අපේ රටේ මිනිස්සු ආස මේ ෆැන්ටසියට, ඔවුන් රියැලිටියට බයයි – ඉලක්ෂ ජයවර්ධන

සම්මානයකට පාත්‍ර වෙන්න නියමිතයි කියල ආරංචියි මොකද්ද මේ සම්මානය ?

එය ධර්මසිරි ගමගේ ප්‍රවීන කලාකරුවාගෙ පහලොස්වන ගුණ අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ සාහිත්‍ය තරඟාවලියක්. මමත් ඒ සඳහා මගේ කවි ඇතුලත් අත් පිටපතක් ඉදිරිපත් කලා. ඉතින් මට එම අංශයේ පලමු තැන හිමිවුනා. විනිසුරු මඩුල්ල ලෙස ප්‍රවීන ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා ඇතුලු පිරිසක් සිටි බව දැනගන්නට ලැබුනා. එහි ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය 2018/12/04 දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවෙනවා.

වෘත්තියෙන් ඔබ පොලිස් නිලධාරියෙක්.. කවියට නැගෙන්නේ වෘත්තීමය අත්දැකීම්ද ?

එහෙමම කියන්නත් බෑ. මම පොලිස් සේවයට එක් වෙලා තවම අවුරුදු දෙකයි ගතවුනේ. නමුත් මම කවි ලියන්න පටන් අරන් දැන් බොහෝ කාලයක් වෙනවා. එම නිසා සම්පූර්ණයෙන්ම පොලිසිය පාදක වෙනවා කියන්න අමාරුයි. නමුත් දැන් දැන් මගේ පොලිස් ජීවිතයේ අත්දැකීම් කවියට එක් වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. මාගේ නුදුරේදී එළිදකින “කඩාවැටෙනා තරුවක්” පොතටත් එවැනි කවි ඇතුල් වී තිබෙනවා.

 ඔබ මේ වන විට බොහෝ තැන්හි කතා බහට ලක්වන කවියෙක්… කවිය සමාජ අවියක් ලෙස යොදාගැනීමේදී වර්තමාන සමාජය ඒ සදහා සමත්කමක් දක්වා තිබෙනවාද ?

ඔව් මම හිතනවා වර්තමාන සමාජයේ යම් පිරිසක් වෙත අපි හොඳින් කවියෙන් ආමන්ත්‍රණය කරනවා කියල. කවියෙන් කලාවෙන් ඈත්වුන ජීවිත යුද්දයට මැදිවුන බහුතර පිරිස හැර ජීවිතය හොයන ජීවිතය විඳින විඳවන සුළුතරයකට අපි කවියෙන් ආමන්ත්‍රණය කරනවා. එය සමහර වෙලාවට කවි වලට ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. විදෙස් රටවල පවා අපිව කියවන පිරිසක් ඉන්නවා. ඔවුන් මේ කවියට බැඳිලයි ඉන්නේ. ඉතින් අපිට බැරිකමක් නෑ කවිය අවියක් විදියට සමාජය නිසි මගට ගැනීමට භාවිතා කරන්න. විරහව වෛරය වගේ විඳගන්න අමාරුම තැන් කවියකින් ස්පර්ශ කරලා ඉතා මෘදුව හදවතේ තවරන්න වගෙම යමෙකුගේ ජීවිතයට අරමුණක් දෙන්න තරම් කවියට පණ තියෙනවා

 ඔබගේ කාව්‍ය ප්‍රශ්තුතයන් අරඹයා වස්තු විෂයන් තෝරා බේරා ගන්නේද ? නැතහොත් බොහෝ කවීන් මෙන් මනෝරාජිකත්වය මත කවි ලියන්නේද ?

.ඕනෑම කලාවක් සත්‍ය හා පරිකල්පනය අතර ඇති මානයක තමයි ගොඩනැගෙන්නේ. ඒ මහා පොදු සාධකය මගේ කවි වලටත් අදාලයි. මගේ කවියෙ එක පුංචිම තැනක හරි මමත් ජීවත් වෙනවා. ඒ වගේ තව සිය දහස් ගණනක් මිනිස්සු ඒ කවිය ඇතුලෙ ජීවත් වෙනවා. ඒ කවිය කියවද්දි ඔවුන්ට ඔවුන් ජීවත් වෙන තැන හමුවෙනවා. ඉන් පසුව තමයි ඔවුන් කවිය හා කවියාව වැළඳගන්න පටන්ගන්නේ.

අද දැකිය හැකි කවි වල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් පැවසුවොත් ?

සමහර කවි වලින් මත් පැන් පානය මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රමෝට් වෙනවා. මම එහෙම කවි වලට පෞද්ගලිකව කැමති නෑ. ඒකෙන් කියවෙන්නෙ නෑ මම අමධ්‍යපයි කියලා. නමුත් එය විය යුතු දෙයක් නෙමෙයි. ඕනෑම අදහසක් අමු අමුවේ කියන කවි වලටත් මම පෞද්ගලිකව කැමති නෑ. ඒක මගේ රුචිකත්වය. ඒ වගේම මා ඇතුලු නවක පරපුරේ කවියන්ගේ කියවීමේ හා අධ්‍යයනය කිරීමේ මද බව විශාල දුර්වලතාවක් ලෙස මම දකිනවා. කවිය කියන්නෙ සාගරයක් නම් මම තාම වතුර උගුරක් වත් බීල නෑ.

නැවත නිළය හා සම්බන්ධව ප්‍රශ්නයක් නැගුවොත් ඇත්තටම පොලිස් නිලධාරියෙකුට මෙතරම් සියුම් තැන් ග්‍රහණය වන ආඛ්‍යානයන් ගොඩ නැගෙන්නේ කෙසේද ? සමාජය දන්නා පොලිස් නිලධාරියා දැඩි බවක් සහිත වූවෙක් ?

මම කලිනුත් කිව්ව වගේ මම පොලිස් සේවයට එක් වී ලොකු කාලයක් ගතවුනේ නෑ. මම ඉස්සර වගේම අද රටත් මැති ඇමතිවරුන් දොස්තර ඉංජිනේරුවො වගෙම යාචකයො කුඩු කාරයො කියන අය දක්වා සෑම කෙනෙක්ම ආශ්‍රය කරනවා.
සෑම ස්තරයකම මිනිස්සු එක්ක ගැටෙන්න මම ආසයි.පොඩු වැඩ වලට සම්බන්ද වෙන්න.ගමේ යාලුවො ගැන්සිය එක්ක ඇවිදින්න.ඒ වගේ ගොඩක් ජීවිතේ විඳපු කෙනෙක් මම මේ කුඩා වයසටත්.මට ඉතා සුන්දර ළමා කාලයක් තිබුනා.යාලුවො එක්ක දවසෙම සෙල්ලම් කරපු.මහ කැලෑ වල ඇවිදපු.හරක් එක්ක කුඹුරු මඩ කරපු.පිදුරු ගෙවල් හදපු.ගස් වල පැල් රැකපු.ඇළ දොල වල වරු ගනන් පීනපු.වලි දාගත්තු.ප්‍රේම සම්බන්දතා ගොඩ නැගුනු.දන්සල් දීපු ආදී දහසකුත් දේවල් මගේ වසර 13ක පාසල් ජීවිතය තුල සිදුවුනා.හැබැයි ඒ හැමදේම අතරේ මම ශිෂ්‍යත්ව විභාගයේ සිට ගණිත අංශයෙන් උසස් පෙළ දක්වා සියලු විභාග සමත් වුනා.ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.ඒ හැම අත්දැකීමක් නිසාම මගේ හදවත කවියක් ලියන්න තරම් මෘදු වෙන්න ඇති.

ඔබගේ කවි කමේ ආරම්භය පාසල් ජීවිතයද ?

ඔව් ඇත්‍තෙන්ම.පාසල් කාලය ගොඩක් සොඳුරු ලෙස ගෙවපු කෙනෙක් මම.මම හිතන්නෙ පෙම් හසුන් මියගිහින් ජංගම දුරකතන කෙටි පණිවිඩ උපන් කාලයක් මේක.අපි ඒ මියගිය පෙම් හසුන් කාලයට හා කෙට් පණිවුඩ කාලයට අතරමැදි වුන පිරිසක්. ඒ නිසා පෙම් හසුන් ලිවීමේ සොඳුරු අත්දැකීමත් මට තියෙනවා.ඒ බොහොමයක් මම ලිව්වෙ මට නෙමෙයි මගේ යාළුවන්ට.ඒ පෙම් හසුනක කවියක් දෙකක් ලියලා කෙල්ලව වර්ණනා කරන්න මම දක්ෂයා.ඉතින් මම කරපු වැඩක් ලේසියෙන් වැරදුනේ නෑ.මම කවි ලියන්න කම්මැලි කමට එකම කවිය ලියුම් දෙක තුනක ලියලා කෙල්ලො කෙල්ලො ඕව කියවද්දි ඒ කවි මාට්ටු වෙලා සුන්දර රණ්ඩු ඇතිවුන අවස්තාත් තියෙනවා.කොහොමින් කොහොම හරි ඉලක්ෂ ජයවර්ධන කියා කවියෙක් යන්තමින් හෝ ගොඩ නැගී තිබෙනවානම් ඒ සඳහා මුල් අඩිතාලම ලැබුනෙ සුන්දර පාසල් ජීවිතයෙන් තමයි

බොහෝ කවි තුළ ප්‍රේමය , විරහව විරහව ගැබ් ගෙන තිබෙනවා… මනුස්සකම ගැන මානව දයාව ගැන ලියවෙන කවි අල්පයි.. මෙයට හේතුව යම් සමාජ පීඩනයක පෙළෙන්නන් කවි ලියනවා යන්නද ?

සමාජ පීඩනය කියන එක නම් එදාත් අදත් අඩු වැඩි වශයෙන් තිබුන තියෙන දෙයක්.මම නම් හිතන්නේ ඕනෑම කවියෙක් ලඟම වැඩිපුරම තියෙනව ඇත්තෙ ප්‍රේමය විරහව ගැන ලියවුන කවි කියල.ප්‍රේමය කියන්නෙ කොච්චර ලිව්වත් මෙච්චරයි කියල අල්ලල පෙන්නන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ.ඒ නිසා අපි හැමෝම ඒ ප්‍රේමයට විරහවට අමුතුම බැඳීමකින් බැඳිල ඉන්නෙ.නමුත් අපි එතනින් එහාට නොයනවානම් ඔබ මතුකෙරූ සමාජ පීඩනය කියන තැනට යන්න වෙනවා.එහෙම අය නෑ කියන්නත් බෑ.නමුත් අපිට ඒ ගැන වැරැද්දක් කියන්න එයාලට ඇඟිල්ල දිගු කරන්න බෑ.අපි ඔවුන්ව පීඩාවට ලක් කරන සමාජයටයි ඇඟිල්ල දිගු කරන්න ඕන.අදටත් සමාජ විවරණය කෙරෙන ප්‍රේමයෙන් එහා දාර්ශනික තලයකට යන කවි බොහොමයක් ලියවෙනවා.ඒක අපි අගයන්න ඕන.

කවි නිර්මාණ කියවීමේදී බොහෝ දෙනා ඒවා කවියාගේ පුද්ගල බද්ධතාවයක් සමග කියවා ගැනීම සාමන්‍යයක් .. ඇත්තම කවිය හා කවියා අතර පුද්ගල බද්ධ සම්බන්ධයක් පවතින්නේද ?

ඕක බොහෝ අය අහන ප්‍රශ්නයක්.කවියක් කියවල අහනවා මේක ඇත්තම සිද්දියක්ද, එහෙම නැත්නම් මේ ඔයා ගැනද ආදී නොයෙක් ප්‍රශ්න.ඒකට දොසක් කියන්න බෑ ඒක සාමාන්‍යයි.අපි අපේ අත්දැකීමක් එහෙම නැත්නම් අපි ඇසුරු කල දෙයක් එහෙම නැත්නම් පරිකල්පනයක් කලා වෙන්න පුලුවන්. ඒත් මම නම් හිතන්නෙ ඒ සෑම කවියකම එක් කුඩා පදයකින් හෝ කවියාව කියවෙනවා නියෝජනය වෙනවා කියල.මගේ කවියක් උනත් කුමන මාතෘකාවක් යටතේ ලියවුනත් ඒ කවියෙ එකම සියුම් තැනකින් හෝ මාව එළියට එනවා.ඒක වලක්වන්න හරි අමාරුයි.ඒක නිරායාසයෙන්ම වන දෙයක්.

කවිය නිසා වෘත්තීය ජීවිතයෙදී ලැබෙන ප්‍රතිචාර කෙසේද ?

ඇත්තටම වෘතිය ජීවිතය පැත්‍තෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මොකද මගේ වෘතිය එක්ක ගත්තම කවිය හා කලාව සමඟ බැඳුන අය ඉතා විරලයි.ඒ නිසා මාව කැපී පේන්න ගන්නවා.එත් මම මගේ කලාව වෘතිය එක්ක පටලවගෙන අයුතු ප්‍රයෝජන ගන්න යන්නෙ නෑ.ඒක නොකල යුතු දෙයක්.මම මගේ වෘතියමය ගමනක් යනවා.ඒ අතරම කවිය කියන සොඳුරු බැඳීම හැමදාම රැකගන ඒ ගමනත් එකටම යනවා.

 ඉපදෙන්නේ කොහේද ? පවුලේ විස්තර කිව්වොත් ?

මම ඉපදෙන්නෙ ගාල්ල ඕපාත කියන සුන්දර ග්‍රාමයේ. මගේ අම්මයි තාත්තයි සාමන්‍ය ගැමියෝ. අපිට කුඹුරු ඉඩමක් තේ ඉඩමක් එහෙම ගමේ තියෙනවා. අපේ අම්මයි තාත්තයි ඒ ආදායමෙන් තමයි අපිව ජීවත් කලේ.මට අක්කල දෙන්නෙක් සහ අයිය කෙනෙක් ඉන්නවා.අයියා ගුරුවරයෙක්.ලොකු අක්කා පොලිස් නිළධාරිනියක්. පොඩි අක්කා උපාධිදාරී සංවර්ධන නිළදාරිනියක්. අපේ අම්මයි තාත්‍තයි අපි හතර දෙනාම රජයේ රැකියාවක් ලබාගන්නා මට්ටමට රැගෙන ආවා. ඔවුන් ඒ සඳහා ගොඩක් දාඩිය කඳුළු හෙලුවා. අපි හතර දෙනා ඔවුන්ගේ ඒ දාඩිය කඳුළු වලට වටිනාකමක් දුන්නා. ඒ වගේමයි මම මගේ ළමා කාලය උපරිමයෙන්ම වින්දා. ඒ නිසා ගෙවුන කාලය ගැන කිසිම පසු තැවීමක් නෑ. එකම දුකකට තියෙන්නෙ අම්මයි තාත්තයි වයසට ගිය එක ගැන විතරයි.

 අවසන් වශයෙන් පවසන්න ඉදිරියේදී නිර්මාණ පාර්ශවයෙන් කුමක් සිදුවන්නේද ?

මගේ කුළුඳුල් කවි පොත එළිදකිනවා දෙසැම්බර් 4 දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී.. එදින මා ලද ජයග්‍රහණයේ ත්‍යාග හා සහතික ප්‍රදානය සිදුවනවා. ඒ මොහොතට පැමිණෙන අයට මාගේ පොත මිලදීගන්න පුලුවන්. නමුත් පොත එළිදැක්වීමේ උත්සවයක් දෙසැම්බර් මස අවසන හෝ ලබන වසරේ ජනවාරි මුල් කාලයේ පැවැත්වීමට බලාපොරොත්තු වනවා.

රටේ පවතින මේ සමාජ දේශපාලනික තත්වය සම්බන්ධයෙන් කවීන්, නිර්මාණකරුවන් විදියට කිසිවක් කරනවා පෙනෙන්නේ නෑ.. ඔබ රාජකාරි කරන්නෙක්ට අමතරව නිර්මාණකරුවෙක් කොහොමද මේ තත්වයන් දකින්නේ ?

රටේ පවතින අරාජික සමාජීය හා දේශපාලන තත්වයට නිර්මාණ බිහිවන්නෙ නෑ කියල කියන්න බෑ. නිර්මාණ බිහිවෙනවා. ඒව සමාජය අතරට නොයන එකයි ගැටළුව. මොකද අපේ රටේ මිනිස්සු ආස කරන්නෙ හැමදාම මේ ෆැන්ටසියට තමයි. අපේ මිනිස්සු රියලිටියට බයයි. ස්වාධීන වෙන්න බයයි. හැමදාම කාගෙන් හරි යැපෙන්න බලන් ඉන්නේ. ඉතිහාසය පාඩමෙන් ඉගැන්නුව වගේ අපේ හැමෝටම ඕන රජෙක්. මොකෙක් උනත් කමක් නෑ රජෙක්. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියල තියෙන්නෙ සිංදුවල විතරයි.ඒව එක කනකින් ඇහුවා අනිත් කනින් පිටකලා.මේ මාතෘකාව ගැන හැමදාම මට තියෙන්නෙ කලකිරීමක් විතරයි.

සංවාද කලේ – තුසිත පතිරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *