විනිවිදිමි පියසටහන් – මේනුකා දම්සරණී – 2019.05.26

එක ම දුර ගෙවාගෙන එක ම රිද්මයට සියදහස් වර වෙරළට ඇවිත් යන රැල්ලට ඒ ගමන කවමදාවත් ඇති නොවෙන නොසන්සිඳෙන ගමනක්. එහෙම ඇවිත් යන හැම වාරෙක ම වෙරළට කියන්න ආදරණීය කතාවක් මුහුදු පතුලෙන් ඒ රැල්ල අරගෙන එනවා ඇති.
ඒ හැම රහස් කතාවක්ම වෙරළ මානේ සුදු වැලි කැට අතරෙ හැංගිලා ඇති. ගල් වැටි අතරෙ ලියවිලා ඇති.
වෙරළ දිග පියමනින අනන්ත පෙම්වතුන්ගේ පියසටහන් යට තෙරපි තෙරපිත් විඩාපත් නොවෙන ඒ රැල්ලත් වෙරළත් අතර, නිමක් නැති බැඳීමට පේ‍්‍රමය තරම් නමක් තව වේවි ද?ඈත ක්ෂිතිජය ළඟ හැමදාම හවසට අකුණු කෙහෙරැලි විදාගෙන හිරු රැස් ඇවිත් මොනතරම් අනග රැඟුමන් රැඟුවත් ඒ ගැඹුරු ම මුහුද පේ‍්‍රමයේ නොසැළෙන ම මානය බව වෙරළ දන්නවා. ඒ නිසාමයි ඉර මුහුදු තුරුලෙ ගිළෙන ඒ මායාවට හිත රිද්ද ගන්නට තරම් වෙරළ බොළඳ නොවෙන්නේ. ඒ මොහොතෙත් වෙරළට දුවන් එන රැළි අහුරු ආදරෙන් පිළීගන්නේ.
සමහර සදාකාලික අහිමිවීම් ළඟ ඇසිල්ලක දැවටිල්ලකට අපිත් මොනතරම් නම් පේ‍්‍රම කරනව ද? අහිමිවීමේ සදාකාලික වේදනාව මොහොතක හිමිවීමකින් සුවපත් කරගන්නට තරම් අපිත් මොනතරම් බොළඳ වෙනවද?
පියසටහන්….. හදවතක රැඳෙන්න පුළුවන් ආදරණීය ම මතක සලකුණ. රැල්ලට හේදිලා යන වෙරළක තියෙන නොගැඹුරු පියසටහන්වලත් තියෙන්නේ පේ‍්‍රමණීය මතක අහුරක් වෙන්න පුළුවන්. ඒත් හදවතක රැඳෙන පියසටහන් ගොඩක් ගැඹුරුයි. අපි ජීවිතේ ගොඩක් වෙලාවට ඒ පියසටහන් ගැඹුරෙ හුදෙකලා වෙනවා. අතරමං වෙනවා.
ඒත් ඒ තරම් ගැඹුරු පියසටහන් තියන්න හදවතේ එහාමෙහා යන හැමෝටම බෑ. ඒ ගැඹුරු පියසටහන් තියන්නේ සුවිශේෂී හදවත් ඇත්තන්. අපේ මුළු හදවත ම විනිවිද දකින හදවතකට පුළුවන් ජීවිතේ පතුලට ම කිඳා බහින ගැඹුරු පියසටහන් තියන්න.
පොඞ්ඩක් හදවතට එබිලා බලන්න. ඔබේ හදවතෙත් එහෙම පියසටහනක් දෙකක් ඇති. ඒ පියසටහන් දිගේ ටිකක් ඇවිදලා බලන්න. කවදාවත් නොහිතුණු තැන්වලදි ජීවිතේ සොඳුරු ම නිමේෂයන් ඔබට හමුවේවි.
සමහරවිට ඔබ නොහිතපු අය ඔබටත් නොදැනි ම ඔබේ හදවතේ ගැඹුරු ම තැනක පියසටහනක් ඉතිරි කරලා ගිහින් ඇති. ඒ පියසටහන ඇඟිලි තුඩුවලින් හෙමින් පිරිමැදලා බලන්න. ගොඩක් රළුපරළු හිත් පවා ඔබ වෙනුවෙන් තෙත් වුණු මොහොතක් ඔබට දැනේවි. කවදාවත් ඔබට නොදැනුණු නොහැඟුණු හදවත් ඔබ ඉබේට ම කියවාවි.
ජීවිත කියවන්න හදවත් කියවන්න මමත් ඉගෙන ගත්තේ එහෙම හදවතකින්. ඒ හදවතේ කියවපු අකුරක් ගානෙ ම තවමත් මට මතකයි. ඒ සොඳුරු හදවත මගේ හදවතට යා කරන හැඟුම් රැහැනට අපි කිව්වේ ‘මානුෂීය බැඳීමක්’ කියලා. ඒ බැඳීම ඇතුළෙ ජීවිතේ සීමා මායිම් බිඳුණු අසීමිත නිවනක් සැහැල්ලූවක් අත්විඳින්න පුළුවන්.
ඒ අසීමිත සැහැල්ලූව ඇතුළෙ තිබුණෙ මට මාව දැනෙන මොහොතක්. මට මං වෙන්න ලැබුණු දුලබ අවස්ථාවක්. කොන්දේසි විරහිතව පේ‍්‍රමයේ හැම අයිතියක්ම ලෝබ නැතිව හිත පුරා විඳින්න ලැබුණු හිමිකමක්. ඒත් එහෙම බැඳීමක් පවා බිඳෙන දවසක් තියේවී…..
ඒත් ඒ පේ‍්‍රමය ජීවිතේ දවසක ආයෙමත් හමුවේවි. සමහරවිට එදාටත් වඩා ආදරණීයව. ඒ අර පියසටහන් දිගේ අතීතයට ඔබව අරගෙන යන මොහොතක. එහෙම මොහොතක ඒ පේ‍්‍රමය මගහැරුණු ලෝබකමින් ඔබේ හදවතත් රිදුම් දේවි. ඒ රිදීමත් පේ‍්‍රමයක්…..
ඒත් එහෙම පේ‍්‍රමයක් මේ මහපොළව උඩ ඔබට මට අතීතයක්ම පමණක් වේවි.

එදා සිටි ඔබත් එදා සිටි මමත් ආයෙමත් නූපදින නිසා….
ඇත්ත…. කාලය බොහෝ දේ වෙනස් කරනවා. කිසිදාක වෙනස් නොවේ යැයි සිතූ දේ පවා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *