අධිරාජ්‍යයින්ගේ බලය සහ ජනතාවගේ ප්‍රීතිය කොලෝසියම -01

මෙලොව යහපත් සහ කුරිරු යන මිනිස් කොට්ඨාශ දෙකක් වේ. යහපත් මිනිසා කුරිරු වන අවස්ථා මෙන්ම කුරිරු මිනිසා යහපත් වන අවස්ථාද ඇත. මෙම යහපත් වූත් කුරිරු වූත් මිනිසුන් අතින් මහපොළොවට නරක සේම යහපත සිදු වේ. එනම්, ලොවට යහපත් දේ නිර්මාණය වන්නේ යහපත් මිනිසුන් අතින් ම පමණක් නොවේ. කුරිරු මිනිසා ද ලොවට විශිෂ්ට දේ දායාද කරනු ලබයි.

මෙයට හොඳම නිදසුන වනුයේ ලොව පුදුම හත ය. මෙම පුදුම හතද ලොව යහපත් හා කුරිරු පාලකයින් විසින් ගොඩනගන ලද නිර්මාණයන් වේ. එම පුදුම හතෙන්, ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති “කොලෝසියම” ට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. වර්තමාන ලොව පුදුම හත අතුරින් රෝමයේ ඇති “කොලෝසියමෙහි” අතීතය විස්තරාත්මකව මෙසේය.

කොලෝසියම පිහිටා ඇත්තේ රෝම නගරයට සැතපුම් කිහිපයක් නිරිත දිගිනි. මෙම කොලෝසියම ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ රෝමයේ සහ එහි සිටි අධිරාජ්‍යයන්ගේ බලපරාක්‍රමය සංකේතවත් කිරීමටය. ශිෂ්ට සම්පන්න ජාතියක් අදහස් කරනු වස් මෙයට සම්භාව්‍යනීය ගෘහ නිර්මාණ ශිල්පයක් උපයෝගී කරගන්නා ලදි. ක්‍රි.ව. 70 – 72 අතර කාලයේදී “වෙස්පැසියානො” (Vespasiano) නම් පාලකයා විසින් නීරෝ අධිරාජ්‍යයාගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාබිඳ දැමීමේ තීරණාත්මක අරමුණින් හා මරණයෙන් පසු ඔහුගේ නාමය අනුස්මරණය වීම පිණිස මෙම කොලෝසියම ඉදිකරන ලදි. අද කොලෝසියම යනුවෙන් කවුරුත් හැඳින් වූ නමුදු මෙහි මුල් නාමය “ෆ්ලාවියෝ ඇන්ෆිතෙයාත්රෝ”(flavio Anfiteatro)වේ.

මෙය රෝම ජනතාව ත්‍යාගයක් වශයෙන් ලැබූ දායාදයකි. කොලෝසියම රෝමයේ විවිධ උත්සව සඳහා මෙන්ම ආගන්තුකයින්ට තානායමක් ලෙස එකල භාවිතා කරන ලදි. “වෙස්පැසියානො” නම් අධිරාජයාගේ පුත් “තීතො” (tito) විසින් ක්‍රි.ව. 80 දී “කොලෝසියම” නිල වශයෙන් විවෘත කරන ලදි. ක්‍රි.ව.82 දී කවාකාර අයුරින් ආසන ඉහළට විහිදී යන ලෙස මෙම එළිමහන් රංගපීඨය සම්පූර්ණ කරන ලදි. දින සීයයක් එක් දිගටම පවතින ක්‍රීඩා සඳහා, ඇතුන්, සිංහයෙන්, හිපපොටේමසුන් ආදී විවිධ සතුන් හා වන මෘගයින් සමඟ මරණය තෙක් සටන් වදින මල්ලවයින් (මෙයට සිරකරුවන්, අපරාධකරුවන් හා වහල් සේවයට තෝරා ගත්තවුන් යොදා ගන්නා ලදි.) ජීවිතය සඳහා බිහිසුණු සටනක යොදවා අධිරාජ්‍යයින් ඔවුන්ගේ පිළිකුල් සහගත ප්‍රීතිප්‍රමෝදය සපුරා ගන්නා ලදි.

කොලෝසියම තුළ කලින් කලට පැවැත්වූ මෙම තරගකාරී ම්ලේච්ඡ සටන් ක්‍රම නැරඹීම සඳහා මිනිසුන් හට නොමිලේ ඇතුල් වීමට හැකියාව ලැබුණි. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදළ පැලැන්තියේ සතුට පිණිස පැවැත්වූ මෙම අමානුෂික ක්‍රීඩා හේතුවෙන් ආරම්භයේ දී සතුන් 5000ක් පමණ හා මිනිසුන් 400,000 අධික පිරිසක් මරණයට කැප විය.හතර වන ශතවර්ශයේ රෝමයේ පැවති ක්‍රියාකාරී ස්වභාවය මෙයින් පසක් වේ.
ක්‍රි.ව.523 යනතුරුම එනම්, “තෙයොදෝසියස්” නම් පාලකයාගේ පාලනකාලය වනතුරුම මෙම ම්ලේච්ඡ අමානුෂික සටන් ක්‍රම පවත්වන ලදි.
මෙම කොලොසියමේ ඉදි කිරීම් ගත් කල මෙය වාස්තුවිද්‍යාත්මක ඉංජිනේරුවන්ගේ අති විශිෂ්ට නිර්මාණයක් බව කිවහැකිය.

මෙහි ඉදිකිරීම සඳහා යොදාගනු ලැබ ඇත්තේ හුණු මිශ්‍රිත කොන්ක්‍රීට් බදාම හා පුච්චන ලද හුණු මිශ්‍රිත ජලය හා ගිනිකඳුවල අළුය.මෙය ඉදි කිරීමේ දී වර්ෂ දෙකක් එහා ගිය අත්හදා බැලීම් සිදුකරන ලදි. මෙහි මුල් ව්‍යුහය සෑදීම සඳහා ගිනිකඳුවල අළු භාවිතා කළ අතර අවසානයේ එය වටා තනි රෝස පැහැති පෝසිලේන් තැන්පත් කරන ලදි. පසුකලෙක ක්ෂය වී ගිය කොන්ක්‍රීට් බදාම තැනීම සඳහා ලවණ මිශ්‍රිත මුහුදු ජලය උපයෝගී කරගෙන ඇත. මෙයට හේතුව නම් බදාම සඳහා ලවණ මිශ්‍රිත මුහුදු ජලය යොදා ගැනීම මෙහි කල් පැවැත්මට වාසිදායක වන බවය. කෙසේ නමුදු මෙය ඛාදනය වීම වැළැක්වීම සඳහා මෙහි ප්‍රතිසංස්කරණයට එකතු කරන ද්‍රව්‍ය ප්‍රතිරෝධාත්මක වෙනස් කොට වැඩි දියුණු කරන ලදී. “අගෝස්තො” නම් පාලකයා මෙහි ආරක්ෂාව සහතික කිරීමට ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කළ බව කියැවේ.


මෙම කොලෝසියමෙහි මිනුම්දඬු මෙසේය එනම් මහා අක්ෂය 188 m හා සුළු අක්ෂ 150 m වේ. මෙහි බාහිර උස 48.5 වේ. ආරුක්කු 80 හා පිවිසුම ප්‍රේක්ෂකයින් 55,000 කට ඉඩ පහසුකම් ඇත. බාහිර පෘෂ්ඨය භූගත ජලයේ ඇති කැල්සියම් තැන්පත් කර සාදා ඇති අතර එය පිළිවෙලින් ඒකාබද්ධ තීරු ත්‍රිත්වයකින් සමන්විත වේ. බිම් මහල (ඩොරික්) මැද මහල (අයනික) සම්මිශ්‍රණයකි. එම නිසාම මෙය “වෙලාරියෝ හෙවත් වෙලාරියම්” යනුවෙන්ද හඳුන්වනු ලබයි. ගොඩනැගිල්ල ඉහළින් ප්‍රේක්ෂකයින් හට රැකවරණය වන පරිදි ආවරණ සාදා ඇත. මෙහි මුහුණට මුහුණලා ඇති කවුළු සමාන්තර බවක් උසුලයි. ස්වභාවික හා මිනිසා විසින් කරන ලද ආපදා නිසා විනාශ වීම හේතුකොට ගෙන මෙය ආරක්ෂා කර ගැනීමට රජය විසින් කටයුතු කර ඇත. මක්නිසාද යත් මෙය වර්ෂ 2014 වනවිට ලොව ප්‍රබල සංචාරක සන්ධිස්ථානයක් වීමයි. මෙම “කොලෝසියමේ” ප්‍රතාපවත් බව දකින ඕනෑම සංචාරකයෙකු හට ඇස් අදහා ගැනීමට නොහැකි වන වග නම් සහතිකමය.

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි

piyumijayakalani@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *