ගීතය, සංගීතය සහ රසිකත්වය – ඉරේෂා මදුෂානි විතානාච්චි

ගීතය අතිශය සංක්ෂිප්ත, අතිශය සංවේදී, අතිශය ප්‍රබල කලා මාධ්‍යයකි. පියවි සිහියෙන් යුතුව දැනුවත් බවකින් එය ඇසුරු කරන්නන් ඇත්තේ ඉතාමත් අතළොස්සකි. එමෙන්ම සංගීතය ද මිනිසාට අතිශය සංවේදී කලා මාධ්‍යයකි. එහි ගුණාත්මක බව පුළුල් කරමින්, ඒ පුළුල් බව ශ්‍රාවක සහෘදයා වෙත සංවේදනය කිරීම සඳහා යත්න දරන විද්වතුන් පිරිසක් ඇත්තේ ද ඉතා සීමිත පිරිසකි. බොහෝ ගීත රසිකයන් සංගීත රසිකයන් නොවන්නේ ය. ඒ නිසා සුභාවිත ගීතය සඳහා කිසියම් වූ පාරිභාෂික වචන පදරචකයකු යොදා ගත හොත් ඒ පිළිබඳ රසිකයාට වෙනමම හැදෑරිය යුතු වෙයි. එහෙත් ව්‍යවහාරික භාෂාවේ වචන බොහෝ විට වෙසෙසින් හැදෑරිය යුතු නොවන්නේ ය. ඒ බහුජනයාගේ භාෂාව ඔවුන්ට දැනෙන බැවිනි.

එහෙත් සංගීතය එසේ නොවේ. අනිවාර්යයෙන්ම සංගීතය හැදෑරිය යුතුය. සංගීතය අනුකරණය කළ නොහැකිය. අදාළ ශාස්ත්‍රීය දැනීම හෝ අවම වශයෙන් වාද්‍ය හැකියාව ප්‍රගුණ කළ යුතුය. මේ නිසා බොහෝ ජනයා සංගීතය පිළිබඳ කතා නොකිරීම අරුමයක් නොවේ.
සුභාවිත යන වාච්‍යාර්ථය විමසා බැලීමේදී පෙනී යන්නේ ‘සු + භාවිත’ ලෙස වරනැඟී ඇති බවයි. භාවිතය යනු පරිහරණය කිරීමයි. ඒ අනුව සුභාවිත යනු නිසි පරිදි භාවිතයේ යෙදීම ලෙස හැඳින්විය හැකිය. සම්භාව්‍ය ගීත යනුවෙන් හඳුන්වන්නේ ද මෙයම ය.

කෙසේ වෙතත් ගේය පද රචනය, සංගීතය, ගායනය යන ත්‍රිවිධාංග නිසි පරිදි පූර්ණත්වයෙන් සංයෝග වී පරිසමාප්තියට පත්වූ ගීතයක රස විඳීම ආයාසයෙන් නොකළ යුත්තකි. මේ නිසා ගීතයේ නිසඟ ලක්ෂණය වී තිබෙන ශ්‍රව්‍යගෝචර බව අතික්‍රමණය කරමින් බුද්ධිය වෙහෙසමින් සුභාවිත ගීතයක රස විඳිය යුතුය. තවත් ලෙසකින් කියන්නේ නම් සුභාවිත ගීතය ශ්‍රව්‍ය හා බුද්ධි ගෝචර ය. එය හුදෙක්ම ඉන්ද්‍රිය ගෝචර නොවන්නේය. එසේම එය බුද්ධි ගෝචර වන්නේ ශ්‍රව්‍ය ඉන්ද්‍රිය හරහා ය. ඒ අනුව ශ්‍රාවකයන් ඉන්ද්‍රියන්ගේ හා බුද්ධියේ ඒකාබද්ධ ප්‍රයත්නයකින් සුභාවිත ගීතය රස විඳිය යුතු වේ.
ජනප්‍රිය රැල්ලේ ගීතයක් යම් රස විඳීමක් අවශ්‍ය වෙයි. සවන් පත් වැකුණු සැනෙන් එයින් කියැවෙන අදහස ශ්‍රාවකයාට වැටහේ.
එහෙත් සුභාවිත ගීත රස විඳීම අසීරුය. එය ඇසෙන ගීතයක් නොවේ. හොඳින් ඇසිය යුතු ගීතයක් වේ. එසේ ඇසීමෙන් බුද්ධිය මෙහෙයවා විවිධ කොණවලින් ගවේෂණය කර නැවත නැවත සිතා බලා රසභාවයන් අවදි කර ගත යුතු වේ. ඒ සඳහා හොඳ විවේක බුද්ධියක් ද අවශ්‍ය වේ.

ගීතයකදී අතිශය වැදගත් ස්ථානයක් ගේයපද නැති නම් ගී පද රචනයට හිමි වී තිබේ.

“ගායනා කළ හැකි පද ගේයපද වශයෙන් සරලව අර්ථ දක්වයි. ගී පද රචනය යන්නට වර්තමානයේ බහුලව භාවිත කරන්නේ ගේය පද යන්න ය. ශ්‍රී ලාංකික සංස්කෘතියේ බොහෝ ඈත අතීතයේ පවා ගේය පද ජන ජීවිතය සමඟ බද්ධ වී තිබුණු බව සත්‍ය වී ඇත. මේ අතුරින් සීගිරි කැටපත් පවුරේ තිබෙන ගේය තාවන්ට හිමිවන්නේ සුවිශේෂී වැදගත්කමකි.”

මෙසේ කියමින් රත්න ශ්‍රී විජේසිංහ සූරීන් මේ අදහසට සාක්ෂි දරන්නේය. එබඳු වූ සුභාවිත ගීතය රසය හා චමත්කාරය ද කැටුව, කිසියම් ඥාන සම්පාදන කාර්යයෙහි ද නියැ‍ළෙයි. ජීවිතය, ලෝකය හා මනුෂ්‍යත්වය පිළිබඳ ද සැපයෙන එකී දැනුම් නිසා යහපත් ගීතයක් විඳගත් අවසන රසික අවබෝධයේ පරිධිය පුළුල් වෙයි. අහිතකර භාවයන් විමෝචනය වී යහපත් චිත්තවේගවලින් යුත් වඩා සුන්දර මිනිසකු යා යුතු මංපෙතේ සාදයි.

ජීවිතයේ දුක් තැවුල් හා අභියෝග හමුවේ උකටලීව පරාද වීමට නොදී ජීවිතයට පෙම් බඳින ජීවිතය දිනා ගන්නා කෙනකු බවට පත් වෙයි. එය එසේ වන්නට නම් ගීයේ ගේය පද සාහිත්‍යය අරුතින් සාරවත් විය යුතුය.
ගීතය තනි තනි පුද්ගලයාගේත්, සමාජයේත් අභිවෘද්ධියට හේතුවන ආකාරය මින් මොනවාට පැහැදිලි වෙයි.

 

2 thoughts on “ගීතය, සංගීතය සහ රසිකත්වය – ඉරේෂා මදුෂානි විතානාච්චි

  • May 23, 2019 at 4:04 pm
    Permalink

    උත්සහයට සුබ පතමි…තව තවත් දියුනු තියුණු කරගෙන මෙ ්දැනුම බාවිතා කරගෙන යමක් ලියන්න කියන්න කරන්න සුබ පතමි

    Reply
  • May 24, 2019 at 5:38 am
    Permalink

    “සිංහල ගීතයට අටුවා ලියන සමහරු “ගී” යන ව්‍යවහාරය සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙහි යෙදී ඇති ආකාරය උපුටා දක්වමින් නූතන ගීතයෙහි ඉතිහාසය සීගිරි ගී හා මුවදෙව්දා – සසදා ඈ ගී කාව්‍ය යුග දක්වා විහිදුවති. එදා “ගී” යන ව්‍යවහාරය අර්ථ කිහිපයක යෙදුණේ ය. එනම් ගීතය, එළිසම නොකොට බැඳි පද්‍යය, එනම් වෘත්තය යනු විසිනි. මෙහි වෘත්තය යනු “ගී” විරිත ය. ගී විරිතින් බඳනා ලද පද්‍ය ගී කාව්‍ය ලෙස හඳුන්වන ලදි. එහෙත් වර්තමානයෙහි අප ගීතය ලෙස හඳුන්වන්නේ ඊට ⁣ආවේණික සවලක්ෂණ වෙන් කොට ගත හැකි වෙන ම අංග සංස්ථිතියකින් සමන්විත නිර්මාණ විශේෂයකටයි. එය ගායනා කරන පද්‍ය විශේෂයක් හෝ පද්‍ය කාව්‍ය විරිතක් ලෙස හෝ අර්ථ දැක්වීමට පුළුවන්කමක් නැත.”

    සමන්ත හේරත්, ගීත සංගීත සංකතිකා (මරදාන: ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, 2010), 14.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *