පොතකින් දැනුනු කවක් – 07 – අශෝක කුලතුංග

පොතකින් දැනුන කවියක් 07.
කෘතිය : විල් නෙතක මල් මතක
කතෘ : නඳුන් යසිත දසනායක
ප්‍රකාශනය : සන්ථව

වැහි දවස්

වසන්තය නොඑළඹී දිය හිඳුණු දිවි පෙතේ
අද තමයි මං දැක්කෙ වැහිවලා ආකහේ
වහිනවා නම් ඉතින් අඬ – අඬා හීතලේ
තෙමි – තෙමී නටනවා නිවෙන තුරු ජීවිතේ…

හිත යටින් වැහි වතුර ගලන විට හීනයේ
තෙමෙන ඇස් වසාගෙන හිඳිනවා මං ඔහේ
වැව් පිරී උතුරද්දි මඟ දෙපස මාවතේ
මං කොහොම ඉවසම් ද ඉරිතැළුණු ජීවිතේ…?

මේ තරම් වැහිබර ව වලාකුළු දුටු දිනේ
ඇයි තාම නොවහින්නෙ හිත අසයි හාමතේ
වැහි අකුණු පුපුරවා තෙත පිරුණු ඇස් ඉමේ
මැකී යාවි ද? වලාකුළු යළිත් නුබ ගැබේ…

“බිම් ගෙයට සඳ ඇවිත්” කාව්‍ය සංග්‍රහයෙන් 2010 වර්ෂයේ දී කවි බිමෙහි පිය සටහන් තබන නඳුන් යසිත දසනායක කවියා තම කුළුඳුල් පද්‍ය කෘතියෙන් ම තම ප්‍රතිභාවන් මනාවට විශද කරයි. වර්ෂ 2012 දී “සියුම් අත්තටු නාද” හිසින් තම දෙවන කාව්‍ය ගත පාඨකයා හමුවේ සංගෘහිත කරන කවියා සිවු වසරක අධ්‍යයන පරිචයකට පසුව “විල් නෙතක මල් මතක” නම් අභිනව කාව්‍ය සංග්‍රහය ජනගත කරයි. විවිධ තේමා හිසින් යුත් කාව්‍ය නිර්මාණයන් 38 ක් එහි අන්තර්ගත ය. විවිධ කාව්‍ය පර්යේෂණවල නිරතවන නඳුන් යසිත දසනායක කවියා නූතන ම කවියන් අතර ප්‍රමුඛස්ථානයේ සිටින්නෙකි. 2017 වර්ෂයේ රජත පුස්තක අවසන් නිර්දේශිත කෘති අතරට මෙම කෘතිය එකතුවන්නේ නිර්මාණකරනය පිළිබඳ ව නඳුන් කවියා සතු පෘථුල බව වඩාත් සංස්පර්ශය කරමිනි.

මනසෙහි ජන්ම ලබන රූපාන්තරණය වන ප්‍රේමයක් අරමුණු කරගනිමින් “වැහි දවස්” හිසින් රචිත පැදි පෙළ නිර්මිත ය. ජීවිතයේ ගිම්හාන අවධියට පා තබන මිනිස් සිතක ප්‍රේමනීය සිතුවිලිවල ගතික ස්වභාවය කවියා විචිත්‍ර ලෙස වස්තු විෂය කර ගනී. සමස්ත නිර්මාණය උපයුක්ත කිරීමේ දී එය ස්ත්‍රී – පුරුෂ යන දෙපාර්ශවයට ම පොදු හුයක් ලෙසින් ගම්‍යමාන වේ. මේ නිසා විවරණයේ පහසුව පිණිස මම එක් පාර්ශවයක් තෝරා ගනිමි.

“වසන්තය නොඑළඹී දිය හිඳුණු දිවි පෙතේ
අද තමයි මං දැක්කෙ වැහිවලා ආකහේ
වහිනවා නම් ඉතින් අඬ – අඬා හීතලේ
තෙමි – තෙමී නටනවා නිවෙන තුරු ජීවිතේ…

‘වසන්තය’ යනු තුරුණු අවදිය යි. කථකයාගේ ප්‍රේමනීය වසත් සමය තවමත් නොඑළඹි බව “දිය හිඳුණු දිවි පෙතේ” යන කාව්‍යාලංකාර සපිරි පද්‍ය පාදයෙන් මැනවින් ආලෝලනය වේ. නමුදු ජීවිතයේ එක් මොහොතක ඔහුට ඒ ආදරණීය වස්සානයේ පෙර නිමිති දිස් වේ. ඉඩෝර බිමකට වැසි ලකුණක් ම ෙසෳභාග්‍යය කි. තුරුලතා, ගංඟා මේ නිසා නැවුම් ප්‍රබෝධයකින් ඉපිලෙයි. මිනිස් සිත ද එලෙසමය. ආදරය නොලැබුණු කථකයාට මෙය නැවුම් බලාපොරොත්තුවකි. කවියාගේ සංකේත භාවිතය ප්‍රශස්තය. ‘අඬ – අඬා’, ‘තෙමි – තෙමී’ යන පුනුරුක්ති පදවලින් පාඨක මනසෙහි ප්‍රේමනීය හැඟුම් වඩාත් තීව්‍ර කිරීමට නිර්මාණකරුවා සමත් වෙයි.

කථකයාගේ සිත් ගත් ප්‍රේමවන්තියගේ සිතේ ඔහු පිළිබඳ ආදරයක් මතුවී ද යන්න කථකයාට උභතෝකෝටික ප්‍රශ්නයකි. ආදරයෙන්, සෙනෙහසින් බැදී සිටින පෙම්වතුන් මඟ දෙපස ප්‍රේමානන්දයෙන් සිටිනායුරු “වැව් පිරී උතුරද්දි මඟ දෙපස මාවතේ” යන මනෝරම්‍ය පද බන්ධනයෙන් ස්පනිෂිත වන්නේ පාඨක හදවතෙහි චිත්ත රූප මවමිනි. කථකයා සතු හුදෙකලා බව ‘ඉරිතැළුණු ජීවිතේ…?’ යන ඖචිත්‍ය පද්‍ය ද්වයෙන් මනාවට උපස්තම්භනය වේ. ස්වභාවික පරිසරයේ සිදුවන සිදුවීමක් මතුපිටින් ජනනය කරමින් ගැඹුරු ජීවන අත්දැකීමක් උපයුක්ත කිරීම නඳුන් කවියාගේ නිර්මාණකරනයේ පරිනත බාවය යි.

“මේ තරම් වැහිබර ව වලාකුළු දුටු දිනේ
ඇයි තාම නොවහින්නෙ හිත අසයි හාමතේ
වැහි අකුණු පුපුරවා තෙත පිරුණු ඇස් ඉමේ
මැකී යාවි ද? වලාකුළු යළිත් නුබ ගැබේ…”

වහින්නට පෙර වැහිවලාවෙන් අහස බර වේ. ප්‍රේමය ද ඒ පරිදිම ය. එහෙත් කථකයාගේ මනස ශෝකයෙන් හා බියෙන් පෙලෙයි. ආදරයේ පෙර නිමිති දුටුව ද ඔහුට එය සැබෑ කරගැනීමට නොහැකි වේ යන පැනයෙන් ඔහු සලිත වෙයි. “මැකී යාවි ද? වලාකුළු යළිත් නුබ ගැබේ…” යන සරල පද්‍ය පාදයෙන් එය මැනවින් සංලක්ෂිත වේ.

“වැහි දවස්” පැදි පෙළ සළකා බැලීමේදී සමස්ත නිර්මාණය පුරාවට ම කවියා යොදාගන්නා ධ්වනිපූර්ණ, චිත්තරූපිත සරල භාෂා භාවිතයත්, සඳැස් ආකෘතියත්, පද්‍ය පේළියක් මාත්‍රා විස්සකින් සමන්විතව මාත්‍රා පහෙන් පහට ආඝාත තබමින් පස්මත් කැටියෙන් නිර්මාණය සුපෝෂණය කිරීමත්, සංකේත හා කාව්‍යාලංකාර භාවිතයත්, වාච්යාර්ථයට එහා ගිය ව්‍යංගාර්ථවත් පද බන්ධනයත් සැලකීමේදී මෙම කාව්‍ය පංතිය නඳුන් යසිත දසනායක කවියාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සංනිදර්ශනය කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *