ජීවිතේට ආදරෙන් 04 – සමන්ති තලගලගේ

හුඟක් දේ ජීවිතේ මග ඇරිල යන්න ඇති
හුඟක් දේ ජීවිතේ
සුසුම් ගිල ගන්න ඇති
ආදරය උණුසුමට
හිත කීරි ගැසුන හැටි
නොදැනීම දින ගනන්
ජීවිතය යන්න ඇති..

ජීවිතය,
නැවත නැවත අලුත් වෙවී ලියන්න, කියන්න අනන්ත අප්‍රමාණ සිතුවිලි ගොන්නක්, දුක, සැප, සතුට ගොන්නකට එකට එකතු කරාම ඒක ජීවිතේ වෙනව.

හිමිවීම්, අහිමිවීම්, විඳවීම්, විඳීම්, දරාගැනීම්, හැරයාම් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක එකතුවක් මේක.

අපි කැමති උනත් අකමැති උනත් ජීවිතේ යනවා. නතරවෙලා නතර කරන් බලන් ඉන්න බෑ. අපි නතර උනත් ජීවිතේ යනවා. අපිට පුලුවන් ඒ ජීවිතෙත් එක්ක යන්න. නැත්නම් ඒ ජීවිතේට යන්න දීල බලන් ඉන්න. යන ජීවිතෙත් එක්ක ගියොත් ජීවිතේ දිනන්න හරි පරදින්න හරි පුලුවන් අපේ උත්සාහය සහ කැපවීම මත. ඒත් අතරමග නතරවෙලා බලන් හිටියොත් ජීවිතේ යන්න යාවි. කාලෙත් එක්ක වයසත් එක්ක නොදැනීම අපි දුබල වෙලා අවලංගු කාසියක් වෙනකම් අපිට නොදැනේවි අපි කල් ඉකුත් වූවන් බව. ඉතිං උත්සාහ කරමුද ? නතර වී ජීවිතය දිනන්නට තරඟ කරන්නට.

අපි ජීවිතේ සුන්දරයි කියල හිතල දෝතින් බදාගත්තු හැමදේම සුන්දරයිද ? අපි සැපයි කියල හිතපු හැමදේම සැපයක්ද? අපි රසයි කියල හිතල රස විඳපු හැමදේම සැබවින්ම රසවත්ද ? නෑ. ජීවිතේ කොතැනකින්වත් අපි හිතන තරම් සතුට, සැප, රසය ලැබෙන්නෙ නෑ. අපි යම් දෙයකට ආශා කරන තරමටම අපි ඒ දේට බැඳෙනව. අපි ඒක සැපය යයි සිතනවා. එහෙත් බොහෝවිට එය අයිති කරගත් පසු සැබවින්ම දුකක් පමණක්ම බව ජීවිතය අපිට පසක් කරනවා. එවිට අපි තවත් දේවලට බැඳෙනවා. එකක් හැරුණු කොට තව එකක්. සැබවින්ම එම සැපය හෝ සතුට අපි සතුටක් ලෙස දකින්නේ අප සාර්තකවන තුරු පමණයි. එයයි මිනිස් ස්වභාවය .

අන් සන්තක දේ සැපය යයි සතුට යයි සිතන තාක් කල් අපි අතෘප්තිකර මිනිසුන් වේවි. මිල මුදල් යාන වාහන , ගෙවල් දොරවල්, පමණක්ද? නානා විද ස්ත්‍රීන්, පුරුෂයින් ,ජීවිතේ ඈඳගෙන ජීවිතේ රස සොයන මිනිසුන් සැබවින්ම තෘප්තිමත් ද ?

කොතරම් මුදල් හරි හම්බ කරත් සෑහීමකට පත්වේද ? ආශාවන් තවත් ඔබව පොළඹවාවි. සැපවත් යාන වාහන ගෙවල් දොරවල් තව තවත් රූ සපුවට බැඳුනු ආදර කතාවලට නුඹ තව තවත් බැඳේවි. අවසනක් දැකිය හැකිද ? තෘප්තිමත් වේවිද ? ජීවිතය අවසන වැටහේවි නුඹ අඩපණ වූ පසු නුඹ රෝගී වූ පසු සියල්ලන්ම නුඹ හැරගිය පසු මෙයයැයි ජීවිතය. නමුත් එවිට නුඹ අවලංගු අඩපන හුස්ම වැටෙන ප්‍රාණියෙක් පමණක්ම වී සිටීවි.

හැකිනම් හිතන්න මොහොතක් අපි අප ගැනම විවෘත මනසකින් සැබවින්ම සතුට සැනසීම ඇත්තේ අපි ලඟ මිස අන් අය සන්තකයේ නොවන බව නුඹට වැටහේවි. තම සතුට සැනසීම කිසිදා කිසිවකු සන්තකයේ ඇපයට නොතබන්න. මන්ද එය කිසිදා යලි නුඹට ලඟා නොවන බැවිනි. සතුට තම සිත තුල ඇති සතුටයි. සැනසීම එයින් අපි අත් විඳිනා සංසුන් මනසක අසිරියයි. මොහොතක් නතරවී දකින්න විවෘර්ත දෙනෙතින් සහ මනසකින් ලෝකය දෙස හැකිය නුඹටත් දිනන්නට මේ ජීවිතය. ජීවිතයට ආදරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *