ටීටර් ……. අපේ මල්ලී මැරුණා … !! (02) – පාඨශාලාචාරිනී නිරෝෂා සුමුදුනී ලියයි

මම හතරෙ පන්තිය ට බුද්ධධර්මය උගන්නන්න ගියා.. අලුත් අවුරුද්දේ හතර පන්තිය ට ගිය මුල්ම දවස ඒ… තුනේ ඉඳන් හතරට පාස් උන පොඩි පොඩි සමනල් පැටව් පියාපත් විහිදගෙන , ලෝකය කුමක්දැයි තේරුම් ගන්නට තතනන ඔවුන්ගේ අහිංසක ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටියා. එයාලට මමත් , මම එයාලටත් අලුත්.

ඉස්සෙල්ලාම නම් ගම් කතා කලාට පස්සෙ බුද්ධධර්මය පොත් අරන් අපි වැඩ පටන් ගත්තා . පොත පටන් ගන්නෙ බෞද්ධ කොඩිය ගැන පාඩමෙන්. බෞද්ධ කොඩියෙ පාට විස්තර කරලා, ඒක පාවිච්චි කරන අවස්ථා ගැනත් මම එයාලා එක්ක කතා කරා. හැමෝම එකිනෙකා පරයමින් උත්තර දෙනවා…

හරි දැන් එහෙනම් අපි බෞද්ධ කොඩිය පොතේ අඳිමු. මම සුදු පාට බෝඩ් එකේ බෞද්ධ කොඩියක් ඇලෙව්වා. හැමෝම ඒ දිහා බලාගෙන කොඩිය අඳින්න පටන් ගත්තා . පංතිය වටේ රවුමක් දෙකක් ගිය මම මේසය ලඟට ඇවිත් මගේ පුටුවේ ඉඳගත්තා. අලුත් අවුරුද්ද නිසා මට වැඩ වැඩියි. මගේ අදහස උනේ පොඩ්ඩො ටික කොඩිය අඳිනකල් මගේ වැඩක් කරගන්න. ඔන්න මම වැඩේ පරන් ගත්තා……

එකපාරටම … මගේ කන ලඟින් හීනි හඬක් මතු උනා. ඒ හඬ මගේ හදවතේ පතුලටම කිඳා බැස්සා… මගේ හදවත එක මොහොතකට නැවතුනා …. මගේ ඇස් කඳුලින් පිරුණා……

“ටීච, මගේ මල්ලි මැරුණා….” ඒ හීනි හඬ කීවා…”

“මොකක්ද?” මම කීවෙ එහෙම තමයි.

මම ඒ හඬ ආපු දිහා බැලුවා…. පුංචි දුවක් මගේ දිහා බලාගෙන ඉන්නවා… මම ඉක්මනින් එයාගෙ අත අල්ලගෙන ලඟට ගත්තා.

“ඇයි පුතේ?” මම ඇහුවා.

“එයාගෙ බෙල්ල වටේට පෙකණි වැල එතිලා තිබ්බා. හුස්ම හිරවෙලා මල්ලි මැරුණා…”

” හ්ම්ම්ම්ම් ….”

උපදිද්දීම එයාගෙ මල්ලි මැරිලා… ඒත් ඒ අක්කාට ඒක මහා දුකක්. මගේ තුරුලට ආව ඒ දුව ඇස් බිමට හරවා ගත්තා…. එයාගෙ ඇස් වලින් වැටුණු කඳුලක් මගේ සාරියේ බොඳ වුණා…. ඔව් මටත් ඇඬුම් ආවා…. මමත් අක්කෙක්… මල්ලි මැරුණු…. අපි දෙන්නා එකිනෙකා වැළදගෙන මොහොතක් එහෙම හිටියා… ඒ මොහොත තුළ අපි දුක බෙදා ගත්තා …….

“මිනිස්සු කියන්නෙ හරිම අසරණ සත්තු ජාතියක් ”

මගේ පන වැනි මිතුරෙක් එහෙම කීවා මේ ලඟදි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *