මායිම් කැකුළු මල් වල ගීතය – 04 දේවිකා ප්‍රියදර්ශනී

මුළු උතුරම යුධ ගිනිවලින් ඇලලී ගිය , මනුෂ්‍යත්වය මිහිදන් කළ, ප්‍රේමය දයාව ඉවතලූ සිංහල ද්‍රවිඩ මිනිසුන් විරසක කළ, සාපලත් යුගයක අපි ජිවත් වුණෙමු.එමෙන්ම උතුරේ තල් වැට මායිම්වල පිපෙන්නටත් කලියෙන් මල් කැකුළු මිලිනව ගිය, පිපුණු මල් පවා අකලට පරව ගිය අමිහිරි යුගයක් අපි පසුකර ආවෙමු. ආගම් ජාති, භාෂා, කුල යන පටු සීමාවන්ගෙන් විභේදනය වුවත්, අප සැවොම එකම භූමියක හුස්ම ගන්නා මනුෂ්‍යයෝය. අවුරුදු තිහක පමණ කාලයක් ජනවාර්ගික අර්බුදය නිසා ඇතිවු යුද්ධය හේතුවෙන් මෙරට ඇතිවූ සමාජ ඛේදවාචකය සුළු පටු නොවේ.උතුරේ ආයුධ සන්නද්ධ සිංහල දෙමළ කණ්ඩායම් විසින් ගෙනගිය මනුෂ්‍යත්වය ඉවතලූ ඒ මිලේච්ඡ යුද්ධය නිසා ඇතිවූ අඳුරු සෙවනැලි තවමත් අප සමාජය වසා පැතිර පවති. ඒ බිහිසුණු යුද්ධයේ එක් පැතිකඩක් විවරණය කළ අපූර්වතම ගීතයක් ලෙස මහින්ද චන්ද්‍රසේකරයන් අතින් පබැඳුණු “මාතොටින් එන උතුරු සුළගේ” යන මේ ගීතය හදුන්වා දිය හැකිය.

මාතොටින් එන උතුරු සුළගේ
ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුළු හංගන 
සරෝජා මගෙ දෝණියේ…
වෙඩි හඩට පොඩි අකුරු ඇද වෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ 
ඒත් අපි එක පන්තියේ….

කර වටේ අත දමා හිනැහුණ
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත්
අත වනනතුරු කඳවුරු දොරෙන්
කාටවත් නැති දූවේ කවුරුන්..
නුඹ රකිවිද සෙනහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින් 
මායිමේ වැට අඬ ගසයි 
අවි දරා රකිනා ලෙසින්
දමා ගොඳුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවා ගන්නට 
දූවේ ඩිංගක් හිනැහියන් “

පද රචනය – මහින්ද චන්ද්‍රසේකර
සංගීතය – රෝහණ වීරසිංහ 
ගායනය -විශාරද දීපිකා ප්‍රියදර්ශනී

මා අසා ඇති පරිදි ගුරු පත්වීමක් ලබා උතුරුකරයට යන මහින්ද චන්ද්‍රසේකරයන් තමන් සියැසින් දැක අත්විදි දුක්මුසු අනුභූතියක් ඇසුරින් මේ ගීතය ලියා ඇත. රුදුරු වෙඩි හඩට බියේ මුළුගැන්වෙමින් ජිවිතය යැදපු මේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ අහිංසක දරුවන් ගෙවපු ඒ කටුක අතීතය සිහියට නැගෙද්දි අදටත් අප හදවත් නොතිත් වේදනාවකින් වෙලී යයි.

” මාතොටින් එන උතුරු සුළගේ
ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කදුළු හංගන 
සරෝජා මගෙ දෝණියේ…
වෙඩි හඩට පොඩි අකුරු ඇද වෙයි
මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ 
ඒත් අපි එක පන්තියේ….

මා විශ්වාස කරනුයේ යුද්ධය නිසා අපිට උරුම වු දෙයට වඩා අහිමි වූ දේ අපමණය . ඒ අඳුරු මතකයන්ගෙන් බියවී තවමත් තිගැස්සෙන උතුරුකරයේ අහිංසක ජනතාවගේ ජීවිත අදටත් අස්ථාවරය.අනාරක්ෂිතය. මනුෂ්‍ය ජිවිත කොපමණනම් ප්‍රමාණයක් එහි ගොදුරක් බවට පත් වූයේද ? එය හුදු මනුෂ්‍යත්වය සහමුලින්ම මරා දැමූ ආයුධ සන්නද්ධ අරගලයක් පමණක්ම විය. මායිම් ගම්මානයකට පත් වීමක් ලැබ ගුරු සේවයට යන මහින්ද චන්ද්‍රසේකරයන් පුද්ගලානුබද්ධ අත්දැකිමක් මුවාවෙන් ඒ අමිහිරි යුද්ධයේ එක් කටුක පැතිකඩක් විවරණය කරන අන්දම විශිෂ්ටය.
දෑස් අඟ කදුළු බිඳු සගවාගෙන වෙඩි හඩින් සලිත වෙමින් ජිවිතය අයදින පුංචි පැටවුන් කොපමණ ප්‍රමාණයක් මේ අමානුෂීය යුද්ධයෙන් බැට කන්නට ඇත්ද..? උතුරුකරයේ අහිංසක දරුවන්ට අකුරු කරන්නට යන ගුරුවරු වුව එහි රැඳෙන්නෙ නැත. ජීවිත ආරක්ෂාව පතා ඔවුන් රැකියාව අත්හරී. නැතිනම් යුද ගිනි නොපෙනෙන පළාතකට මාරු වී යයි. මහින්ද චන්ද්‍රසේකරයන් ද මේ ගීතය ලියුවෙ ඒ මායිම් ගම් අතැර ආ පසුව යැයි මා අසා තිබේ. කදුළු බිඳු සගවාගෙන වෙඩිහඩට බියෙන් ජිවිතයට පණ පොවන ඒ දරුවන්ගේ අනුවේදනීය ජිවිත චන්ද්‍රසේකරයන්ගෙ හිතට නිතර වද දෙන්නට ඇත. ඔහු වාච්‍යාර්ථයෙන් පවසන දේට වඩා වැඩි යමක් ව්‍යංගයෙන් අපිට කියන්න උත්සාහ ගෙන ඇත.
” ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පන්තියේ ..”
යන පදවල වාච්‍යාර්ථය ඉක්මවා යන යටිපෙළ අරුතක් ගැබ් වී ඇත. ගුරුතුමිය හා සිසුවිය භූමිකා දෙකකින් එකම පන්තියේ අකුරු කරන වග මෙහි වාච්‍යාර්ථයයි. නමුත් වක්‍රව එතුමන් අපිට අවධාරණය කරනුයේ, මේ අමානුෂීය යුද්ධයෙන් කවදත් බැට කෑවේ සිංහල හෝ ද්‍රවිඩ වේවා පහළ පන්තියේ අහිංසක ජනතාව බවය. මේ භීෂණ සැලසුම් කරන කිසිදු පාලක පැළැන්තියක මිනිසුන් යුධ බිමට බැස අවි දරා සටන් වැදුනේ නැත.ඔවුන් ලොකු ලොකු මන්දිරවලට වී සැප විදිද්දී හය හතර නොදන්නා පහළ පන්තියේ අහිංසක මල් කැකුළු මේ අමානුෂීය අරගලයේ ගොඳුරු බවට පත්විය .

යුධ ගිනී ඇවිලී ගිය උතුරුකරයේ මිනිසුන්ගේ වේදනාව ඒ මිනිසුන් තරම්ම අත් නොවිඳියද දකුණේ අපටද ඒ යුද්ධය ගැන ඇත්තේ අනන්ත කළකිරිමකී . පුංචිම පුංචි දරුවන්ට සිය මාපියන් අහිමි විය.සමහර දරුවන් යුධ බිම්වල සටන් කිරීමට පැහැරගෙන ගියේය.ඒ අහිංසක දරුවන් එතරම් දරුණු දඩුවම් ලැබිමට කළ වරද කුමක්දැයි මටනම් නොතේරේ.එවන් මල් වැනි දරුවන් බිල්ලට දී මොවුන් සොයන්නෙ කවර ආකාරයේ සැනසීමක්දැයි යන්න ගැටලුවකි.

” කර වටේ අත දමා හිනැහුණ
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත්
අත වනනතුරු කඳවුරු දොරෙන්
කාටවත් නැති දූවේ කවුරුන්..
නුඹ රකිවිද සෙනහසින් “

ගේය පද රචකයා එක් දියණියකගේ කතාවක් ලෙසින් පබඳින මේ ගීතය එකල යුද්ධයෙන් අනාථ වූ සමස්තයක් වු අසරණ දරු පැටවුන්ගේ ශෝකාලාපය ගෙනහැර පායි. ළගින් හිටි හිතමිතුරන් නෑයන් ජිවිත ආරක්ෂාව පතා මායිම් ගම් අතැර පළා ගොස් ඇත්තේ මේ ලෝකය දයාවක් අනුකම්පාවක් නැති, මනුෂ්‍යත්වය ක්ෂයව ගිය ලෝකයක් බව සපථ කරමිණි.

උතුරුකරයේ දරුවන්ගේ ජිවිතයේ මේ කටුක යතාර්ථය සිය නිර්මාණශීලිත්වය හරහා ඉදිරිපත් කරන ගීපද රචකයා උතුරේ සරෝජලාගේ ජිවිත ඉරණම විසඳෙන අන්දම ගීයට නඟා ඇති අන්දම ඉතාමත්ම සංවේදීය.

” මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින් 
මායිමේ වැට අඬ ගසයි 
අවි දරා රකිනා ලෙසින්
දමා ගොඳුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවා ගන්නට 
දූවේ ඩිංගක් හිනැහියන් “

මේ බිහිසුණු යුධ ගිනි අතරින් ගැහෙන හදවත් දරාගෙන , ජීවිතය යනු කුමක්දැයි කියාවත් නොදන්නා මේ අහිංසක පුංචි දරු පැටවුන්ගෙ ජිවිතයේ ඉරණම ලියවී ඇති අන්දම අනුවේදනීයය. ඔවුන්ට ඇත්තේ විසඳුම් දෙකකි .ඒ දෙකම අභාග්‍යයේ සංකේතයන්ය . එකක්නම් ත්‍රස්තවාදීන්ගේ අමානුෂීය අරගලය තුළ අවි දරා යුධ බිමට ප්‍රවේශ වීමය.අනිකනම් දකුණේ ප්‍රභූ මන්දිරවල මෙහෙකාර සේවයට යාමය. මේ කවර විකල්පය වුව මේ පුංචි වුන්ට ගෙනෙන්නේ අමිහිරි අත්දැකීම්ය . මෙලෙසින් පාලක පැළැන්තියේ පටු මනෝරාජික සිහින වෙනුවෙන් පහළ පන්තියේ මේ පුංචි මල් කැකුළු ගොදුරු බවට පත්වීම කෙතරම්නම් හදවත කම්පා කරවන කාරණයක් වන්නේද.

විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය විසින් ගයන , සංගීතවේදී රෝහණ වීරසිංහයන් නාදරටා මුසු කළ මහින්ද චන්ද්‍රසේකරයන්ගේ නිර්මාණශීලී හැගිම් තුළින් උපන් මේ ගීතය ඒ බිහිසුණු යුධ සමයේදී පමණක් නොව, අප සවන්පත් වැටෙන කවර කලක වුව අපගේ හදවත් සානුකම්පාවෙන් සසල කරනු ඇත. මහින්ද චන්ද්‍රසේකරයන් යනු යුද්ධය හා සබැඳි මෙවන් අනුවේදනීය ගීත නිර්මාණ කීපයක්ම කළ මානවහිතවාදී ගේය පද රචකයකි. ” උතුරින් එන දුම්රිය , මරතෝණ්ඩි රටා අදී, තෙන්නමරන් කළපුව් ළග ” යනු, මා මතකයේ රැදුණු එතුමාගේ එවන් විශිෂ්ට ගීපද නිර්මාණ කීපයකි. විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ඉතාමත්ම සුසංවේදි හඩකින් ගීතය ගායනා කරන අතරම රෝහණ වීරසිංහයන් ඉතාම සංවේදී සංගීත සංයෝජනයක් හරහා මහින්ද චන්ද්‍රසේකරයන් ගේ මේ ගීතයේ අර්ථයන් හා රසයන් උද්දීපනය කරයි.

සිංහල සුභාවිත ගීත වංශයෙහි සිංහල ද්‍රවිඩ ජනවාර්ගික යුද්ධයේ අමිහිරි තැන් ස්පර්ශ කරමින් විරචිත ඉතාම විශිෂ්ට ගීතයක් ලෙස මේ ගීතය රසික හදවත් වැළඳගනු ඇත. උතුරේ මායිම් බිම්වල පිපුණද දකුණේ සරුබිම්වල පිපුණද ඒ කොයි මල්වුවත් සුවඳමය .ලස්සනය.ඉදින් එකම භූමියක් තුළ උතුර දකුණ ලෙස විභේදනය වී මනුෂ්‍යත්වය ඉවතලා සටන් වදිනුයේ කුමක් දිනා ගැනීම අරඹයාද ? සෙනෙහස , ආදරය , දයාව අනුකම්පාව රජයන භූමියක හිද දෑත් දෙපය වෙහෙසවා දාදිය බිඳු වගුරුවා එකාවන්ව සංහිදියාවෙන් කටයුතු කළහොත් සරෝජලා වැනි පුංචි මල් කැකුළු උතුරේ දකුණේ යන කවර තැනක වුව පිපී හිනැහී මෙරට සුවදවත් කරනු ඇත.

දේවිකා ප්‍රියදර්ශනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *