෙන් පීඩිත ජනතාව වෙනුවෙන් නගන මේ හඬ නූතනයේ ඇති එවන් සංවිධානයකට වඩා ප්‍රබල වන්නේයැයි මට හැඟේ.

රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් යනු, තමන් වහන්සේ “යතිවරයාණන් වහන්සේ නමක් “යන සීමාවෙ හිදිමින්, සමාජය තුළින්මැ මතුව ආ සිද්ධි දාමයන් යථාර්ථයෙන් පෝෂණය කර නිර්මාණකරණයේ යෙදුණු හිමිනමකි.

මේ ගීතය මෙතරම්ම ජනතාව වැළඳගැනීමට සිද්ධාර්ථ හිමියන්, ගේය පද රචනය කෙරෙහි පෑ දක්ෂතාව එක් අතකින් හේතුපාදක වෙද්දී , අනෙක් අතට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ නාද රටා සංයෝජනයත් , ටී එම් ජයරත්න මහතාගේ සුසංවේදි ගායන විලාසයත් නිසර්ගයෙන්ම හේතු විය. රඹුක්කන හිමියන්ගේ කවර ගීත නිර්මාණයක වුවද ඇත්තේ යතාර්ථයෙන් පෝෂණය වූ සරල සුගම බස්වහරකි. උන්වහන්සේ නිර්මාණ මෙතරම්ම ජන හදවත් වැළඳගන්නේ මේ නිසාමෙනි.

මේ ගීතයට සංගීතයෙන් දායක් වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ව ඇතැම් අය හදුන්වන්නේ සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සලකුණ ලෙසය.ලොව පුරා ඇති සංගීත දහරාවන් ගවේෂණය කරමින් තමන්ටම අනන්‍ය වූ සංගීත ශෛලියක් තනාගත් කේමදාස සංගීතවේදියා මේ ගීතයට සිය සංගීත ප්‍රතිභාව හරහා ලබාදෙන සාධනීය දායකත්වය ප්‍රශංසනීයය.

අනෙක් අතට ගායනවේදී ටී එම් ජයරත්නයන් යනු ඕනෑම ගේය පද රචනාවක් හැඟුම් මවමින් ගැයිමේ අපූර්ව ප්‍රතිභාවක් ඇති අයෙකි. මේ ගීතය , ගේය පද රචක සිද්ධාර්ථ හිමියන් බලාපොරොත්තුවෙන අන්දමින් වැඩ කරන ජනතාව කෙරෙහි රසික හදවත් තුළ ජනනය විය යුතු දයාව, අනුකම්පාව , සංවේදී බව යනාදී වු හැගීම් මතුවෙන සේ දැඩි සංයත ස්වරයකින් සුගායනීයව එතුමා ඉදිරිපත් කරනු ලබයි.

කෙසේ වුවත් ශ්‍රී සිද්ධාර්ථ හිමියන් අතින් ලියැවුණු ශ්‍රී ලාංකේය ගීත වංශයෙහි නිම් වළලු පුළුල් කිරීමට දායක වූ තවත් එක් ප්‍රතිභාපෝෂිත නිර්මාණයක් සේ මම මේ නිර්මාණය දකිමි.මෙලොව විස්මිත දේ තැනුනේ තැනෙන්නේ දෙවියන්ගේ ප්‍රාර්ථනාවන්ගෙන් හෝ ධනේශ්වර පන්තියේ පුහු මැදිහත් වීමෙන් නොව , මෙවන් වැඩකරන සුවහසක් ජනීජනයාගේ ලේ දාදිය කඳුළු බිඳු මතින්ය යන මේ සමාජ යතාර්ථය පවතින්නේ කොපමණ කාලයක්ද ?:මෙවන් ගී නිර්මාණද ඒ සනාතන යතාර්ථය අරුත් ගන්වමින් සදාකල් අප ගීත වංශයෙහි වැජඹෙනු අවිවාදිතය.

දේවිකා ප්‍රියදර්ශනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *