මුතු ඇටේ අමුතු වෙඩින් – බන්ධන 02

ජීවිතේ එක මොහොතක අපි හැමෝටම ඕන වෙනව අපිව තේරුම් ගන්න කෙනෙක් . එහෙම කෙනෙක් හම්බුනාම ජිවිතේ ගලාගෙන යන්නෙ හරියට වැහි බිංදු වගේ. ඔහේ වැටෙනව. කොහේහරි රැදෙනව. පුංචි දොළ පාරකට හරි එකතු උනොත් නවතින්නෙ මහ සාගරෙන්. නැත්තම් කොහේහරි ගුලක රැදිල කාලයක් පල් වෙවී තිබිල ගද ගහනව. එක්කො කොහේහරි විසිරිලා ගිණි ගහන්න පායපුවම වාෂ්පීභවනය වෙනව. වැටෙන වැටෙන විදිහටත්, තැන් තැන් වල ගැටෙන ගැටෙන විදිහටත් ජීවිතේ වැහි බිංදු වගේ වෙනස් වෙනව.

එහෙම කෙනෙක් හම්බුනාම කසාද බැදගන්න එක තමයි හැමෝගෙම හීනෙ. ලගදි මගෙ යාළුවෙක්ගෙ වෙඩින් කාඩ් එකක් ගෙදරට එවල තිබුණ . ආරාධනය අපි දෙන්නටම නිසා එක පයින් අපි වෙඩිමට ගියා.

අපි යද්දි පෝරුවෙ චාරිත්‍ර පටන් අරන්. මනමාලය මනමාලිට අන්දනව. මනමාලිගෙ අම්ම අඩනව. මනමාලි වෙලාවකට අඩනවා , ආයෙම හිනාවෙනව. ඊලගට ගෑණු ළමයි ඇවිත් “බාහුං සහස්ස මබිනිම්” කියල දෙන්නට ආශිර්වාද කලා. දැන් පෝරුවෙන් බහින්න නැකත හරි. ඒ අස්සෙ පොල්ගෙඩිය බිදින කැත්ත නැතුව කලබලයක්. වෙඩින් හෝල් එකේ කොල්ලෙක් කැත්තක් උස්සගෙන ආව. යන්තම් කපල් එක පෝරුවෙන් බැස්ස.

ඊලගට තිබුණෙ වෙඩින් කේක් එක කපන්න. තට්ටු තට්ටු හදල නෙළුම් කුළුණ වගේ. මනමාලය යි මනමාලියි යන්තම් පොඩි කෑල්ලක් කපාගෙන ඒ දෙන්න දෙන්නට කවාගත්ත. එතකොට ඉතිරි තට්ටු …..???

ඊට පස්සෙ තව ටේබල් එකක් ලගට ගියා. ඒක පිරෙන්න කිරිබත්, කැවුම් කොකිස්, පළතුරු ,හට්ටි මුට්ටි, කිරි, නෙළුම් මල්, හාල් පොල්…. නැති ජාතියක් නෑ. පොඩි මුට්ටි වගයකට පැන් කෙන්ඩියකින් කිරි වත්කලා. මුට්ටි ඇතුලෙන් පෙණ දදා සුදු පාට මොනවද අර තිබ්බ හාල් පොල් තෙමාගෙන ඉතිරුණා.

ඊට පස්සෙ කපල් එක ගිහින් හතර වටේ මල් ගහපු ඔරුවක් වගේ එකක වාඩිවුණා. අපිත් එක එක තැන් වල එක එක අයගෙ මූණ බලාගෙන වාඩවුණා. අදුරන කවුරුත් නැද්ද … නැත්තම් මට කාවවත් අදුනගන්න බැරිද… ???

හෝල් එකේ බිත්තියට ගහල තිබ්බ ප්‍රොජෙක්ටර් එකෙන් වීඩියෝ එකක් ප්ලේ උනා. ලස්සන මියුසික් එකක් එක්ක මනමාලි සුදු ඇදුමෙන් ඉස්කෝලෙ එනව. මනමාලය කොල්ලො සෙට් එකත් එක්ක මනමාලි ලගින් යනකොට ටෝක් කරනව. මනමාලි ලැජ්ජාවෙ ඇඹරෙනව. සිංදුව පටන් ගන්නව. මනමාලි මුහුදු වෙරළ දිගේ දිග ගවුමක් ඇදල දණක් වෙන්න උස්සගෙන දුවනව. මනමාලයත් ඒ පස්සෙ දුවනව. ඊට පස්සෙ දෙන්න එකතු වෙලා වැල්ලෙ කෝම්පිට්ටු හදනව.
” මොකක්ද අනේ මේ… ?” එයා ඇහුව.

” ඔය ෆ්‍රී ෂූට් එක. උන් දෙන්න ඉස්කෝලෙ යන කාලෙනෙ යාළු උනේ.. ”
” අනේ අපිටනම් ෆ්‍රී ෂූට් ඔනෙ නෑ හොදේ.. ” එයා කිව්ව.

ඊලගට දවල් කෑමට වතුර ඇල්ලුව. පෝලිමේ ගිහින් යන්තම් බෙදාගෙන හැදි ගෑරුප්පු පැත්තකින් තියල අපිනම් අතින් කෑව. කාල නැගිටින්න විදිහක් උනේ නෑ ගෑණු ළමයි ටිකක් නටාගෙන අපි ඉස්සරහ. අජන්තා බිතු සිතුවම්වල වගේ පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු උඩුකයයි බිම දිගේ ගෑවෙන සායයි ඇදල එයාල සිංදුවකට නර්තනයක් කලා. අතේ බත් වේලෙනකම් අපි බලන් හිටිය. අවසානයේ අන්කල් කෙනෙක් අත්පුඩිත් ගැහුව.
කැමරමන් හැරෙන හැරෙන අතට පොටෝ ගන්නව හරියට පැපරාසියෙක් වගේ. කපල් එකට කා එක්කවත් කතා කරන්නවත් දුන්නෙ නෑ.
” අපි යමුද…. පරක්කු වෙනව.. ”
එයා කිව්වම මනමාලිට කියල එමු කියල එයාවත් ඇදගෙන ගියාට මනමාලි නෑ. මනමාලය තනියම ඔරුවෙ.
” එයා ගොයින් අවේයි ඩ්‍රෙස් කරන්න ගියානෙ.” මනමාලය කිව්ව.

පැයකටත් වඩා බලන් හිටිය. පුදුම ඇන්දිල්ලක් නෙ. උදේ පටන් ගත්තෙත් පාන්දර දෙකටලු.මනමාලි යන්තන් එළියට ආව. ඒ අස්සෙ මනමාලිගෙ සෙරෙප්පුව බිමට දාල තිබ්බ

කාපට් එකේ එරිල. පැස්කල් මූලධර්ම ඉගෙනගත්තට කිසිම යෙදීමක් නෑනෙ. අඩු වර්ගඵලය වැඩි පීඩනයට ප්‍රතිලෝමයි කියල…..

කොහොමෙන්හරි මනමාලිගෙ මූණ ඉඹල තෑගි දීල එළියට ආව. එතකොටම බෑන්ඩ් එකේ අයිය කෙනෙක්
” එහෙනම් කට්ටිය නටන්න සෙට් වෙමු ද….. ? ” ඇහුව.

මේ මදැයි. උඩින් වැටිච්ච වැහි බිංදු මූණෙ තිබ්බ මේකප් හෝදගෙන කම්මුල් දිගේ පපුවට වැටුන. මගෙ පපුව සීතල වේගෙන ගියා. වැහි බිංදු පුරවන්නේ හිස් තැන්‍ ය. අපි ද විවිධාකාරයෙන් පුරවන්නේ අපේ හිස්තැන් ය. ඒත් තියෙන්නෙම හිස්තැන් ය.

මිනිස්සු ලස්සන හිනාවෙද්දි
ඊටත් වඩා අඩ අඩා හිනාවෙද්දි
බලාපොරොත්තු ලග තැවෙද්දි
ආයෙත් හීනයක් ලං වෙද්දි
ආදරේ හිතෙන්නෙම ලැබෙද්දි
නොලැබෙයිම කියා හිතෙද්දි
වැහි පොදද් ලස්සන වැටෙද්දි
වැටි වැටී ඔහේ ගලද්දි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *