පිය සෙනෙහසක මහමෙර – ගීත විචාරය අංක 05

මහමෙරක් තරම් වූ ආදරයක් හිත ඇතුළෙ හංගගෙන තම අඹුදරුවන් වෙනුවෙන්ම මුළු ජීවිතයම කැපකරන පියවරුන්ගේ සෙනෙහස මැන බැලීමට අපිට මිනුම් හමුවී නැත. ඒ පියවරුන් ජිවිතයේ අභිමුවට පැමිණෙන සියලු දුක් කරදර උපේක්ෂාවෙන් වැළඳගනිති.එදා මෙදාතුර මානව ඉතිහාසය පුරාම මව්පිය සෙනෙහස ගැන කොතෙකුත් කවි ගී ලියැවී ඇත. එයිනුත් වැඩිමනක්ම ඇත්තේ මව්වරුන් ගැන ලියැවුණු කවි ගී නිර්මාණයන්ය . ඒ අතර අප සාහිත්‍යය වංශය තුළ පියවරුන් උදෙසා විරචිත විශිෂ්ට කව් ගී රාශියක්ද අපට හමුවේ. මුවින් ප්‍රකාශ නොකර හදවතෙහි ගැඹුරත දාරක ස්නේහය දරා සිටින මේ පියවරුන්ගේ ජීවිත කෙළවර වන්නේ මොනතරම් දුක් කන්දරාවක් උහුලා දරා ගැනිමෙන් පසුවද?

ඉතාමත් මෑතකදී සිත වඩාත් සුසංවේදි කළ ගීතයක් රසවිදිමට ඉඩ හසර ලැබුණි . එය විටක පිතෘත්වය මුල්කරගෙන ලියුවක් සේ සිතුණත් , තවත් විටක මට සිතුණේ මේ ගීතය සමාජයේ දුක්පීඩා උහුලන තවත් එක් මනුෂ්‍ය කොට්ඨාසයක ජීවන අරගලයේ කටුකත්වය විදහා දක්වන ගේය පද රචනයක් ලෙසය. නව පරපුරේ සිටින ඉතා නිහතමානී දක්ෂ ගේය පද රචකයෙකු වෙන රසික ඩී දුමින්දයන්ගේ නිර්මාණශීලී අදහස් තුළින් මේ ගීය රචනා වෙද්දී, එයට ගායනයෙන් දායක වුයේ අජිත් පාලිත නම් සොදුරු ගායනවේදියාය. නූතන සුභාවිත ගීතයේ හෙට දවස වෙනුවෙන් නොමදව වෙහෙසෙන විශාරද දර්ශන වික්‍රමතුංගයන් , මේ ගීතය සිය සියුම් රස තනුවෙන් සංගීතවත් කළ සංගීතවේදියා විය.

“සල්ලි කරලා දාඩිය බිඳු
හැන්දෑවට ගල් වලේ
මදු විතකින් නුඹ මැකුවේ
රිදෙන තැන්ද ජීවිතයේ

හීන පොකුරු පන්නර කර
කුළුගෙඩියට හැම දිනේ
ජීවිතයම ගෙවී ගොසින්
අගහිඟකම් ළඟ අපේ

රිඳුම් පිරුණු කෙදිරිලි හඬ
ඇස් පියවෙන තත්පරේ
මට ඇහෙද්දී වාවනු බෑ
අප්පච්චි හිත මගේ ”

පදරචනය – රසික ඩී දුමින්ද
සංගීතය – විශාරද දර්ශන වික්‍රමතුංග
ගායනය – අජිත් පාලිත

අප සමාජය පුරා විවිධ සමාජ මට්ටම් තුළ මිනිස්සු ජීවත් වෙති.පරම්පරා ගණනාවකට ජීවත් වීමට අවැසි වස්තුව ධනය උපයා ගත් ධනපති පැළැන්තියක් එක් පසෙකින් නිර්මාණය වෙද්දී, අනෙක් පසෙන් එදා වේල පවා පිරිමසා ගත නොහැකි දිළිඳු පැළැන්තියක් ගොඩ නැගෙමින් පවති. මේ දිළිඳු පන්තියේ පියවරුන්ගේ ජිවිත ඉතාමත් සෝචනීය අන්දමින් කෙළවර වන්නාහ. මේ එවන් පියවරුන්ගේ සංවේදනාවන් අනුභූතිය බවට පෙරළාගෙන ලියූ ගී පද රචනයකි. රසික ඩී දුමින්දයන් යනු විටක ප්‍රේමයද තවත් විටක විරහවද හරි අපූරුවට ගීයට නැගූවෙකි.මාගේ මතකය පරිදි ඔහුගේ ඉහළ ජනප්‍රසාදයක් දිනා ගත් නව සුභාවිත ප්‍රේම ගීත කීපයක්ම ඇත. නමුත් සුපුරුදු ගීත රචනා ශෛලියෙන් බැහැරව ගීත රචනා විෂයෙහි පෙරළියක් කරමින් එතුමා අතින් නිර්මාණය වූ මේ ගීතය මම වඩාත් ප්‍රිය කළෙමි.මන්ද සමාජය තුළ කතා නොකරන එහෙත් කතා කළ යුතු මානව සංවේදනාවන් මේ නිර්මාණයට විෂය වස්තු කර ගත් බැවිණි.

“සල්ලි කරලා දාඩිය බිඳු
හැන්දෑවට ගල් වලේ
මදු විතකින් නුඹ මැකුවේ
රිදෙන තැන්ද ජීවිතයේ”

Image may contain: 1 person, smilingගේය පද රචකයා ඉතාමත් සංවේදීව මේ ගීතයේ පද ගැළපීම අරඹයි . ජිවිතයේ දුකම උරුම කරගත් මේ මිනිසුන් අපමණ දාබිදු කඳුළු වගුරුවා මේ වෙහෙසෙන්නේ කුමක් අරඹයාද .? ” සල්ලි කරලා දාඩිය බිදු” යන යෙදුම භාවිත කිරීම හරහා රචකයා මේ පියවරුන් ජීවන අරගලය උදෙසා නොනිමි දුක් ගැහැට විඳින බව අපට පසක් කර දෙයි. විටක මේ ගීතය ගැන විමසිමක් කළ විට නිහතමානීව අදහස් දැක්වූ මේ රචකයා මා සමඟ පැවසූවේ මෙවැනි දෙයකි.

” මම ගල්වලවල් වලට ගිහින් තියෙනවා .ඒ මිනිස්සු එතැන විදින්නේ මහා අපා දුකක්.සමහරවෙලාවට ඒ මිනිස්සු දවල්ටත් බීලා. ඒ බීම උනත් මානුෂීයයි කියලයි මට හිතුණෙ. ඒ ගල් කෑලි වැදිලා සමහර මිනිස්සුන්ගේ කකුල් අතපය තුවාල වෙලා. ඒ දසුන් මගේ හිතේ තදින්ම තැන්පත් වෙලා තිබුණා ”

ඉතින් අපට අවැසි වන්නේ මෙවැනි නිර්මාණකරුවන්‍ය. මන්ද ,තමන් සියැසින් දැක අත්විඳි අනුභූතින් ගීතමය ලක්ෂණවලින් පොහොසත් කොට රසිකාගාරයට ප්‍රවේශ කරන්නා දක්ෂ නිර්මාණකරුවෙකි. තමන් දකින සිදුවීමක් අනෙකාට දැනෙන්නට නිර්මාණවේශයෙන් ඉදිරිපත් කිරීමට සියල්ලෝම සමත් නොවෙති.මේ පද අතර
” මදු විතකින් නුඹ මැකුවේ
රිදෙන තැන්ද ජිවිතයේ ”
යන පද වඩාත් මාසිත් ගත්තේය. නිර්භයව රචකයා යතාර්ථය ඉස්මතු කළ අවස්ථාවක් ලෙස මම මෙය දකිමි.මේ ගීතය පූරාම මදුවිත කියන වචනය යෙදෙන්නෙ එක්තැනක පමණය. නමුත් ඒ හරහා ගේය පද රචකයා සුවිසල් කතාවකට මුල පුරයි. ඔහුට මේ වචන යොදා නොගෙන සමාජයේ බහුතරයක් අනුමත කරන, අපේක්ෂා කරන සාධු ගුණ දරා ගත් මිනිසුන් කොටසක් ලෙස මේ මිනිසුන්වද මවන්නට තිබුණි. එසේ වුණිනම් මේ ගීතය මේ තරම් නොදැනෙන්නට ඉඩ තිබුණි. ඒ පුද්ගලිකව මට දැනුණූ දේය.එයට තව අයෙක් තරයේ විරුද්ධ වෙන්නටද ඉඩ ඇත. කෙසේ වුවද , දැඩි අව් රශ්මියේ වේදනාවන් දරමින් ගල්වලවල්වල ජිවිතය සොයන මේ පියවරුන්ගේ, අහිමිවීම් හමුවෙහිත් , දුක්පීඩා අභිමුඛයෙහිත් රිදෙන සන්තානයද , වෙහෙස වී වැඩ කිරිමෙන් රිදෙන ඇගපතෙහිද වේදනාවන් මැකුවේ මදු විතකින්දැයි ප්‍රශ්න කරන නිර්මාණවේදියා ඒ හරහා මේ මිනිසුන් සම්බන්ධව ඉමහත් රිදීමක් රසික හදවත් තුළ ජනිත කරන්නේය.

“හීන පොකුරු පන්නර කර
කුළුගෙඩියට හැම දිනේ
ජීවිතයම ගෙවී ගොසින්
අගහිඟකම් ළඟ අපේ”

දුප්පත් වුවද ධනවත් වුවද අප කොයිImage may contain: 1 personකාටත් සිහින , බලාපොරොත්තු ඇත. මේ මිනිස්සුන්ටද එය එසේමය. බොහෝවිට මිනිස්සුන්ව ජීවත් කරනුයේ බලාපොරොත්තු විසිනි. මේ අහිංසක මිනිසුන් කුළුගෙඩිවලින් ගල්පරවලට පහර දෙන්නට සවි ශක්තිය සොයා ගන්නේ තමන් වටා පවතින හීන පොකුරු පන්නරය කරගෙනය. ඒ හීන තමන්ටම කියා නිවසක් තනා ගැනිම වෙනුවෙන් උපන් සිහිනයක් වෙන්නට පුළුවනි.නැතිනම් මේ මහපොළොවෙ තමන්ටම වෙන්වු බිම්කඩක් සම්බන්ධ සිහිනයක් වන්නට පුළුවන. එසේත් නැතිනම් ජිවිතයේ මහරුම වස්තුව වෙන සිය දරුපැටවුන්ගේ හෙට දවස උදෙසා උපන් හීනයක් වෙන්නටද පුළුවණි. ඒ කවර ආකාරයේ සිහිනයක් වුවද සිය ජීවිතයට පන්නරයක් කර ගන්නා මේ මිනිසුන් සිය ජිවිත කාලය පුරාම ඒ වෙනුවෙන් වෙහෙසෙති. එහෙත් ආවාසනාවනම් කොතරම් සිහින පසුපස හඹා ගියත් , මේ මිනිසුන්ගේ ජිවිත නිම වෙන්නේද අඟහිහකමේ කටුක අත්දැකිම් අබියසදීමය. ජිවිත කාලයම දුක තුළ හෙම්බත්වීමම හැර ජිවිතය ගෙවා දැමීමට අන්මාර්ගයක් මේ මිනිසුන් හමුවෙහි නැත.ජිවිතය අග්ගිස්සෙහිද ඇත්තේ අගහිඟකම්, දුක, ශෝකය මවන කර්කශ දර්ශන පමණකි . ඉතින් රසිකයන් වෙන අප හදවත් රිදවා නොගෙන සිටින්නේ කෙලෙසද? එතරම්ම සියුම්ව ගේය පද රචකයා සිය පදවැල් හරහා රසික හදවත් තුළට සංවේදනාව එන්නත් කර ඇත.

මේ දිළිඳු පියවරුන් සේම ඒ පියවරුන්ට දාව උපදින දරුවෝද බොහෝවිට මේ දුකම උරුම කර ගනිති. දහවල් කාලය පුරාම රළු ගල්කුළු හා පොරබඳින මේ මිනිසුන් රාත්‍රීයේ නින්දේදී නගන රිඳුම් පිරුණු කෙදිරිලි හඩ මේ දරුවන්ට මහත් වේදනාවකි. ගේය පද රචකයා මේ කියන්නේ ඒ වේදනාවේ කතාවය.

රිඳුම් පිරුණු කෙදිරිලි හඬ
ඇස් පියවෙන තත්පරේ
මට ඇහෙද්දී වාවනු බෑ
අප්පච්චි හිත මගේ “Image may contain: 1 person, smiling, closeup and text

ජීවන අරගලය තුළ අපමණ වෙහෙසෙන මේ පියවරුන්ගේ වේදනාව නිමාවෙන දිනක් මේ දරුවෝ නොදනිති .බොහෝවිට දුක මතින්ම උපන් මේ මිනිසුන් දුක මතින්ම මළගම් යති. එහෙත් සියල්ල නිහඩවම විදදරා ගන්නා මේ මිනිසුන්ගේ ජීවිත කෙළවර වන්නේ කොතරම්නම් සෝචනිය අන්දමින්ද. බොහෝවිට මේ දුකින් විනිර්මුක්ත වීමේ මාර්ගයක් ජිවිත කාලයම වෙහෙසුණත් ඔවුනට සොයා ගැනිමට නොහැකි වෙනු ඇත.

මෙවැනි සමාජයේ එක්තරා එක දිළිදු පියවරුන් කොටසක් වස්තු විෂය කරගෙන රසික ඩී දුමින්දයන් නිර්මාණය කළ මේ ගීතය රසවිදි මොහොතේම මේ වෙනුවෙන් සටහනක් තැබිය යුතුයැයි මම කල්පනා කළෙමි. මේ සටහන් වුයේ ගීතය වෙනුවෙන් මාසිතෙහි උපන් හැඟීම් සමුච්චයය. මේ ගීතය මේතරම් මාසිත තුළ ඉඩක් වෙන්කර ගැනීමට මේ සාර්ථක පද වියමන සේම අජිත් පාලිත නම් නූතන පරපුරේ දක්ෂ ගායනවේදීයාගේ හඬ මුසුවද නිසර්ගයෙන්ම හේතු විය. ගීතයේ වඩා සියුම් තැන් දුක්මුසු තැන් ඉස්මතු කරමින් හැඟුම් මවමින් ඔහු සිය ගායනයට පණ පොවා රසික ඩී දුමිදයන්ගේ පද රචනයට සාධනීය දායකත්වයක් සපයා ඇත. අජිත් පාලිතයන් යනු නව සුභාවිත ගීත රාශියකටම තම හඩ මුසුකළ දක්ෂ ගායනවේදියෙකි. ජිවිතයේ දුක සතුට රැදුණු කවර තැනක් වුවද සිනහවකින් සරසන්නට මේ සොඳුරු ගායන වේදියා අමතක නොකරයි. දර්ශන වික්‍රමතුංගයන් යනු මේ ගීතය සිය නාද රටා සංයෝජනයෙන් හැඩකළ සංගීතවේදියාය. මා දන්නා නූතන ගීත සාහිත්‍යය තුළ විවිධ නිර්නායකයන් යටතේ සම්මානයට පාත්‍ර වූ බොහෝමයක් ගීත නිර්මාණවල සංගීත දායකත්වය සැපයු අසහාය සංගීතවේදියා ඔහුය. එහෙත් කිසිඳු තැනක ඔහු ඒ ගැන උදම් අනනු මා දැක නැත. මම එතුමාගේ නිර්මාණශිලිත්වය හා සබැඳි නිහමානීත්වයටද ගරු කරමි. ඔහු කළ ඉතා විශිෂ්ට ගීත නිර්මාණ බොහෝමයකි. එතුමා විසින් නව පරපුරේ දක්ෂතා සපිරි අංකුර පෝෂණය කරමින් සුභාවිත ගීතයේ හෙට දවස උදෙසා ලබා දෙන මහඟු දායකත්වය අගය කළ යුතුමය.

මේ ගීතය අනුසාරයෙන් මා සටහන් කළේ තවත් එක් කදුළු කතාවකි. පියෙකු විසින් ජිවිත කාලය පුරාම අඹු දරුවන් වෙනුවෙන් ලබාදෙන ආදරය රැකවරණය කිසිත් කලක අපට සුළුකොට තැකිය නොහැකිය. එලෙසින්ම අප්‍රකටව හිදිමින් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විදින මෙවැනි පියවරුන්ගේ, මිනිසුන්ගේ කදුළු කතා කොපමණ ප්‍රමාණයක් මේ පොළොව මත මිහිදන් වී යන්නට ඇත්ද? මෙවැනි ගීත නිර්මාණයන් තරුණ පරම්පරාව අතින් බිහිවීම සතුටකි.එනමුත් මෙවැනි සුභාවිත ගීත නිර්මාණ ජනගත කිරීම වෙනුවෙන් විද්‍යුත් මුද්‍රිත මාධ්‍යය හරහා දෙන දායකත්වය කිසිසේත් ප්‍රමාණවත් නැතැයි මට සිතේ.

දේවිකා ප්‍රියදර්ශනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *