සිදුවීම් පාදක කොටගෙන නිර්මාණ බිහිවීම කාව්‍ය සාහිත්‍යයට අඩුවක් – උපුල් ශාන්ත සන්නස්ගල

(කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ නොපවතිනු වස් ප්‍රේමය ව පවතිමි කාව්‍ය කෘතිය පිළිබඳ 2018 දෙසැම්බර් 1 දින මහවැලි කේන්ද්‍රයේ දී උපුල් ශාන්ත සන්නස්ගල විසින් කළ දේශනයේ සංක්ෂිප්ත සටහනක් )

බොහෝ කවි කිවිඳියෝ කාව්‍ය රචනා කිරීමේ දී ඉතා ප්‍රබල හෝ ඉතා දුලබ අද්දැකීමක් තමන්ගේ ප්‍රස්තුතය කරගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. ඉතා ප්‍රබල හෝ දුලබ ප්‍රස්තුතයකින් නිර්මාණශීලී කවි ලිවිය හැකි බව ඇත්තක්. ඒත් එවැනි කවි රසාස්වාදය කිරීමේ දී සහ විචාරය කිරීමේ දී කවිය පසෙකින් තබා එම අද්දැකීම තමන්ට ආදේශ කරගැනීමෙන් කවිය හෝ කවියා මතු නොවී එම අද්දැකීම ම සාකච්ඡා කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දිගින් දිගටම දක්නට ලැබුණා. සුනාමිය ගැන, උතුරේ යුද්ධය ගැන, පාතාල සාමාජිකයන් ගැන, නැත්නම් ගණිකාවක් වූ අම්මා, නංගී හෝ අක්කා ගැන, සැණකෙළියක වෙස්මූණක් දමා නටන සර්කස්කාරයෙකුගේ දුක්බර ජීවිතය ගැන, සංගීත ප්‍රසංගවල නටන නළඟනන් ගැන, මුට්ට කර ගසන්නන් ගැන, වැනි ඉතා ප්‍රබල අද්දැකීම් ප්‍රස්තුත කොටගෙන කවි ලිවීම ඊට නිදසුන්. මේවා රසවිඳින්නන් සහ විචාරකයන් කළේ කවිය යටපත් කොට, එම අද්දැකීම පිළිබඳව දීර්ඝ ව සාකච්ඡා කිරීමයි. සුනාමිය ගැන කවියක් ලියූ විට කවිය නොව, සුනාමිය සහ සුනාමියෙන් වූ විනාශය ආදිය ගැන සාකච්ඡා කර, ඇතැම් විට විචාරය ඉවර කරන්නේ හෙල්පිං හම්බන්තොට ගිවිසුමෙන්. ඒ අනුව සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කවිය නොව සිදුවීමයි. මෙසේ වූ විට සහෘදයා ළඟ ඉතිරිව තියෙන්නේ කවි පන්තියේ සිදුවීම පමණයි. විමල් දිසානායකගේ ‘දියේ ගිලුණු අයියාට’ කවි පන්තියේ සිදුවීම, දිය නාන්න ගොස් අයියා දියේ ගිලී මිය යෑම බව පාඨකයාට මතකයි, ඒත් කවි පන්තිය මතක හිටින්නේ නෑ. දියේ ගිලීම, ප්‍රවේසම් සහගත වීම, පිහිනීමේ අගය, ජීවිතාරක්ෂාව, සහෝදරයෙක් මිය යෑමේ පාඩුව, අයියාගේ නොමේරූ චණ්ඩිකම ආදිය පිළිබඳ අද්දැකීම සාකච්ඡා කෙරෙනවා. හැබැයි කවිය සහ එහි සන්දර්භය, අද්දැකීම ප්‍රතිනිර්මාණය කිරීමෙන් පසුව ඇති කවියේ ස්වභාවය, කවි හැකියාව යනාදිය පිළිබඳ සාකච්ඡාව අතහැරෙනවා. කකුලේ කිණිස්සක ටැටූවක් කෙටූ ගැහැනියක ගැන කවියක් ලියූ විට, ප්‍රස්තුතයේ දුලබ බව උත්කර්ෂයට නඟා එය ලියූ කෙනා ස්ත්‍රීවාදිනියක ලෙස නම් කරන්නට ඇතැම් අය උත්සුක වුණත්, ඒ කවිය පාඨකයාට මතකද? හොඳ කවි නිර්මාණය වන්නේ මෙවැනි ප්‍රබල අද්දැකීම් කවියට විෂය කරගැනීමෙන් පමණක් බවට මතිභ්‍රමයක් පසුගිය කාලයේ පැතිරෙමින් තිබුණා. කාව්‍ය විචාරකයන් කවි පිළිබඳ දේශන පැවැත්වීමේ දී එවැනි කවි තෝරාගෙන ඒවා ගැන පමණක් අදහස් පළ කිරීමට උත්සුක වීම මීට එක් හේතුවක්. එවිට සිදු වන්නේ එම අද්දැකීම පිළිබඳ දේශකයාගේ අද්දැකීම පවසමින් ඔහුගේ පාණ්ඩිත්‍යය නිරූපණය කිරීමක්. උතුරේ සොල්දාදුවෙක් ද්‍රවිඩ තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම කවියක් වූ විට, එය ස්ත්‍රීවාදී කවියක් බවත්, සහජීවනයට යහපාලනයට උර දෙන නිර්මාණයක් බවත්, කවියා ජාතිවාදී නොවන අයෙකු බවත්, යුද්ධය ඛේදවාචකයක් බවත් දීර්ඝ ව සාකච්ඡාවට බඳුන් වන ආකාරය මීට නිදසුනක්. එවිට එම කවියාගේ කවීත්වය හෝ එම වස්තුවිෂය මුල් කරගත් ‘කවිය’ පිළිබඳ සාකච්ඡාව අතපසු වෙනවා. මඟ හැරෙනවා.

කල්පනාගේ කාව්‍ය කෘතිවල විශේෂත්වය, එවැනි ප්‍රබල සහ දුලබ සිදුවීම් සහිත කවි ඉතා අඩු වීමයි. එවැනි ප්‍රබල සිදුවීම් සහිත කවි මේ පොතේ ඇත්තේ ‘ලොකු අම්මා මියගොසිනි’ (39) සහ ‘නැදුන්ගමුවේ’ (42) කවි පන්ති දෙකේ පමණයි. මීට අමතරව පුද්ගල චරිත විෂය කරගෙන ලියා ඇති කවි පන්ති කීපයක් තිබෙනවා. ඒ ජෝ සෙනෙවිරත්න ගැන ලියූ කවිය (45), සමර විජේසිංහ ගැන ලියූ කවිය (30), මල්ලීට ලියූ කවිය (68) සහ ටිම්රාන්, බන්දුජීව, මහේෂ්, පොතුලියද්ද, ඩොමිනික් සහ ප්‍රසාද් යන පිරිසට ලියූ කවිය. එම කවි පවා, ඒ චරිත නම්ගම් මොහොතකින් අතැර කියවීමේ හැකියාවක් තිබෙනවා. සමරගේ නම අමතක කළොත් එතැන ඇත්තේ අතිශය පොදු බවට පත් වූ කවියක්. එය කළ හැක්කේ මෝරා වැඩුණු කිවිඳියකට පමණයි. ටිමා, බන්දු, මහේෂ්, පොත්තා, ඩොමා අයින් කළ විට ඒ කවියේ සහෘදයාට එහි කොටස්කාරයෙක් විදිහට වාඩිවෙන්න පුළුවන්. මල්ලීට ලියන කවියේ මල්ලී වෙනුවට මටත් එතෙන්ට ආදේශ වෙන්න පුළුවන්. නාමග්‍රාම අමතක කළහොත් ඒ කවිවල ඇත්තේ ප්‍රේමය යන සාධකය ම පමණක් බව පෙනෙනවා. ඒ සියලු කවිවල ඇත්තේ ඉතාම සියුම් රිදවුම්. ජීවිතයේ ඉතාම සියුම් තැන්. ඉතාම සරල සංවේදනාවන්. පුංචිම අදහස් ඉතා විශිෂ්ට කවි බවට පත් කිරීම කල්පනාගේ කවිවල විශේෂත්වයයි. මතකයේ රැඳෙන දරුණු සිදුවීම් ඒ කවිවල නොමැති වුවත්, කල්පනාගේ කවි කල්පනාව ප්‍රබලයි. ඒක කල්පනාගේ කවි කල්පනාවේ පරිකල්පනාව. එම පරිකල්පනීය අවස්ථාව කාව්‍යෝක්තියක්. එනිසා මේ කවිවල මතක තබා ගත යුත්තේ ප්‍රබල සිදුවීම නොව පරිකල්පනීය කාව්‍යෝක්තියයි. ඒ සඳහා
පද සංඝටනාවේ පේළි අනුපිළිවෙළින් මතක තබා ගැනීම අතිශය වැදගත්. මේ කවිවල ප්‍රේමය, ස්නේහය, ආදරය යන හැඟීම හැර වෙන කිසිවක් ම නෑ. ප්‍රේමය සාහිත්‍යයේ දී සැලකෙන්නේ ඉතාම සුලබ අද්දැකීමක් ලෙසයි. කල්පනාගේ කවිවල ඇති සුලබ රිදවුම්, සියුම් සැතකින් කරන රිදවුම් වගේ. ඇසේ වැලි ගෑවුණාක් වැනි ඉතාම පුංචි රිදවුම්. කොතරම් සුලබ අද්දැකීමක් වුණත් කල්පනා ප්‍රේමය කවි ලෙස ප්‍රතිනිර්මාණය කරන්නේ අපූර්ව ලෙසයි. ඒ හැම පෙම් කවියක් ම පරිසරය එක්ක සම්බන්ධයි. වලාකුළු, අහස, වැස්ස, තුරුහිස්, මල් මකරන්ද, පිනි, සීතල, තුරුපත්, සෘතු විපර්යාසය ආදිය ඇගේ කවි හැමතැනම දකින්නට පුළුවන්. දුලබ අද්දැකීමක් ප්‍රතිනිර්මාණය කරනවාට වඩා, හැමෝම දන්නා සුලබ අද්දැකීමක් ප්‍රතිනිර්මාණය කිරීම අසීරු ව්‍යායාමයක් බව මම හිතනවා. ප්‍රේමය කොතරම් සුලබ අද්දැකීමක් වුණත්, එය ලෝක සාහිත්‍ය ඉතිහාසය තුළ අසංඛ්‍ය අප්‍රමාණ වතාවක් ප්‍රතිනිර්මාණය වුණත් දක්ෂ සහ නිර්මාණශීලී සාහිත්‍යකරුවෙකුට එම අද්දැකීම ම නැවුම් අයුරින් පරිකල්පනය කළ හැකියි. සංගීතඥයින්ට ඇත්තේ ස්වර හතක් පමණයි කියා ලෝකයේ කිසි දිනක සංගීතය නිර්මාණය වී ඉවර වෙන්නේ නෑ. එලෙසම භාෂාව කොතරම් දුප්පත් වුවත් නැවුම් පරිකල්පනීය අදහස් ඇත්තෙකුට ඕනෑම සුලබ අද්දැකීමක් නව්‍ය අයුරින් ප්‍රතිනිර්මාණය කළ හැකියි. ප්‍රේමයේ සියුම් රිදවුම් පිළිබඳ බහුවිධ භාවයන් සහිත සංකීර්ණ අදහසක් කල්පනාගේ කවිවල තිබෙනවා. ඇගේ හැම කවි හීනයක්ම තමන්ව තමන්ට දකින්නට සලස්වන ප්‍රේමණීය කවි. කිවිඳිය සිය ප්‍රේමවන්තයාට ආදරයේ තරම සන්නිවේදනය කරන අයුරු ඉතා සුමට බසකින් ප්‍රතිනිර්මාණය කළ හැක්කේ ප්‍රවීණ කිවිඳියකට පමණයි. එය සතතාභ්‍යාසයෙන් එන්නක්. ඒ අනුව කල්පනා ආධුනික නවක කිවිඳියක් නොව, නවීන ප්‍රවීණ කිවිඳියක්. නවකතා ලියමින් ආදරයේ තරම සන්නිවේදනය කරන්නට උත්සාහ කළ මට කල්පනාගේ කවි ගැන ඇති වන ඉරිසියාව ම, මෙසේ ආදරයේ ප්‍රකාශනය බවට පත් වෙනවා.

ප්‍රේමය යන ප්‍රස්තුතය ප්‍රතිනිර්මාණය කිරීමේ දී කල්පනාට බලපා ඇති ප්‍රධාන ම දේ සංයමයයි. ඇය ප්‍රේමය පවසන්නේ ඉතාම සංයමයෙන්. ඒ සංයමය නිසාම ඉතාම ආඩම්බර, නොවැටෙන, වැටි වැටී නැඟිටින, ලස්සන පෙම්වතුන් මේ කවිවල ඉන්නවා. මේ කවි පන්ති මැද නැවති නැවති රිදි රිදී කියවිය යුතුයි. ඒක කල්පනාගේ ප්‍රතිභා ශක්තිය විදහා දක්වන තැනක්. ඇය සිය ප්‍රතිභාවෙන් සියුම් රිදවුමකින් අපූර්ව වස්තුවක් ප්‍රතිනිර්මාණය කරනවා.

එකී ප්‍රතිනිර්මාණයේ දී කල්පනා පාවිච්චි කරන ඇතැම් සංකල්ප රූප දෘශ්‍යගෝචරයි. ඇතැම් ඒවා ශ්‍රව්‍යගෝචරයි. ඇතැම් ඒවා ස්පර්ශගෝචරයි. ඇතැම් ඒවා රමණීය චිත්ත රූප. මේ කවිත් එක්ක පාඨකයාට ලොකු චාරිකාවක් යන්න පුළුවන්. කල්පනා වැඩි කැමැත්තක් දක්වන්නේ උපමා භාවිතයට නෙමෙයි. ඇය මෙන්, සේ, වැනි, එව් ආදී උපමා අයින් කර රූපක ගොඩනඟනවා. ඇතැම් ඒවා නාම නාම රූපක. ඊට වඩා ඇය භාවිත කරන නාම ක්‍රියා රූපක නවීනයි, නැවුම්.

ඇගේ කවිවල දෘෂ්ටිවාදය කිසිවෙකුට හිංසාකාරී නෑ. ජාතිවාදී හෝ ආගම්වාදී නෑ. කල්පනාගේ දේශපාලන පරිණතභාවය ඇගේ කවිවලට ඇතුළු වෙන්නේ කිවිඳියකගේ ස්වභාවයෙන් මිසක කල්පනා ඇම්බ්‍රෝස්ගේ නමින් නොවෙයි. මොනිකා රුවන්පතිරණගෙන් පසු සිංහල කිවිඳියන් බිහි වන්නේ නැතැයි පරසක්වළ ගසන්නන්ට, කල්පනාගේ කවිපොත් ඔබේ ලිට්මස් පරීක්ෂණයට හසු කරන්නැයි මා කියා සිටිනවා. දේශපාලන අරාජිකත්වය සමග සමාජය ම හැප්පෙමින් සිටින ගිනිගත් මොහොතක, අප තෙමන නිවන සීතල වතුර වීදුරුවක් ලෙස මට කල්පනාගේ කවි පෙනෙනවා.

(කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියගේ නොපවතිනු වස් ප්‍රේමය ව පවතිමි කාව්‍ය කෘතිය පිළිබඳ 2018 දෙසැම්බර් 1 දින මහවැලි කේන්ද්‍රයේ දී මා කළ දේශනයේ සංක්ෂිප්ත සටහන.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *