ඔබ මට කුමුදෙක්මැයි – මේනුකා දම්සරණී

ඔබ මට කුමුදෙක්මැයි
ළා සඳේ රෑ පිපී ආ
ඔබ මට ගඟුලෙක්මැයි
සාපිපාසා නිවා ආ….

සඳ පහන් රැයකට කුමුදක් මොකට ද? කොඳ මල් පිපෙන්නේ සඳ එළියෙ විතරක්ම නම්…. ඒත්, ජීවිතේ සඳ එළිය ගලන සුන්දර ම සිහිලැල් ම මොහොතක පවා මගේ හදපුරා නැගෙන හසරැල්ලට ඔබ තවත් හසරැල්ලක් ම මවනවා නම්….. සඳ පහන් රැයක සොඳුරු සිහිලස වඩන කුමුදක තරම්මයි නුඹ මට……

ජීවිතය කතරක් ම නොවුණත්, මල්ගොමු හරිත දනව් අතරත් මොනතරම් වෙහෙසක් හිතකට දැනෙන්න පුලුවන් ද? හුදෙකලා ගමනක් නම්, ඒ ජීවිතය. එහෙම ගමනක නිමාවක් වගේමයි නුඹ. හුදෙකලාවේ වේදනාබර විඩාබර සාපවස නිවාලන්නට දිය පොදක් තරම් පෙමක් ප්‍රාර්ථනා කළ මගක, රැලිසරලි නංවන ගඟක්මැයි නුඹ…. මට……

ඔබ මට පහනෙක්මැයි
මාසෙ පෝදා දිළී ආ
ඔබ මට පවනෙක්මැයි
ගිම් සමේහී හමා ආ….

තරුවක අගය, හඳත් නැති අහසකට. හඳ එළිය පොළවට නොවැටෙන කලුවර රෑක, තරු සියක්දහසක් තිබුණත් මට කොහෙද එළිය. මුළු පොළව පුරා ගලන හඳ එළිය නැතත් මගේ කුටියට එළිය දෙන උණුහුම් පහන්සිළුවක් වුණොත් නුඹ…. ඒ ඇති මට. හොඳටම.

හිත වෙහෙස කරවන දැවෙන රිදෙන මොහොතක ඒ හිත නිවන්නට සුසුමක පහස අවැසි ම මොහොතක මදපවනක ඔබ ළඟ දැවටෙනකොට….. ජීවිතේ ඒ තරම් සිසිලක් තව කවුරු නම් විඳින්න ද… මං ම හැර…. ලෝකයේ නොමිනිසුන් මැද මුළුගැන්වෙන හිත ඔබේ සිහිලැල් සුසුමක ප්‍රේමයෙන් උණුසුම් කරන්නට හැකිනම්, මම මම ම වෙන්නම්… ඔබ ළඟ….

ඔබ මට පැණැසෙක්මැයි
මා දෙසේ දොස් දකින්ටා
ඔබ මට අවියෙක්මැයි
ඒ දොසේ මුල් සිඳින්ටා….

ජීවිතේ හිස්තැන් බෝමැයි. සමහර හිඩැස් සදාකාලිකයැයි හිතෙන තරමට ගැඹුරුයි. කිසිම දවසක නොපිරෙතියි හිතෙන තරමට දුලබයි. හරියට ම ඔබෙන් හැර ඔබෙන් ම මිස නොපිරෙන මගේ ජීවිතය වගේ. ඔබේ ප්‍රේමයේ අඩුවැඩිකම් මට කැඩපතක් වගේ. මගේ පිරුණු නොපිරුණු තැන් පැහැදිලිව පෙන්වන.

ඒ හිස්තැන් වසාගෙන මගෙ සිහිනවලට එරෙහි ලෝකයට එදිරිව නැගී ඉන්නට සටන් කරන්නට…. මගේ සිහින දිනන්නට…. ඔබේ ප්‍රේමය තරම් අවියක්…… තව කොහි ද…..

ඔබ මට බුදදස්මැයි
රෝග පීඩා සොයන්ටා
ඔබ මට ඔසුවෙක්මැයි
රෝ නිධානේ තබන්ටා….

තැවෙන දැවෙන ඇවිළෙන ජීවිතය ඔත්පලම වුණ විටක ඔබේ ප්‍රේමයේ උවටැන අවැසිමයි මගෙ හිතට…. ඒ ශෝකී නිද්‍රාවෙන් යළි අවදි වන්නට. නව පණක් ලැබූවෙකු ලෙස.

හිමි අහිමිකම් අතර දිනුම පැරදුම අතර කිත් යසස් නින්දා පැසසුම් ඇති නැතිකම් මැද දහස් වරක් ඇද වැටෙන්නට නොව එක්වරක් ඇද වැටී ඔබේ ප්‍රේමයේ කමටහන් ලැබ මග ඵල ලබන්නට…. ප්‍රේමයේ නිර්වාණය පසක් කරන්නට…. නොරිදී නොවැටී සිටින්නට නොව… රිදෙන වැටෙන හදවතින් සිහිනය දිනන්නට….. ඔබ මට මහෞෂධයක්මැයි….. ඔත්පල සිත, සුවපත් කරන…..

(ඔබ මට කුමුදක්මැයි – ආචාර්ය නන්දා මාලිනී – පවන)

මේනුකා දම්සරී
2018.12.27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *