සද්ධර්මරත්නාවලිය නැවත නැවත කියවිය යුතුමය ( 2) – චින්තක සමන් හේරත්

පොලොන්නරු රාජධානියෙන් පසුව මෙරට රාජධානි මාරු වූයේ දඹදෙනිය ප්‍රදේශයටය. දඹදෙනි යුගය සාහිත්‍ය වශයෙන් මෙරට ඉතිහාසයේ වර්ණවත් යුගයකි..පොලොන්නරු යුගයේ පරිහානියත් සමග මෙරට ජනයා ගෙවූයේ ඛේදනීය යුගයකි.. කාලිංග මාඝ වැනි සාහසික පාලකයින් යටතේ පාලනය වෙද්දී සාහිත්‍ය තියා එදිනෙදා කටයුතු පවා වැසියා සිදුකරගත්තේ බලවත් දුෂ්කරතා මධ්‍යයේය.

තෙවන විජයබාහු රජු දඹදෙනිය අගණුවර කොටගෙන රාජ්‍ය ආරම්භ කරන ලද අතර ඔහුගේ පුත් දෙවන පැරකුම්බා රජු රාජ්‍යත්වයට පත්වීමත් සමග නැවතත් සශ්‍රීක යුගයක් උදාවිය. මෙම රජවරුන් දෙදෙනා රාජ්‍ය විචාල කාලය දඹදෙනියේ සාහිත්‍ය යුගය වශයෙන් සලකනු ලබයි… එකල රට ස්වයංපෝෂිත වීමත් සමග උගත් පඩිවරු පොත්පත් රචනා කිරීමෙන් මිනිසුන්ගේ ඥානය පෝෂණය කරන්නට විය. එකල ලියූ ග්‍රන්ථ මූලික වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකි අතර සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සදහා ලියවූ ග්‍රන්ථ…ධර්ම ඥානය වැඩි දියුණු කිරීම වස් ලියවූ ග්‍රන්ථ මෙන්ම පොදු ජනතාව තුල ආගමික භක්තිය ඇති කිරීම සදහා ලියවූ ග්‍රන්ථ ලෙස ඒවා වෙන් කල හැකිය.. දෙවන පැරකුමිබා රජුද ග්‍රන්ථ කිහිපයක්ම රචනා කල බවට සදහන්ය.. එමගින් එකල සාහිත්‍ය සදහා කෙතරමි රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නට ඇතිදැයි අපට සිතාගත හැකිය.., විසුද්ධිමාර්ග මහා සන්නය මෙන්ම හෙළ සාහිත්‍ය කෙතෙහි අසහාය කාව්‍ය ග්‍රන්ථයක් වන ‘කව්සිළුමිණ ‘ ශ්‍රේෂ්ඨ නිර්මාණ රචනා කලේ දෙවන පැරකුම්බා රජතුමායි.

එකල සිටි පඩිවරුන් අතර ධර්මසේන හිමි සුවිශේෂි වන්නේය…දහම් රුවන් ඇමිණු වැල යන තේරුමෙන් සද්ධර්ම රත්නාවලිය නමි විශිෂ්ඨ ග්‍රන්ථය රචනා කලේ උන් වහන්සේය..මෙම කෘතිය රචනා කිරීමේ අරමුණ උන් වහන්සේ එහි අවසන සදහන් කර ඇත. එනමි ධර්මයෙහි චිර පැවැත්ම අපේක්ෂාවෙන් රචනා කරන ලද බවයි. මෙය රචනා කිරීමේදී උන් වහන්සේ මූලික කරගන ඇත්තේ පාලි ධම්මපදට්ඨ කතාවයි..ඊට අමතරව සූවිසි විවරණ කතා.. බුද්ධ වංශ දේශනා.. අනාගත වංශ දේශනාව ආදීයද ගුරුකොට ගෙන ඇති බව සද්ධර්ම රත්නාවලිය කියවීමේදී පැහැදිලි වෙයි…ධම්මපදට්ඨ කථාවෙන් ගත් 299 ක් කථා වස්තූන් සද්ධර්ම රත්නාවලිය අලංකාර කර ඇත.

සද්ධර්ම රත්නාවලිය රචනා කර ඇති භාෂා විලාසය හේතුවෙන් එය ජනයා අතර ඉතා ජනප්‍රිය කෘතියක් බවට පත්ව ඇත. විවිධ රසයන්ගෙන් එදිනෙදා දකින කියවන උපමා භාවිතයෙන් උන් වහන්සේ එය රචනා කර තිබීම ඊට හේතු වන්නට ඇත. උන් වහන්සේ තරම් උපමා රූපක භාවිතා කල ලේඛකයෙක් අද වනතෙක් සිංහල සාහිත්‍යයේ බිහිවී නැතැයි සිතෙන්නේ එය කියවාගෙන යන විටය..

ඉතා පුංචි සිදුවීමක් වුවද රසවත් කොට ඉදිරිපත් කිරිමට උන් වහන්සේ සමත්කම් පා ඇත. උන් වහන්සේගේ උපමා මගින් එකල සමාජය අපට කියවා ගත හැකිය..එකල කෘෂි කර්මාන්තය පිළිබදවත් වගා කල කන්න පිළිබදවත් නිසි පරිදි ගොවිතැන් නොකිරීමෙන් අස්වැන්න නොලැබෙන බවත් ..ගොයම් කලමනාවක තබා පියා කල් පසුකොට කරන ගොයමක් සේ .. වැනි උපමා වලින් පෙනී යයි…අප උගන්නා දෙය නිසි පරිදි ධාරනය කරගත යුතු බවත් එසේ ධාරනය කර නොගතහොත් උගන්නා දැණුම කවරාකාරදැයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ …සිදුරු ඇති කලයක වත් කළ පැන්නොරදන කලක් මෙන්.. වැනි උපමාවකින්ය..වරදක් කලහොත් එම වරද සිදුකල පුද්ගලයාට ඒ වෙනුවෙන් දඩුවම් විදින්නට සිදුවන බව උන් වහන්සේ පහදා දෙන්නේ…උඩු සුළග සිට දැමූ රඩු දැමූවන් කරාම එන්නා සේ…වැනි උපමාවකිනි..

හත දැක්වෙන්නේ එවැනි මතකයේ රැදුනු උපමා කිහිපයකි…
තමාගේ ඡායාව තමා හැර නොපවන්නා සේ’ ’
නියං සමයේ අඬන ආසක් මෙන්
මකුළුවන් කෑ කෑ දෙය හූ වන්නා සේ
තමා ම ලාලූ ගිනි තමාට නිවන්නට බැරියාසේ

මෙම කෘතිය පුරාවටම මෙවැනි උපමා පිරී ඇත..සද්ධර්ම රත්නාවලියේ ඇතැම් අවස්ථා ඉතා නාට්‍යානුරූපිව ඉදිරිපත් කර ඇත..කියවන ජනයා තුල එම අවස්ථාවන් මනාව මැවෙන ඇදෙන ආකාරයට ඒවා ඉදිරිපත් කර ඇත.කිසාගෝතමී වස්තුවෙහි ඇය මළ දරුවාවත් රැගෙන බුදුන් වහන්සේ සමග කතා බස් කරන ආකාරය එක් උදාහරණයකි..

’ස්වාමීණී නුඹ වහන්සේ මපුතුන්ට බෙහෙත් දන්නා සේක් දැයි විචාළෝය.
සියලු ලෙසින් නොමියන, ජාති ජරා ව්‍යාධි නැති වන බෙහෙත් දන්නවෝ තෙල විතරක් නො දනුමෝද ? දනුම්හයි වදාළ සේක’.
ධර්මසේන හිමියේ වර්ණනාවෙහි අති දක්ෂයෙකි. ඔහු දක්ෂ කවියෙක්යැයි සිතෙන වාර අපමනය…කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුවේ පරිසර වර්ණනා ඊට හොද උදාහරණයකි.

අඹ, දඹ කෙහෙල් ආදි වූ ගසින් කොළින් ගැවසීගත් ඇත් අස් වලස් තරස් ආදි වූ සිවු පා සමූහයන් ඇති ගිරා, මොණර, කෙවිලි, ආදි වූ පක්ෂීන් විසින් ගැවසීගත් සිද්ධ විද්‍යාධරාදීන් විසින් සෙවුනා ලද දෙවඟනන්ගේ තනකලසයෙන් අළලන ලද පැනින් පිරුණු සිය ගණන් විල් ඇති පාරලීය නම් වනයට වැඩ..’

සද්ධර්මරත්නාවලියේ එන පූතිගත්ත තෙරුන් වහන්සේ පිළිබද කතාව සලකා බලද්දීද එහි ඇති උපමා බොහොමයක් එදිදෙනා පරිසරයෙන් ලබාගත් උපමාය..හබ සා විතර සීන් තස් ඇතිවලා පසුව මුංසාව පසුව මෑ ඇට සාව පසුව ඇඹුල සාව පසුව බෙල්සාවලා පැසීගොසින් පැලී සිල්වන්නට වන සියල් සිරුර වේයන් නෑ පරමල පතක් මෙන් පිදුරු විසුදුරු විය.’මෙම උපමා ගැමියන්ට ඉතා සමීපය…ඉතින් කතාව සමීප වීම ඉබේම සිදුවෙයි..

කතා රසයට යටින් උන් වහන්සේ මනාව ධර්මාවබෝධය ලබාදීමට සමත්කම් පායි…තිස්ස තෙරුවන් වහන්සේට ජීවිතයේ අස්ථිර බව කියාදෙන්නේ කැළයට ගොස් ලී දඩු කපන අය කපා ඉවත් කරන ලී දඩු පසුව එම ස්ථානයට පැමිනෙන්නෙක්ට ප්‍රයෝජණවත් වන නමුත් දෙතිස් කුණුපයෙන් පිරි ශරීරය සිරි යහන් වල සන්තර්පනය කලත් මළ පසු දැවී පොලොවටම එක් වන බව පොදු ජනයාට පහදා දෙයි.
සද්ධර්ම රත්නාවලිය බුද්ධ සාහිත්‍යයේ සෙසු බණ කතාවලින් වෙනස් වන්නේ උන් වහන්සේගේ භාෂාවෙහි ඇති අපූර්වත්වය නිසාවෙනි. උන් වහන්සේගේ අවිය භාෂාවයි.. නූතනයේ නිර්මාණකරනයේ නියැලෙන්නන්ට සද්ධර්මරත්නාවලිය හැදෑරීමට මා යෝජනා කරමි.. එය එකල සමාජයේ කැඩපතකි.. තමන්ට කීමට උවමනා දේ සෘජුව නොකියා කියවන්නාගේ පරිසරයේ සංසිද්ධීන් …ඔවුන්ගේම ජීවිතයේ පැතිකඩක් ලෙස එය ඉදිරිපත් කිරීමට උන් වහන්සේ සමත්කම් පා ඇත. නිර්මාණකරුවෙක්ට එය ඉතා වටිනා දෙයකි… එබැවින් සද්ධර්මරත්නාවලිය. සැළලිහිණිය.. ජන සාහිත්‍ය වැනි දෑ හැදෑරීම හොද අරටු සහිත නිර්මාණකරුවෙකු බිහීවීමට ඉවහල් වනු ඇත.

චින්තක සමන් හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *