ශ්‍රී ලංකාව එන්ගලන්තය හමුවේ දරුණුම පරාජය අත්විදියි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී ඊයේ (26දා) නිමාව දුටු එංගලන්තයට එරෙහිව තෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 42ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර, මේ හේතුවෙන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයක් ලැබීමටද ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ වෙතත් මාලින්ද පුෂ්පකුමාර හා සුරංග ලක්මාල් සුසංයෝගය අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවක් එක්කරමින් අවසන් මොහොතේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳව යම් බලාපොරොත්තුවක් එක්කළද සුරංග ලක්මාල් ලකුණු 11කට දැවී යෑමත් සමඟ එය ව්‍යර්ථ වී ගියේය. මෙම සබඳතාව ශ්‍රී ලංකා පිලක් එංගලන්ත පිලක් හමුවේ අවසන් කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ හොඳම සබඳතාවද විය.

ඒ අනුව එක් දිනක් ඉතිරිව තිබියදී ලද මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තය හමුවේ මෙරටදී ලැබූ දරුණුතම ටෙස්ට් තරගාවලි පරාජයද විය. මෙම ජයග්‍රහණය හේතුවෙන් එංගලන්තය ලෝක ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියටද පැමිණීමටද සමත්ව තිබෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානයේ සිට හත්වැනි ස්ථානය දක්වා පහතට වැටීමද කැපී පෙනේ.

කෙසේ වෙතත් එංගලන්තය ඊයේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ඔවුන්ගේ රටෙන් පිට පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේ වසර 55කට පසුව වීමද විශේෂත්වයකි. එහිදී එංගලන්ත කණ්ඩායමක් මෙයට පෙර එනම් 1963 වසරේදී නවසීලන්තය සමඟ නවසීලන්තයේදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් (3-0) ජය ගෙන තිබිණි.

මේ අනුව විස්සයි-20, එක්දින හා ටෙස්ට් තරගාවලි තුනම ජය එංගලන්තයට හිමිවීමත් ජෝ රූට්ගේ නායකත්වය යටතේ විදෙස් රටකදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වීමත් විශේෂත්වයකි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 336ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 240ක් පමණි. පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 96ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ලකුණු 230ක් ලබාගත් එංගලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 327ක ඉලක්කයක් ලබා දුන්නේය.

ලකුණු 327ක ජයග්‍රහණයක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකාව පෙරේදා කඩුලු 4කට ලකුණු 53ක් ලබා තිබූ අතර, ඊයේ පෙරවරුවේදීම ලක්‍ෂාන් සඳකැන් ලකුණු 7ක් ලබා සිටියදී ලීච්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටොක්ස්ට පහසු උඩපන්දුවක් ලබාදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 82ක් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස්ට එකතු වූ රොෂේන් සිල්වා ජයග්‍රහණයක පිළිබඳ සේයාවක් ශ්‍රී ලංකා පිලට එක්කළද නොතිබූ ලකුණක් කරා යෑමට උත්සාහ කළ මෙන්ඩිස් ලකුණු 86කට දැවීයෑමත් සමඟ එම උත්සාහය බිඳී යන ලකුණු දක්නට ලැබිණි.

විනාඩි 200ක් පුරා පන්දු 129කට මුහුණ දී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් මෙන්ඩිස් ලැබූ මෙම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 7වැනි අර්ධ ශතකය වූ අතර, ඔහු මෙවර අර්ධ ශතකයක් ලබාගත්තේ ටෙස්ට් ඉනිම 11කට පසුව වීමද කැපී පෙනිණි. මෙන්ඩිස් හා සිල්වා අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක්ද එක්වී තිබිණි.

අනතුරුව සිල්වාට එකතු වූ දික්වැල්ල ලකුණු 30 සබඳතාවක් එක් කරමින් සිටියදී දික්වැල්ල ලකුණු 19කට දැවී ගිය අතර, අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ මාලින්ද පුෂ්පකුමාර හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබාගත්තේය.

තරගයේ වීරයා ලෙස ජොනී බෙයාර්ස්ටෝ සම්මාන දිනාගනිද්දී බෙන් ෆෝක්ස් තරගාවලියේ වීරයා සම්මානය දිනාගනු ලැබීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *