චිත්‍රපට විචාරය – Varathan -ගයාන් අබේසිංහ

ගම නරකය. නගරය හොඳය. එසේ කියූ සැනින් ඔබෙන් අයෙක් මා හා උරණ වනු ඇත. තවකෙක් එකඟ වනු ඇත. කෙසේ වුව ද අප අවංකව කරුණු විමසුවහොත් අප විශ්වාස කරන සදාචාර සංස්කෘතිකාංග පිරුණු යැයි පැවසෙන ගම ම සැබැවින් ම ගෝත්‍රිකත්වයේ ප්‍රතිමූර්තියක් ලෙසින් හඳුනා ගත හැකිය. ගම යනු ප්‍රාථමික නිර්මාණයයි. එය මගින් ද්විතීකයක් ලෙස නගරය බිහිවෙයි. ගම යනු අශිෂ්ට අශීලාචාර ගෝත්‍රිකත්වයක් පවතින තැනක් ය. නගරය තුළ ඒ ගෝත්‍රිකත්ව ලක්ෂණ අඩුය. මෙහිදී අප මේ කියන්නේ ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නොව පොදුවේ ගම සහ නගරය යන සමාජ පද්ධති දෙක ඇසුරු කර ගනිමින් ය.

ගමට නගරයෙන් එන පිටස්තරයන් ට ගම තුළ පැවැත්ම තහවුරු කර ගැනීම අපහසුය. ඊට හේතුව නාගරික සංස්කෘතික ලක්ෂණ ගමතුළ නිර්මාණයව ඇති ගෝත්‍රවාදී ලක්ෂණ සමග ගැටීමය. සරල කරුණු දෙකක් උදාහරණයට ගනිමු.

1 ස්ත්‍රිය පිළිබඳ ආකල්පය- බොහෝ විට ගම තුළ ස්ත්‍රිය පිළිබඳ ඇත්තේ ලිංගිකත්වය කේන්ඳ්‍ර කරගනිමින් ගොඩ නැගුණු කියවීමක් ය. නාන මංකඩ අසල ස්ත්‍රිය නාන දෙස බලා සිටින්නෝ ද ස්ත්‍රී ඇඳුම් හොරෙන් ගෙන යන්නෝ ද බහුල ව ඇත්තේ මේ නිසාය.

2 කුලවාදය පිළිබඳ ආකල්පය- ගම තුළ ඉතා තදින් කුළවාදය ව්‍යාප්‍තය.

කෙසේ වුව ද ගමේ බලපවතින්නේ ප්‍රභලයා විසින් දුබලයා පාගා දැමීමේ වනචාරී නීතිය යි. එබැවින් නගරයේ සිට ගමට යන පිටස්තරයන් මේ පිළිබඳ අවබෝධයෙන් ගමට යෑම වඩා ත් වැදගත් ය.Image may contain: one or more people

ප්‍රියා සහ අභී ජීවත් වූයේ ඩුබායි වලය. හදිසියෙන් ම අභීගේ රැකියාවෙන් ඔහු ඉවත් වීම සමග ඔවුන් ඩුබායි වලින් නැවතත් සිය මව් රට ට පැමිණෙයි. එහිදී ඔවුන්ට සිය වාසස්තානය ලෙස තෝරා ගන්නට වන්නේ ප්‍රියාගේ පිය පාර්ශවයෙන් ඇයට උරුම වූ මහගෙදරය. එය පිහිටා ඇත්තේ දුෂ්කර ගම් බද පෙදෙසකය.

ජීවිතේ බොහෝ කාල සීමාවක් ඩුබායි හී ගෙවූ ප්‍රියාට සහ අභීට ගමට පැමිණීම එක් පසෙකින් වෙනස් අත්දැකීමක් ය. ඔවුන්ගේ ආගමනය සමග සිදුවන බොහෝ දෑ මගින් එය ප්‍රකට වෙයි. මුලින් ම ගමට එන මාර්ගයේ තේ කඩයකින් ඔවුන් තේ පානය කරන විට ප්‍රියා අභී ගේ අතකින් අල්ලා සිටීම ගම් වැසියන්ට දරා ගත නොහැකි සංස්කෘතික ප්‍රතිරෝදයක් නිර්මාණය වෙයි. ඒ ගම්වැසියන් ම ඉන් පසු වරින් වර ප්‍රියාගේ ශරීරය හොරෙන් දැක විඳ ගන්නට ගනු ලබන උත්සහයන් තුළින් සැබැවින් ම අශිෂ්ට ග්‍රාමීයය අවිඥානය හෙළි දරව් වෙයි.

ඒ අතර ප්‍රියා සමග එම ගමේ උසස් පෙළ උගත් කුලවත් හා බලවත් පවුලක සල්ලාල පිරිමියෙක් ඇගේ පහස විඳ ගැනීමට සිය සුපුරුදු ප්‍රතිපදාව අනුගමනය කරයි. ඒ ප්‍රබලයා විසින් දුබලයා යටත් කර අනසක පැතිරවීමේ නීතියයි. ඒ අතර වාරයේ අතුරු සිදුවීමක් ද සිදුවෙයි. ඒ එම කුලවත් පරපුරේ තරුණියක සමග ගමේ කිරි හරක් ඇති කරන කුලයෙන් පහත් තරුණයෙකු අතර ප්‍රේම සබඳතාවක් ඇති වීමය. එම සබඳතාව හෙළි වූ විට එම තරුණයා රැකවරණ සොයා එන්නේ ගමේ සිටින එක ම නූතනවාදී අදහස් දරණ පවුල වන ප්‍රියා සහ අභී වෙතය.

මෙය සත්‍ය සිදුවීමක් නොවෙයි. 2018 වසරේ සැප්තැම්බරයේ දී නිකුත් වූ අමාල් නීරාඩ් විසින් අධ්‍යක්ෂණය කළ Varathan (outsider) නම් මලයාලම් සිනමා පටයේ ඇතුළත් වන්නේ එම සිදුවීම් දාමයයි. මිනිත්තු 130 ක් පුරා දිවෙන මෙම කතා වස්තුව IMDB දර්ශකයේ 7.7 ක අගයක් හිමිකර ගෙන ඇති අතර ගම සහ නගරය අතර ඇති සංස්කෘතික ගැටුම අපූර්ව ලෙස නිරූපණය කර ඇත.

ප්‍රියාගේ සුන්දරත්වය විඳීම මෙන් ම කුල හීන තරුණයාට පහර දීම යන අශිෂ්ට ආශාවන් මුදුන් පත් කර ගැනීමට වෙහෙසෙන මෙම කුලවත් පවුල මගින් ග්‍රාමීය අවිඥානික ආශාවන් නිරූපිත වන අතර ඒ සඳහා ඔවුන් දුබලයා පරදවා ප්‍රභලයා ජය ගැනීමේ වනචාරී ක්‍රමෝපාය භාවිත කරයි. එවන් මොහොතක ගමට ආගන්තුකයෙක් වූ පිටස්තරයා වන අබී විසින් කවර ආකාරයෙන් කටයුතු කරන්නේ ද යන කරුණ සමස්ත සිනමාපටය පුරාම නිරූපණය වෙයි. ඒ නිසා ම ගම සහ එහි ස්වභාවය අව්‍යාජව නිරූපණය වන මෙම සිනමා පටය ඔබ බැලිය යුතු ම සිනමා නිර්මාණයකැයි මම විස්වාස කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *