මා ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය අම්මා පමණයි – රෝහිණී ජයන්ති ලියනගේ

ලංකාවේ නව කතාව මේ වන විට බොහෝ දුරට ඕලාරික හුදු මිනිස් ගති පැවතුම් ආදරය වැනි සංකල්පනා මත හර සුන්ව දිව යන්නක් ලෙස පෙන්නුම් කරමින් තිබෙනවා මේ මතය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද ?

මේ ප්‍රශ්ණයට නිවැරදි උත්තරයක් දෙන්නනම් මම ලංකාවේ ඵලවෙන සියලුම නවකතා කියවල තියෙන්න ඕනි කියලා මට හිතෙනවා. නමුත් අපි කවුරුවත් ඒ සියළුම නවකතා කියවනව කියලා මම නම් හිතන්නෑ. ඔබ මේ අහන්නේ මල්කතා යැයි ව්‍යවහාරයේ භාවිතා වන නවකතා සම්බන්ධයෙන් නම් මට හිතෙන්නේ ⁣එවන් කතා නිර්මාණය වන්නේ ඉල්ලුමට සැපයුම වශයෙන් කියලා. සරලව කිව්වොත් ටාගට් කරන මාකට් එකට සරිලන දේ දීම. එ් මාකට් එකට නිර්මාණ කිරීමේදි බොහෝවිට නම් වෙනස් වූ එකම විදිහෙ හරසුන් ආදරකතා බිහිවෙන්න පුළුවන්.
නමුත් ලංකාවෙ බිහිවන සෑම නවකතාවකටම ඔය මතය ඈදන්න පුළුවන් ද කියන ප්‍රශ්ණය මට තියනවා. ඔය රාමුවෙන් පිට නවකතාත් අතලොස්සක් හෝ බිහිවෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. ඒ වාගෙම ආදරය කියන්නෙ අපේ සමාජයෙන් ඈත්වෙලා යන මාතෘකාවක්. කොටින්ම කිව්වොත් අපි ආදරය ගැන පිටු පිරෙන්න ලියන ආදරය කරන්න නොදන්න මිනිස්සු.

80 දශකයේ රුසියානු සාහිත්‍යෙය් නැඹුරුවක් සමග ලංකාවේ නව කතාව යථාර්තවාදී රීතිය එකතු වූවා එහෙත් ඉන් මෙපිට දශකයන්හි එවැනි සාර්ථකත්වයෙන් යුතු නව කතා දක්නට ලැබෙන්නේ නෑ .. ඇයි ඒ ?.

ඇත්තම කිව්වොත් අපි තාමත් කතා කරන්නේ 80 දශකයේ නව කතා ගැන. ඒ අවදියේ ලේඛකයො ගැන. අලුත් පොතක් ආවත් ඒ පිළිබඳ කතා බහක් ඇති වුණත් එය බොහෝම කෙටි කාලයකට සීමා වෙනවා. ඉන් එහාට ඒ කතා ගැන කතා කරන්න දෙයක් නෑ වගේ අතෑරලා දානවා. හිටිගමන් උඩට එනවා ආයෙමත් යට යනවා හරියට රබර් බෝලයක් වගේ. නිකමට හිතන්න අපි තාමත් පාසල් විශය නිර්දේශයට ඇතුලත් කරන්නේ මොන ව⁣ගේ නිර්මාණද? ඇයි ඒ . ඒවා අලුත් විය යුතු නැද්ද? අලුත් ලේඛකයන්ගේ නිර්මාණ පිළිබඳ පාසල් දරුවන් දැනුවත් විය යුතු නැද්ද? මම අලුත් කියලා අදහස් කළේ නවකයින් නෙවෙයි උසස් නිර්මාණ කළ අය . සාහිත්‍යයේ පුනරුදයක් ගැන කතා කරන අපි තාම කතා කරන්නේ පැරණි නිර්මාණ ගැන. ඒකත් හරියට හැබිලිය හැට්ටෙ අස්සෙ හංගගෙන අපි පොෂ් කිව්ව වගේ තමයි.

කෙසේ වෙතත් අපි හැමෝටම රුචිකත්වයක් තිබෙනවා. එය පුද්ගලානුබද්ධ දෙයක්. අපේ රුචියට අනුව ඕනෑම නිර්මාණයක් වර්ග කරනවා. රුසියානු සාහිත්‍ය තරමට අපේ සාහිත්‍ය ඉහළ නංවන්න බැරි කමක් නැහැ පුළුවන් අපි ඒ තැනට උත්සහ කළ යුතුයි. අපි එකතැන පල් වෙන්න හේතුව ඉල්ලුමට සැපයුම දීම වෙන්නත් පුළුවන්. මොකද අපි යථාර්ථයට වඩා ෆැන්ටසිය⁣ෙ කැමතියි . බොහෝවිට අපි රසවිදින්නේ සම්මාන උළෙලකට නිර්දේශිත හෝ සම්මාන ලැබුණ නිර්මාණ නමුත් ඒ කිසිවක් නියෝජනය නොකළ නිර්මාණයක ඔය ලක්ෂණ තිබෙන්නට පුළුවන්.

ඔබගේ කෙටි කතාවේ නාමකරණය දුටු පමණින් වෙනස් ස්වරූපයක් දරණවා. මල් කතාවෙන් වෙනස් මඟක් ගැනීමේ උත්සාහයක් මේ තුළ තිබෙනවාද ?

මගේ කෙටිකතාව වෙනස් විදියට ඉදිරිපත් කරන්න සහ අකෘතියට පිටින් යන්නත් පුංචි උත්සහයක් දරලා තියනවා. ඒක මොන තරම් දුරට සාර්ථක ද කියන එක කියන්න පුළුවන් පාඨකයාට පමණයි. ආදරය කියන මාතෘකාවත් ඒ කතා අතර නැත්තෙම නෑ නමුත් ඒ හැම තැනකම සමාජය ගැන කතා බහ කරන්න මම උත්සහ කරලා තියනවා. පෞද්ගලිකව මම විස්වාස කරනවා ආදරය සමාජගත කළ යුතුව තිබෙනවා කියන එක ඒක මල්කතා යැයි හදුන්වන ආකාරයට නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් අයුරින් ඉදිරිපත් විය යුතුයි. මොකද ආදරයත් ස්මාර්ට් ෆෝන් එකට උගස් තියලා සින්න වෙච්ච කාලයක අපි ජීවත් වෙන්නේ. කොහොම වූණත් එහි සාර්ථක අසාර්ථක බව කියන්න පුළුවන් මට නෙවෙයි පාඨකයාට පමණයි.

සිංහල සාහිත්‍යෙය් ත්‍රෛකාලික කියවීම් උදෙසා වන නව කතාවන් දක්නට ලැබෙන්නේ නෑ.. හුදෙක් ඒවා වර්තමානික සමාජය කියවන්නක් විනා අනාගතයේ පරිකල්පනීයත්වයක හිද හෝ කියවීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙනවා ,

ඔව් මම පිළිගන්නවා. අද අපි කියවන බොහෝ නවකතා ඒ ලෙසයි. මමත් බොහෝම ආධුනික ලියන්නියක්. මට වුණත් එතරම් සාර්ථක උත්සහයක් ගන්න තවම බැහැ. ඒත් උත්සහ කරන්න පුළුවන්. උත්සහයකින් තොරව කිසිවක් සිද්ධ වෙන්නෙ නෑනේ. ඇතැම් විට මේ හේතුව නිසාමද මන්දා අද බොහෝ පාඨකයින් පරිවර්ථන නවකතා රසවිදින්න වැඩි මනාපයක් දක්වනවා. නමුත් මේ වරද කොතැනද? ඇයි අපි තවම ඒ තරම් නොදියුණු. හිතන්න ඕනි කාලයක්. මේකෙන් කියන්නේ අපි ළඟ මිස දුර දකින්නෙ නැහැ කියන එකද?. නිර්මාණ කරුවන් විදියට අපේ පරිකල්පන ශක්තිය මීට වඩා වර්ධනය විය යුතුයි. ඒ තරමටම පාඨක සමාජය නිර්මාණකරුවා දිරිමත් කළ යුතුයි. විචාරකයාට මෙතැනදි තිබෙන වගකීම බොහොමත් වැඩියි කියලයි මම හිතන්නේ.

නවකයින්ට බොහෝ විට වෙන දෙයක් තමයි මොනාද මේ ලියන්නෙ මේව මල්කතා මේව නවකතාද ? කියලා පස්සට තල්ලු කරන එක. නමුත් විය යුත්තේ ඔවුන්ට මග පෙන්වන එක. කෙසේ නමුත් මෙයට හේතුව මේකයි කියලා කියන්න තරම් මගේ දැණුම පෝසත් මදි.

ඔබ කෙටිකතාවට, නව කතාවට මෙන්ම දක්ෂ කිවිදියක්. සමාජ ප්‍රගතීන් උදෙසා මේ සාහිත්‍ය ත්‍රිත්වයේ දායකත්වය කවරාකර විය යුතු යැයි ඔබ සිතන්නේද ?

බොහෝවිට මම දකින දෙයක් තමයි යථාර්ථය කියන්න කියලා කියන එක. කුණුගොඩ දිහා බලාගෙන අපි කියනවා මෙතැන කුණු ඒ නිසා ගදයි කියලා. ඇහැට කඳුළක් එනවා ඒක පිහදාලා දැම්මට පස්සෙ ඒ හැඟීම ඉවරයි. අපි පාඨකයා තුවාල කරනවා. සියුම් රිදුමක් පපුවට දෙනවා. ඒ තමයි නිර්මාණයක සාර්ථකත්වය. නමුත් ඇත්තටම ඒ නිර්මාණයක සාර්ථකත්වයම ද ? අපි පාඨක මනස වෙනස් කළ යුතු නැද්ද? පාඨකයාට නැවත නැවත සිතන්න යමක් දිය යුතුයි කියලයි මම හිතන්නේ. ඕනෑම නිර්මාණයකින් එය කළ හැකියි. දැන් ඔබට අසන්න පුළුවන් ඔයාගෙ නිර්මාණවලින් එහෙම වෙනවද කියලා. මම උත්සහ කරනවා. සාර්ථකද නැද්ද කියන එක බලන්න පාඨකයාට භාර කරනවා.

අපි ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ තියාගන ජීවිතය ගෙවනවා. නිර්මාණයකට පුළුවන්නම් එහෙම වෙලාවක හිතට සහනයක් විවේකයක් දෙන්න. ඒකත් සමාජ මෙහෙවරක් විදියටයි මම දකින්නේ.

වර්තමානයේ වැඩි වශයෙන් නවකතා පොත් එළි දැක්වීම් වෙනුවට කවි පොත් තොග පිටින් එළිදැක්වෙනවා.. මෙයින් අර්ථවත් වන යම්ක් තිබෙනවාද ?

මමත් සයිබරයෙන් පටන් ගත්තු කෙනෙක් ඒ වුණත් මේක කියන්නම ඕන සයිබරය කියන්නේ අදහස් ප්‍රකාශ කරන්න පුංචි පුංචි නිර්මාණ බිහිවෙන්න හොඳ තෝතැන්නක්. මුහුණු පොත හරහා බොහෝම කවි කිවිඳියන් පිරිසක් බිහිවෙනවා. ඒක නරක දෙයක් විදියට මම දකින්නෑ ඒක හොඳ දෙයක්. නවකතාවක් කෙටිකතාවක් ලියන්න ගතවන කාලයට සාපේක්ෂව අඩු කාලයකින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යක් විදියට මුහුණු පොතේ කවිය භාවිතා වෙනවා. ඒ නිසාම තොග පිටින් කවි පොත් බිහිවෙනවා. මමත් ලිව්වෙ එහෙම එතනින් එහාට හිතන්න පුරුදු වුණේ කියවීමෙන් සහ මග පෙන්වීමෙන් අඩුපාඩු වැරදි කියන විට ඇහුන්කන් දීමෙන් එය තේරුම් ගැනීමට උත්සහ දැරීමෙන් සහ සතත අභ්‍යාසයෙන්. මෙයින් කවියට වෙන සෙතක් නම් ඇති කියලා මම හිතන්නෑ. යාන්ත්‍රික මිනිස්සු නොවී යමක් සුන්දරව හිතන්න උත්සහ කරන කො⁣ටසක් බිහි වීම සුබ වාදීව දකිනවා. ඒ වුණත් කවිය පොතකට ගන්නවාට වඩා වැඩි යමක් දෙන්න පුළුවන් මාධ්‍යක් විත්තිය කවි කිවිඳියන් විසින්ම තේරුම් ගත යුත්තක්. නැතිනම් වෙන්නෙ කවිය ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් පහළට වැටීම.

ඉක්මන් කියවීම් හා ඉක්මන් අදහස් දැක්වීම් තුළ සිටින පාඨකයා පිනවීම සාහිත්‍යකරුවාගේ වගකීම ද ?

නැහැ. මෙය ඔබ අසන්නට ඇත්තේ මුහුණු පොත තුළ සිදුකෙරෙන නිර්මාණ මූලික කරගෙන වෙන්න ඕනි. ඉක්මන් කියවීම සහ ඉක්මන් අදහස් දැක්වීමට ඔවුන් ප්‍රිය වෙනවා. ඒ නිසා එක පාළුකයා පිනවන්න එක දිගට ලියනවා. එය නිර්මාණ කරුවෙකුගේ වගකීම නෙවෙයි.

 සර්පයා හා මුහුද පොතට පාදක වන ප්‍රශ්තුතය කුමක්ද ?

එය කෙටි කතා පොතක්. විවිධ විෂයන් මාතෘකා කරගත් කෙටි කතා දහයකින් එය සමන්විත වෙනවා. සමාජයේ යම් යම් තැන් ප්‍රශ්ණ කිරීමට සහ කතා බහ කිරීමට ඒ කතා නිර්මාණය කර තිබෙනවා.

ඔබගේ ඉදිරි සාහිත්‍ය හා කලා වැඩකටයුතු පිළිබද පැවසුවොත්.

මගේ අම්මා ගේ ජීවිත කතාව ලියන එක මගේ කලා ජීවිතයේ එක් කඩඉම් අවස්ථාවක් ලෙස සිතා සිටිනවා. නමුත් තවම මම එයට සූදානම් නැහැ. මේ වනවිට මා ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය අම්මා පමණයි.

 

සංවාද සටහන – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *