මේ පාලකයෝ දැන් ගිලෙන නැවේ ගැට්ටෙ බජව් දාන එක නවත්තන්න ඕනේ – සඳුන් ප‍්‍රියංකර විතානගේ

රටේ මේ වන විට උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය ජනතාවට බලපාන්නේ කවරාකාරවද ?

දැන් තියෙන තත්වය නිකම් අපායට ඉන්ටවල් වගේ. දැනට රටේ සාමාන්‍ය දේවල් එදිනෙදා සුපුරුදු පරිදි සිදුවෙමින් තිබුණත් මේ තත්වය ඉදිරියට ගියොත් රට අතිශය අමාරු අඩියකට වැටෙන්න නියමිතයි. දැනගන්න තිබෙන පරිදි විදේශ ආධාර මත කෙරෙමින් තිබුණු ව්‍යාපෘති කිහිපයක් නැවතිලා. පාලක පක්ෂයක් ස්ථිරව නැති නිසාත් රටේ එදිනෙදා මුදල් වෙන් කරන්න අවශ්‍ය දේවලට මුදල් වෙන් කරගන්න බැරි වීම නිසාවෙන් ඉදිරියෙදි මහත් විපාක ලැබෙන්නට පුළුවන්. අය-වැයක් හෝ අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කිරීමක්වත් නැහැ. ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය මිලදී ගැනීම් වෙනුවෙන් මුදල් වෙන්කර ගැනීම, රාජ්‍ය සේවක වැටුප්, සෞඛ්‍යට අදාළ මිලට ගැනීම් ආදිය අර්බුදයට යන්න නියමිතයි. මේ තත්වය ඉදිරියට ගියොත් හිතාගන්නට බැරි තරම් හානියක් සිදුවෙනවා. ඒවා බලපාන්නෙ ලෙඩක් හැදුණම සිංගප්පූරු දුවන පාලකයන්ට නෙවෙයි ජනතාවට.

දේශපාලන‌යේදී එක් පාර්ශ්වයකට ව්‍යවස්ථා විරෝධී වන පත් කිරීමක් තවත් පාර්ශ්වයකට ව්‍යවස්ථානුකූල ලෙස පැන නැගී ඇති ගැටලුව මාධ්‍යවේදියෙකු ලෙස ඔබ දකින්නේ කෙසේද ?

කන්න ඕන වුණා ම කබරයා තලගොයා කරගන්න එක ජාතික අනන්‍යතාවක්නෙ. ඒ නිසා කාටහරි මෛත්‍රීපාල සිරිසේන කරපු අලුගුත්තේරු වැඩේ ව්‍යවස්ථානුකූලයි කියන්න පුළුවන්. ඒත් මේ කළ දේවල් කිසි ම හේතුවකින් ව්‍යවස්ථානුකූලයි කියන්න බෑ.

ඔබ කල්පනා කරන්න, ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථා විරෝධී වැඩ කළේ නෑ. ඔහුට තිබුණු හයෙන් පහේ බලය අරගෙන ඔහුට ඕන දේවල් කළේ ව්‍යවස්ථාව වෙනස් කර කර. ඒ කියන්නෙ, ජේ.ආර්. තමන්ට ඕන දහජරා වැඩක් කළේ ව්‍යවස්ථානුකූලව. හැබැයි මේ හාදයා මොකක්ද කරන්නෙ? 225 එක්ක ආවත් රනිල්ට දෙන්නෙ නැහැ කියනවා. රනිල් වගේ මහබැංකු හොරෙක් අපිටත් ඕන නෑ තමයි. ඒත් ව්‍යවස්ථානුකූලව රනිල්ට නම් ඒක හිමි ඒක දෙන්න ඕන. මෙතන තියන බරපතළ තත්වය තමයි මේ කරන සියල්ල කිසිම ව්‍යවස්ථාවකට යටත් නොවෙන, මෛත්‍රී හිතලු. මේ ව්‍යවස්ථාවන් ඉතා අවුල්-අපටත් විවේචන තිබෙන ඒවා වෙන්න පුළුවන්. ඒත් ඒක රටේ මූලික නීතිය. මේ වගේ එකක් දිනාගන්න ලෝකය පුරා වෙහෙසවුණු මිනිසුන්ගෙ ලේ දහඩිය ඇතුළත්. ඒ නිසා මේක කිසි ම ලෙසකින් සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයකටයි යා යුතුයි. මොකද ඔහු පත් කරපු ජනමතයට පයින් ගැහුව වගේ ම ඔහු හිටගත්තෙ ප්‍රතික්ෂේප කරපු ජනමතයෙ. ඒ අනුව ඔහු සමස්තයෙන් ම ප්‍රතික්ෂේප වුණු කෙනෙක්.

මෙම දේශපාලන අර්බුදය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් බවට පත්වී එයට සිවිල් සංවිධාන හා ඊට අනුබද්ධ සංවිධාන ගොනුවක් ලෙස සටන් වැද සිටිනවා. ඇයි ජනතාව මෙයට අවදි නොවන්නේ ?

මෙතන තමයි අතිශය දුක්බර කරුණ තියන්නෙ. ජනතාව අවදි වී පෙළ ගැසිය යුතු කුමන පෙරමුණකට ද? කාවද විශ්වාස කරන්නට පුළුවන්? ජනතාව විශ්වාස කිරීමේ සීමාව ඉක්මවලා තියන්නෙ. දේශපාලන පක්ෂ ගැන විශ්වාසය ජනතාවට අවසන්. පුද්ගලයො ගැන විශ්වාසය ජනතාවට අවසන්. සිවිල් සංවිධාන ගැන විශ්වාසය ජනතාවට අවසන් කරල පෙට්ටියෙ අවසන් ඇණය 2015 ගැහුව. රටේ සමස්ත ආර්ථිකය කඩා වැටෙන බව පෙනි පෙනී දුන්න මහබැංකු රොබරිය ගන්න. මොන සිවිල් සංවිධානය ද පෙරමුණට ඇවිත් කෑ ගැහුවෙ.. වියන්ගොඩගෙ ආවර්ජනා ලිපි දෙක තුන ඇති ද 2015 ඊනියා යහපාලනය ගේන්න නටපු නැටුමට සාපේක්ෂව? ඒ නිසා ජනතාවට කිසි ම බලවේගයක් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නෑ.

අපි දුටුවා පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම අර්බුදයේදීද සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය හා නව සංවිධාන ගොඩ නැගී අර්බුදයට විසඳුම් ඉල්ලා ක්‍රියාමාර්ග තෝරමින් සිටිනවා. ඔබ මෙම ක්‍රියාමාර්ගයන්ගේ හෝ ඒකී සංවිධානවල විනිවිදභාවය සම්බන්ධයෙන් කවර අදහසක් පළ කරන්නේද ?

ලංකාවෙ සිවිල් සංවිධාන කියල ජාතියක් නෑ. මේවට නම් දාන්න ඕන මැතිවරණ සිවිල් සංවිධාන කියලා. සිවිල් මහජන ව්‍යාපාර තියන්නෙ මැතිවරණයක් ආවම බැනර් එකක් ගහගෙන මයික් වටකරගෙන ජනතාවට අවදිවෙන්න කියන්න නෙවෙයි. සිවිල් සංවිධාන යාව-ජීව ව, ඓන්ද්‍රියව ජනතාව එක්ක ඉන්න ඕන. ඕන්-ඕෆ් කරන බල්බ් එකේ ආයු කාලෙ වගේ ඕන්-ඕෆ් කරල මේක දැන් නිවිල යන්න ම ආසන්නයි. ඇත්ත සිවිල් සංවිධාන වැඩ කියන්නෙ ඇඟ රිදෙන වැඩ. ඒවා මේ පුද්ගලයො කේන්ද්‍රීය ව යන ඒවා නෙවෙයි. පුරවැසි බලය ගන්නකො. කීපදෙනෙක් එකතු වුණා, බැනර් එකක් ගහගත්තා. තමන්ගෙ සිවිල් බලය පාවිච්චි කරගෙන අපි තමයි සිවිල් ජනතා ක්‍රියාකාරිත්වය කියාගෙන බල හවුලකට සහය දුන්නා. ජෝසප් ස්ටාලින් සහ තවත් අයෙක් දෙන්නෙක් ඇරෙන්න අනික් අය තමන්ගෙ පුද්ගලික සුඛ විහරණය හදාගත්තා. සරත් විජේසූරිය වගේ කෙනෙක් ප්‍රසිද්ධියෙ උත්තර දෙන්න ඕන මේ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙන එයාගෙ පොත් එළිදැක්වීමට රජයෙ මුදල් ගත්ත එක ගැන. සමන් රත්නප්‍රිය වගේ කෙනෙක් නැවතුණේ රාජිත සේනනායකගෙ රෙද්ද අස්සෙ. ලංකාවෙ මහා සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායක ගන්නකො. ඔබට පුළුවන් ද හොයා බලන්න ඔහු තවමත් මෛත්‍රීපාල සිරිසේනගෙ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක ද කියලා ? එහෙම ඉන්නව නම් ඔහු ඉන්නෙ රෙද්දක් ඇඳගෙන ද කියලා? හැමවෙලාවෙ ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන දබර කරන දඹර අමිල හාමුදුරුවන්ට පුළුවන් ද ලිට්රො ගෑස් එකෙන් ගත්ත පඩිය ගැන විහිලුවක් නොවන යමක් කියන්න..

ඒ නිසා මේවයෙ විනිවිදභාවය ගැන අහන ප්‍රශ්නයම විහිලුවක්.

ඔබ වාම ක්‍රියාකාරිකයෙක්. මෙවැනි දේශපාලන අර්බුදයකදී ලංකාවේ වමේ ව්‍යාපාරයේ සිටිය යුතු තැන සිටින්නේ යැයි විශ්වාස කරනවද ?

ලංකාවෙ වමේ ව්‍යාපාරය සිටිය යුතු තැන්වල කොහොම වෙතත් තැන් තැන්වල ඉන්නවා. මහින්ද රාජපක්ෂ ගාව ටිකක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ගාව ටිකක් ඉන්නවා. ඒ ඇරෙන්න තවත් පක්ෂ සහ කණ්ඩායම් ඉන්නවා. ඒ හිටිය යුතු තැන ගැන කවමදාවත් එකඟතාවකට එන්න වමේ ව්‍යාපාරයට බෑ. ඉතිහාසය පීරල බැලුවම 47 ආණ්ඩු බලය ගන්න බැරි වීමේ සිටම එක් වෙන්න බැරි ප්‍රශ්නයක ඔවුන් ඉන්නවා. කාටත් ඇවිත් හිටගන්න පුළුවන් ලොකු කුඩයක් වගේ සටන් පාඨයක් වමට අවශ්‍යයි. පොදු සටන් පාඨයක්. ඒත් මම හිතන්නෙ නෑ, හැමදාම තමන්ගෙ ගොඩ-තමන්ගෙ න්‍යාය පත්‍රය මූලික කරගෙන හිතන-වැඩවලට සම්බන්ධ වෙන වාම පාර්ශ්වවලට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද හැමවෙලාවෙ ම ඉන්නෙ බඩේ බිජු තියාගෙන-හක්කෙ ගල් තියාගෙන.

ජනතාවට මේ වන විට දේශපාලනඥයින් , පාර්ලිමේන්තුව, අගමැති, ජනාධිපති, හා පාලන තන්ත්‍රයන් විහිලුවක් බවට පත්වී තිබෙනවා. ඇත්තට මේ ආයතන විහිලු සපයන ආයතන හෝ පුද්ගලයන්ද ?

ශිෂ්ට ලෝකයට අනුව නම් මේ ආයතන විහිලුවක් නෙවෙයි. ඒවාට අදාළ සංකේත වටිනාකම් හරි බරපතළයි. ඔබ බලන්න පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙ අගමැතිට දඩ ගැහුව මීටර් කිහිපයක් ජීවිතාරක්ෂක කබායක් පැළඳ නොගෙන බෝට්ටුවක් පැද්දට. ඒ තරම් ඔවුන් ආයතනවල වටිනාකම් ගැන හිතනවා. කොහොම වුණත් අපේ රටේ මේ සමයෙ සිදුවුණු මේ හෙළිදරව්වීම්, කිචවීම් ගැන පොඩි කාළකණ්ණි සතුටක් මට තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගෙ ගරිල්ලා මාකටින් සිනමාපටයෙ එක තැනක තියනවා ජනාධිපති අපේක්ෂකයෙක් මෙහෙම කියනවා, “තමුසෙලා බෙරගහල, මල්වඩම් තියලා වඩම්මපු දේවතාවා යකෙක් කියල දැන් තමුසෙලට තේරුණා ද? අපිත් යක්කු තමයි ඕයි.. අපිත් යක්කු තමයි”.. මෙතරම් කිචවීමක් ඉතිහාසයෙ කවරදාවත් වෙලා නැහැ. වසන්ත සේනානායක වගේ කෙනෙක්ට, ඩබල් ඩොක්ටර් විජේදාස වගේ කෙනෙක්ට අපි කෘතඥ වෙන්න ඕන මෙහෙම මේවා කිච කළාට. අලුත් පද්ධතියක් අලුත් වටිනාකම් නිර්මාණය වෙන්න මේවා හේතු වෙයි.

 ඔබ දකින සත්‍යයේදී මෙම දේශපාලන අර්බුදය කාගේ වරදින් සිදුවූවක්ද ?

මම උසස්පෙළ කරන කාලෙ මේ රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂයක් විතර. හරියට වචනයක් තෙපළන්න තාම බැරි මගෙ දියණියත් දැන් රුපියල් ලක්ෂ 4ක් ණයයි. මේ දරුවො ණය වුණේ මේ පුණ්‍ය භූමියෙ ඉපදුණු වරදට ද? බොහොම ඈත කාලෙ ඉඳන් මේ රට පාලනය කරපු පාලකයො, දේශපාලන පක්ෂ ව්‍යාපාර සහ මේ පාලකයො පත් කරපු ජනතාව (මමත් ඇතුළුව) මේ දේශපාලන-සමාජ-ආර්ථික-සංස්කෘතික අර්බුදයට වගකියන්න ඕනෑ.

ජනාධිපති, අගමැති, හිටපු අගමැති, දේශපාලන පක්ෂ, හා සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ඒකතුව ජනතාව ගොනාට අන්දනවා යැයි මතයක් පළ කළොත් ? ඒහි සත්‍යාසත්‍යතාවය කුමක්ද ?

ඒක සත්‍යයක්. මේ අය ලොකු නම් අස්සෙ හැංගිලා ඉන්න පුංචි මිනිස්සු. එයාලා හිතන්නෙ තමන් සහ තමන්ගෙ අතිශය සමීප තමන්ගෙ පවුලෙ අය ගැන. එපමණයි. ආත්ම මූලිකයි. නිකම් නියැදියක් අරන් බලන්න මේ ආත්මමූලිකකම ගැන. පාර්ලිමේන්තුවෙ 225 දෙනා තමන්ගෙ ලේකම් විදිහට පත් කරගෙන ඉන්නෙ විෂය දන්නා පුද්ගලයද නැත්නම් තමන්ගෙ පවුලෙ කෙනෙක් ද කියලා. ඒ ප්‍රතිශතය ඔබට කියාවි ගොනාට ඇන්දවීමේ තරම ගැන.

සෘජුව ප්‍රශ්නයක් අහන්නම්. කළ යුත්තේ කුමක් ද ?

පැහැදිලියි. මේ සියලු ආත්මමූලික සහ න්‍යායපත්‍රමූලික දේශපාලනයන් නවත්වලා රට වැටෙමින් යන මේ අගාධයෙන් ගොඩගන්න පොදු පෙරමුණක් හදාගන්න ඕන. දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකට තියල (අඩු තරමෙ කෙටිකාලයකට හරි) මේ විනාශයෙන් රට ඉහළට ගන්න සියලු දෙනා ම කටයුතු කරන්න ඕන. දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කිසි මගකින් මේ රට තවදුරටත් ඉස්සරහට යන්නෙ නෑ. ගිලෙන නැවේ ගැට්ටෙ ඉඳන් බජව් දාන එක නවත්තල පොදු ප්‍රශ්නයට පොදුවේ මුහුණ දෙන්න ඕන. මේ රට දාල යනව, යන්න පුළුවන් හැමෝ ම. අන්තිමට එකිනෙකා මරාගනිමින් ම්ලේච්ඡයො ටිකක් ඉන්න මුඩු බිමක් බවට මේක පත්වෙයි. සැකයක් නෑ. මේ පොදුබලය ගෙනියන්න නායකත්වය ගන්න ඕන වමේ ව්‍යාපාරය. මනුෂ්‍යත්වය ගැන, මිනිස් වටිනාකම් ගැන හැඟීම තිබෙන්නෙ වමට මිසක් දක්ෂිණාංශයට නෙවෙයි. තවමත් අපේ වමේ ව්‍යාපාරයට මේ වැඩේට ශක්තිය තියෙනව කියල මම විශ්වාස කරනවා

සංවාද කලේ – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *