ළමා පරපුරේ හෙට දවස – දමයන්ති ගල්පායගේ

දරුවා තුළ සංවේදී හදවතක් ඇතිවීමට නිසි අයුරින් සාහිත්‍යය ඇසුරේ වැඩිය යුතු ය. ගීතය, කවිය, කතාව දරුවන්ට ලං කළ යුතු ය.
දරුවා තුළ ආදරය ,කරුණාව හරිහැටි ගොඩ නැංවීම සෑම දෙමාපියෙකුගේ ම ගුරුවරයෙකුගේ ම වගකීමයි. එපමණක් නොව
රටෙහි පාලකයන් ,අනෙකුත් සියලු වැඩිහිටියන් මේ ගැන කල්පනාවෙන් හරි පෙළ ගැස්මකින් පෙළ ගැසිය යුතු මොහොත දැන් එළඹ ඇත.

දරුවන් මිනීමරුවන් බවට පත් වන්නේ කෙසේද යන්න මීට වඩා පුළුල් කතිකාවක් කර නිසි වැඩ සටහන් ඇරඹිය යුතු මොහොතයි .

මේ තවත් එක් කතාවක්.”

ඕව නවත්තන්න බෑ, සමාජ ක්‍රමයෙ අවුලක්” කියමින් බෝල පාස් කර ගැනීම විහිළුවක්. මෙය තමන් උදෙසා නොව තම දරු පරපුර උදෙසා එක්සත්ව ක්‍රියා කළ යුතු මොහොතකැයි මම සිතමි.

සියල්ල සිදුවූවාට පසු හේතු සකසමින් සිදුවීම ඉතිහාසයට පැවරා සැනැහිය හැකිද ?

හෙට මීට ගොදුරුවන්නෙ පාරෙ ගමන් කරන වරදකට හසු නොවු අහිංසක දරුවෙක් විය හැකියි. මේ දරුවා කාගේ විය හැකිදැයි අප නොදනිමු .

පවුල් පසුබිම තුළ කලහකාරී පසුබිමක් ඇති දරුවා පාසල තූළ දී නිසි ආදර කරුණාව තුළින් සංවේදී දරුවෙකු කළ හැකි බව අපි දනිමු. නමුදු බොහෝ අවස්ථාවල සිදුවන්නේ එම දරුවන් කබලෙන් ළිපට වැටීමයි. ගුරුවරයා මෙවන් දරුවන් යක් පැටවුන් සේ සලකා පිටුපස පේළියට දමන අයුරු හොදින් දන්නෙමු.එය එසේ නොකරන යහපත් ගුරු මව්පියවරුන් ද නැතුවා නොවේ. ඔවුන් මේ බිමට වාසනාවකි. හොදින් වැඩකරන දරුවාට ආදරයත් ,දුර්වල දරුවා කොන් කිරීමත් තුළින්
එම දරුවන් කුඩා කල සිට හැඩූ කඳුළ කෙමෙන් ද්වේශයට පෙරළා ගැනීම ඉතා දරුණු ව්‍යසනයක ඇරඹුමක් නොවන්නේද….

ඇති නැති පරතරය තුළ කොන් කිරිම් නිසා දරුවන් ලේසියෙන් මුදල් උපයන්නට යෑම තවත් භයානක තත්ත්වයකි.මතද්‍රව්‍යයට දරුවා
ඇබ්බැහි වීම අද සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් ඇරඹී තිබීම අභාග්‍යකි. මේ සියල්ල නොදුටුවා සේ සිටීමේ ප්‍රතිඵලය ඉතා ශෝචනීය
තත්ත්වයකි. දරුවා තුළ දරා ගැනීමේ ශක්තිය වගේ ම අනුන් කෙරෙහි වෛර සිතුවිලි ඇතිවීම වළක්වාලීමට කුඩා දරුවාගෙන් පටන් ගත යුතුය. උගතුන් වුව සංවේදී බවක් නොතිබේ නම් පලක් නැත. එසේම හරයක් නැති රූපවාහිනී වැඩසටහන් දෘරුවාගේ මනස බිද දමනු ඇත.මේ සියල්ල වටහා ගන්නා කාලය වනවිට දරුවා නපුරෙකු වී හමාරය.

මාතර සිදුවූ මෙම සිදුවීම ශෝචනීයයි . ඉන් බොහෝ දෙමාපියන් තම දරුවන් ගැන විශාල බියකට පත්ව ඇති අයුරු හොදින් දනිමු. මෙම කතාවට සම්බන්ධ දියණිය නිසි වයසින් අවබෝධයක් ඇතිව කටයුතු කළේ නම් මෙවන් විපතක් නොවීමට ඉඩ තිබුණා යැයි සිතේ . ඇය ද ලොකු අවබෝධයක් නැති දැරියක් වන්නට ඇත . අද තරුණ දරුවන් තුළ පමණක් නොව කුඩා දරුවන් තුළ වත් ඉවසීම නැති වග පාසල්, පන්ති අසල දී ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය .

මේ සිදුවීම සිදුවූ මාර්ගයේ දී තරුණ දරුවන්ගේ දබර කරගැනීම සති අන්ත දිනවල සිදුවන සුලබ දසුනක් බවට පත්ව ඇත. මේවා ගැන ගුරුවරුන් මැදිහත්ව නතර වූ අවස්ථා ද දැක ඇත්තෙමු .

බොහෝ තරුණ පිරිමි දරුවන් ගුරුවරුන් සමග පවා ගැටෙමින් කටයුතු කරන අයුරු දැක ඇත්තෙමු . කුඩා කාලයේ ම දරුවාට ගුරු ගරුත්වය ,වැඩිහිටියන්ට සැලකීම ,තම සොයුරු සොයුරියන්ට සේ අනෙක් දරුවන්ට කරුණාව දැක්වීම උගැන්විය යුතුයි.

හරයක් නැති කාටූන් තුළින් දරුවා ඈත් කර සිරිත් මල්දම වැනි පොත් කුඩා කල සිට ම අතට දී ඒවා ඔවුන් හා ගායනා කරමින් අරුත පැහැදිලි කර දෙන්නේ නම් ඔවුන්ට යම් සංවේදි බවක් ඇත්වනු නොවනුමානය.

අද ඇති ආර්ථික රටාව නිසා දෙමාපියන් දරුවන්ට යුතුකන් වගකීම් ඉටුකරමින් දැඩි වෙහෙසකර දිවියක් ගෙවීම නිසා දරුවන් දෙමපියන් යම් දුරස් බවක් ඇතිවී තිබීම කනගාටුවට කරුණකි.

දරුවාට දඩුවම අතීතයේ හරි අයුරින් ලැබුණ නිසා හරි වැරැද්ද ගැන දැනුමක් ගැනීම නිසා යහපත් දරුවන් සිටියා විය හැකිය. අද දරුවා ගුරුවරයාට දඩුවම් දීමට දරුණු වූයේ දරුවාට තරවටුව තහනම් වූ නිසාවෙන්දැයි අප සිතා බැලිය යුතුය .

නිසියාකාරව දරුවා පන්තියට යොමු කළ පසු එම දරුවන් හොර පාරෙන් පෙම්වතා සමග නික්මෙනා දියණිවරුන් ද නැතුවා නොවේ. මෙවන් තත්ත්වයක් තුළ දරුවන් රැක ගැනීම සඳහා මව් පියවරුන් ,ගුරුවරුන් මීට වඩා කල්පනා කාරි විය යුතු කාලයක් එළඹ ඇත.

දරුවා විසින් ම රැකෙන්නටත් කල්පනාකාරීව තම අධ්‍යාපනය නිම කර ගැනීමටත් හැකියාවක් තිබීම ඉතා අවැසි කාලයකි දරුවාගේ පවුල් පසුබිම…පාසල තුළ හැසිරීම මිතුරන් අතරේ හැසිරීම , තරුණ වියේ ඇතිවන ප්‍රේමයන්හි සැබෑව ඔවුනට ම අවබෝධ කරගන්නා දැනෙන ක්‍රමවත් වැඩ පිළිවෙළක් සැකසීම අප යුතුකම ය. මෙය මට අදාළ නැතැයි නොසිතා කටයුතු කළ යුතු මොහොතකි.

එසේ නම් මේ එක් සිදුවීමකැයි නොසිතා යළි මෙවන් අවාසනාවන්ත සිදුවීම් නොවන්නට එක්සත්ව දරුවා වෙනුවෙන් අවදි විය යුතුය. පොතපත ඇසුරේ දරුවා සාහිත්‍යය තුළ පෝෂණය කරමු. ආදරය කරුණාව දෙමින් දරුවන්ගේ ලෝකය් අතීතයේ තිබූ යහපතටත් තත්ත්වයටත් වඩා උසස් සොදුරු, බුද්ධිමත් ,සංවේදී ඉසවුවක් කරා ගෙනයමු. ආගමික කරුණු දරුවා තුළ ඇතිකර, යහපත් පොතපත අත තබමු. එමෙන්ම වියත් දෙසුම් වලට දරුවාට ළංකරමු .

කසිකබල් ගීත නොව සුභාවිත ගීතය දරුවාට ළං කරමින් රසවින්දනාත්මක පරපුරක් ගොඩනගමු. වචනයෙන් නොව අප ක්‍රියාවෙන් එය ඉටුකරමු. ඔබේත් මගේත් දරුවා වෙනුවෙන් හිස්තැනක් නොතබමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *