ආදරේ නිදහසේ විදින්න ….( බන්ධන ) -01

කාලයක් මගෙ ලගත් තිබුණ හදවත පුච්චපු ප්‍රේමයක් . ඒ ප්‍රේමය මං වින්දෙ ජීවිතේ හොයන්න පටන් ගත්තු කාලෙ. අපිට ඕන උනේ නිදහසේ ඒ ආදරේ විදින්න . අපි අතින් අල්ලගෙන ඇවිදගෙන ගියා වෙරළට.

එදා පානදුරට අද වගේම ඇසළ වැස්ස. වැස්ස පෙම්වතුන්ට ආශිර්වාදයක් . ඉස්සර පානදුර වෙරළ දැන් වගේ නෙමෙයි. වැටකෙයියා පදුරු බිමට නැමිල කොළ පුරවගෙන හිටියෙ පෙම්වතුන්ට සෙවන දෙන්න.
අපිත් එහෙම හෙවනක් හෙව්ව. මට තාම මතකයි ආදරෙන් මත් වෙච්ච් ඒ ඇස්. මං ඒ උරපත බදාගෙන හිටියෙ සංසාර ගත ලෝබකමකින් .
“කුඩේ ඉහලන්නකො… ” එයා කිව්ව.

පැය භාගයක් විතර අපි කතා නොකරම මුහුද දිහාත් මුහුණ දිහාත් බලාගෙන හිටිය. අපි අපෙන් ඇස් ඈතට ගත්තෙ කවුද ඇවිත් කුඩේට තට්ටු කලාම.
” මල්ලි අපි පානදුර ක්‍රීඩා සමාජෙකින්. බීච් වොලිබෝල් මැච් එකක් තියනව. පොඩි සප් එකක් දෙන්න… ”
ර්‍එයා වචනයක් වත් නොකිය රුපියල් සීයක් දුන්න.

“රුපියල් සීය මොකක්ද මල්ලි. හැමෝම ලියල තියෙන්නෙ තුන්සීයෙන් උඩ. ඔයාල මෙහෙම නිදහසේ ලව් කරන්නෙ අපි මේවයෙ ඉන්න හින්දනෙ. නැත්තම් කුඩ්ඩො වැහි වැහැල. ”

එයා ආයෙත් රුපියල් දෙසීයක් දුන්න. ඒකත් සාක්කුවෙ දාගෙන ඊලග කපල් එක ලගට ගියා.
ආයෙත් අපි ගොළුවෙලා වගේ මුහුද දිහා බලාගෙන හිටිය . රැල්ල ඉස්සි ඉස්සි වෙරළට එන්නෙ හරියට කාලෙකින් නොදැකපු පෙම්වතියක් ලගට එනව වගේ. එයා මගෙ අතින් ඇල්ලුව. ඒ අතේ සීතල .

“මහත්තය තැඹිලි බොනවද…?”

ආයෙත් මනුස්සයෙක් ඇවිත් තැඹිලි වල්ලකුත් උස්සගෙන අපි පිටිපස්සෙ.
“දැන් එපා… ” එයා කිව්ව.
“එකක්වත් ගන්න මහත්තයො. අද වැස්ස හින්ද බිස්නසුත් නෑ. අපිත් ජීවත් එපෑ… ”
“හරි එකක් දෙන්න… ”
කියන පරක්කුවෙන් තැඹිලි ගෙඩියක් කපල බටයකුත් ගහල අතට දුන්න.
“රුපියල් සීයක් දෙන්න මහත්තය… ”
“සීයක් …?”
“ඊට අඩුවෙන් කොහින්ද … අපි ඕව ගස් බඩගාලෙනෙ කඩන්නෙ ”
එයානම් තැඹිලි උගුරක්වත් බිව්වෙ නෑ. රුපියල් සීයක් අරන් වීසි කරන්න ලෝබ කමට මං උගුරු දෙකක් බොන්නැති.
“ඉතිං කියන්නකො…. ” එයා ආයෙත් නිහඩතාවය බින්ද. ඒත් කියන්නෙ මොනවද කියල මට මතක් වුණේම නෑ. විනාඩි දහයක් විතර අපි ආයෙත් මුහුද දිහා බලන් හිටිය .
” නෝන සාස්තරයක් අහන්න නෝන… හරිම සීදේවි නෝන. මහත්තයට දෙයියට වගේ තමා සලකනව… ”
“අපිට සාස්තර එපා..” එයා තරහින් කිව්ව.
“සල්ලි ඕනෙ නෑ මහත්තය . මහත්තයගෙ මූණ බැලුවම කිව්වැකි. හම්බකරනවට වඩා වියදම.

හරි ප්‍රශ්න තමා හිතේ. විශ්වාස කරන්න එපා කාටවත් හතුරො තමා ඉන්නව . ”
තව මොනවද කියවගෙන්ස් ගියා. අහන් ඉන්න බැරිම තැන එයා මගෙ අතින් අල්ලගෙන නැගිට්ට.
” රුපියල් පනහක් දෙන්න මහත්තය . ප්ලේන්ටියක්වත් බොන්න… ”
එහෙම කියාගෙන ටික දුරක් පස්සෙන් ආව. එයානම් කීයක්වත් දෙන පාටක් නෑ. මං රුපියල් පහනක් ඒ කෙනාගෙ අතේ තිබ්බ.
“මල්ලි ත්‍රීවීලර් තියනව . පැයට දෙසීයයි. නිදහසේ ඉන්න පුලුවන් … ”
කවුද අයිය කෙනෙක් සිද්ධ වෙච්ච හැම දේම බලන් හිටිය වගේ අනුකම්පාවෙන් කිව්ව.
ඕෂෝ කිවව කතාව හරි. “ආදරේ උපයන්න ඕන දෙයක් … ” එතකොට ආදරේ විදින්නත් ඒ වගේම වෙන්න ඕන ඇති..
ආදරේ නිදහස විදින්න මං තාමත් ආසයි පානදුර වෙරළට යන්න. ඔයා ආයෙත් එනවනම් මං ආසයි මුහුද හුස්ම ගන්න සද්දෙ අහන්න ඔයත් එක්ක…

රැල්ලෙත් සැර
ඉර ගිලගත්තු හවසට
වැල්ලෙත් ඇති
අහසින් වැටුනු තරුකැට
සල්ලිත් නැති
සනීපත් නැති දවසට
නෙල්ලිත් පැණි රහයි
ආදරෙන් කනකොට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *