ගැහැනු සහ පිරිමි…… මේනුකා දම්සරණී

මට තනියම ඉන්න දෙන්න … ගැහැනියක් එහෙම කියන්නේ නොකියා බැරිකමට. ඒ හිතට ඕන, උණුහුමට ගුලි වෙන්න. හිතේ රිදෙන අහුමුළු ඔක්කෝ ම හාදු වැස්සකින් හේදිලා යන්න.

කතා කරන්න එපා කිව්වත් ඉන වටේ අත් බැඳන් පපුවට තුරුලු කරන් කන්පෙති සිඹින ගමන් අතොරක් නැතිව ආදරේ තරම් කියවනවා අහන්න.

ඒ හැමදේම නැතත් ආදරෙයි කියලා රිදුණ හිත සනසන්න. එහෙම ගෑනු හිත් තේරෙන පිරිමි හරි දුලබයි. එහෙම පිරිමියෙක් නොලබන ගැහැනු හරි සුලබයි.

හැඬුම්බර වෙලා වචනයක් කියාගන්න බැරි මොහොතක, ඔයා කතා නෑනෙ කියලා අහන, එහෙම අහලා යන්න යන ගෑනු හිත් නැතත්, තමන් ගැන ආදරේ පිරුණ හිතක්වත් නොතේරෙන පිරිමි ඉන්නවා. පුදුම වෙන්න එපා. එහෙම පිරිමින්ට මැරීගෙන ආදරේ කරන ගැහැනුත් ඉන්නවා. එහෙම ගැහැනු තමා පිරිමින්ට මුලින් ම එපා වෙන්නෙ. ඒක එහෙම වෙන්න හේතුව අහන්න එපා. මම දන්නෙ නෑ.

සමහරවෙලාවට අඬද්දි කම්මුල් දිගේ බේරෙන කඳුළු පිහදාන ඇඟිලිවලට වඩා ඇති තරම් අඬපන්, අදට විතරක් කියලා අඬන ඇස් වාරු කරගන්න උරහිසක් දෙන්න හිතෙන පිරිමි ලබන්න ඇත්තට ම ගැහැනියක් පාරමී පුරන්න ඕන.

ඒත් උන් කරන්නෙ ම ඇඟිල්ලෙන් ඇස්වලට ඇණ ඇණ කඳුළුම දෙන පිරිමි වෙනුවෙන් පාරමිතා පුරන එක. අඬා අඬා පණ වගේ පෙම් කරන පිරිමින්ගෙ හැඩට තමන්ව ම කැටයම් කරන එක. තමන්ව ම අමතක කරලා තමන්ට ම රිද්දගෙන උන්ගෙ පදමට තමන්ව ම නෙලන එක.

එහෙම කරලත් හොඳක් නැතුව ම එහෙම පිරිමියෙක්ව ම මතු මතුත් පතන එක.

දරුවෙක් වදන නිසා නෙවෙයි….. එහෙම පෙම් කරන හින්දමයි… හැම ගැහැනියක් ම, අම්මා කෙනෙක් වෙන්නෙ…. ඒ ආදරේ උරුම පිරිමින්ට…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *