සස්මිත නේත්‍රා – බන්ධන 03

ගිණි ගහන්න පායද්දි ජනේලයක් ඇරගන්න බැරි බස් එකක අව්ව වැටෙන පැත්තෙ වාඩිවෙලා යද්දි නළල දිගේ බේරෙන දාඩිය බිංදු පිහදාන්න අතේ ලේන්සුවක්වත් නැති උනාම දැනෙන සනීපය කියන්න වචන නෑ. එදත් එහෙම දවසක්. ඒ මදිවට බස් එකේ අයිය අහන්න ආසම සිංදු අපිත් අහන්න ඕන කියනව වගේ කර්ණශංඛයටත් වේදනාව දෙන සංගීතය. බස් එකේ ඉස්සරහ උඩ එල්ලල තියන ටීවී එකේ ඒ සිංදුවෙ තාලය අමතක කරල බඩ පෙන්න පෙන්න නටන අක්කල….

ඔය ඔක්කොම අස්සෙ ඩ්‍රයිවර් සීට් එකේ ඉදන් ඉස්සරහ කණනාඩියෙන් ඇස් කරකවන අයිය. දෙතුන් පාරක්ම එයාගෙයි මගෙයි ඇස් එකට එක හම්බවෙද්දි අහක බලාගත්තු මමත් හිනාවෙන එයත් එකම සිතුවිල්ලක කියල හිතුණ. අපිට අපේ ඇස් මගහැරෙන්නෙ ඉදහිටක ඉස්සරහින් බස් එකට නගින එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් කණ්නාඩිය වැහුනොත් විතරයි.

ලොකු බෑග් එකක් උත්සගෙන නැගපු අයිය කෙනෙක් කණ්නාඩිය වහගෙන අපි ඉස්සරහ හිටගත්ත.
” සමාවෙන්න බස් රථයේ ගමන් කරන සියළු දෙනාම මං මේ පුරුද්දකට කියල කරන රැකියාවක් නෙමෙයි. මම ආවෙ පානදුරේ ඉදන්. මගේ පුතාගේ හදවතේ සැත්කමක් කරලා තියෙන්නේ .එයාට යන බෙහෙත් වලට මුදල් හොයා ගන්නයි මං ඔයාලා ඉස්සරහට එන්නෙ .කරදරයක් උනා නම් සමා වෙලා මගෙන් හඳුන්කූරු පෙට්ටියක් අරන් පොඩි සහයෝගයක් දෙන්න .”

අයියා හඳුන්කූරු අරගෙන එක එක්කෙනා ලඟට ගියා . ඒ ඇස් ආයෙත් මගේ ඇස් ලග …. උඩි රැවුලට වැටිච්ච දාඩිය තොල්වලින් පිහදාන ගමන් එයා ආයෙත් හිනාවුණා. වෙහෙසකර හිනාවක තියෙන්නෙ අනුකම්පාසහගත හැඟීමක් .
” මෙන්න මං ගෙනල්ලා තියනවා පුංචි දූලා පුතාලට වැදගත් වෙන අපූරු පොතක් . ගෙදර ඉන්න නංගිට මල්ලිට ගිහින් දෙන්න නැත්නම් කාට හරි තෑග්ගක් දෙන්න …, මේ පොතේ තියෙනවා පුංචි දූලා පුතාලට ඕන වෙන සාමාන්‍ය දැනීම .

මිනිස් සිරුරේ විශාලතම අවයවය කුමක්ද ?
ලංකාවේ ජාතික පක්ෂියා කවුද ?
වඩාත්ම සෙමෙන් භ්‍රමණය වන ග්‍රහලෝකය …. වගේ වැදගත් තොරතුරු මේ පොතේ අඩංගු කරල තියෙනව . කඩෙන් ගන්නවා නම් පොතේ මිල රුපියල් දෙසීයයි , මං ඒකෙන් බාගයක්ම අඩු කරල රුපියල් සීයට ඔයාලට දෙනවා . කැමති කෙනෙක් ඉන්නවනම් ඉල්ලන්න පුළුවන් . ”

බස් එකේ පිටිපස්සෙ දොරට යනකල්ම සෙට් එකේ සද්දෙටත් වඩා සද්දෙන් පොතක් විකුණගන්න කෑගහන අංකල් අපිට අපේ ඇස් ආයෙම මුණ ගැස්සුවා .අද බස් එකක ලගම වාඩිවෙලා ඉන්න මනුස්සයාට පවා කතා කරන්න වෙලා තියෙන්නෙ අර අන්දරේගෙ බිරිද රජ බිසවට කතා කරපු විදියට.
බස් එකත් දැන් එකම සංගීත සංදර්ශනයක් . එයා ඇස් දෙකෙන් කතා කලා. කටින් කියනවට වඩා කොච්චර හැඟීම් ඇස්දෙකෙන් කියන්න පුළුවන්ද ?

බොංගො එකකුත් කරේ තියාගෙන ඊළගට ආවෙ තවත් අයිය කෙනෙක් .   අයෙක් බසිද්දී තවකෙක් වේදිකාවට ගොඩවෙන ජීවිතය නම් රඟමඩල … මට මතක් උනේ බර්ටෝල් බ්‍රෙෂ්ට් ව.
” අම්මේ තාත්තේ අයියේ අක්කේ මං ඔයාලා ඉස්සරහට ඇවිල්ල අතපාන්නෙ අරක්කු සිගරට් බොන්නවත් ගංජා ගහන්නවත් සල්ලි හොයා ගන්න නෙමෙයි . මං මගේ හැකියාව ඉදිරිපත් කරලා ඔයාලා දෙන පුංචි සහයෝගයෙන් ජීවත් වෙන අහිංසක කොල්ලෙක් . ඉතිං මගේ ගීතයක් රසවිදල පුළුවන්

සහයෝගයක් දෙන්න. “
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී …..

ගීතයක් කියන්නේ මිනිහෙකුගෙ හදවතට කතා කරන භාෂාවක්. මිනිස්සු හැගීම් වලට පන දෙන්න හරි ආසයි . හැඟීම් කියන්නේ තාවකාලිකව උපයන සතුටක් . අසංක ප්‍රියමන්තගේ මං ආසම සිංදුව. ගීතයකට, තනුවකට පුළුවන් අපේ හිත් පුරවන්න, වේදනාවෙන් පිරිච්ච මිහිරි හැඟීමකින්. ආයෙමත් ඒ ඇස් …. මං ඒ ඇස් එක්ක කතා කළා . සිංදුව ඉවර වෙද්දි එයා ඩ්‍රයිවර් මං ඒ බස් එකේ මගියෙක් කියල ආයෙමත් මතක්වුණා.

පොඩි දරුවෙක් වඩාගෙන නැගපු ගෑනු කෙනෙක් සීට් එකෙන් සීට් එක ලඟට ඇවිල්ල කිරි දානයක් දෙන්න කීයක් හරි ඉල්ලුව. ඒ දරුවගේ මූණ දැක්කම කීයක් වත් නොදී ඉන්න හිතුනෙ නෑ .
බස් එකේ එන්ජිම ගැහෙන සද්දෙට වඩා මගේ හදවත ගැහෙන සද්දෙ මට ඇහෙනවා . ජනේලෙන් එළියෙ තියෙන්නෙ හරිම කලබලයක්. වතුර බෝතල් විකුණන මනුස්සයෙක් බුලත් විට කාල කෙල ගැහුවෙ ” අපි පරිසරයට ආදරේ කරමු ” කියල ගහල තිබ්බ බෝඩි එක යල්බස් එක අද්දන්න ඔන්න මෙන්න තියෙද්දි තව අයියා කෙනෙක් ඉස්සරහට ඇවිත් අත්දෙක එකතු කරලා වැදල කතාව පටන් ගත්තා .

” මං පානදුරේ . මගේ පුතාගේ හදවතේ සැත්කමක් කරල තියෙන්නේ . මං ඔයාලා ගාවට ඇවිත් මෙහෙම කරදර කරන්නෙ මග දරුවාගේ බෙහෙත් වලට යන වියදම හොයාගන්න . මට පින ට සල්ලි එපා . පුළුවන්නම් සහයෝගයක් විදිහට මගෙන් හඳුන් කූරු පැකට් එකක් ගන්න. ”

ඒත් මේ කලින් අයියම නම් නෙමෙයි . අම්මලා තාත්තලා නැති දරුවො කොච්චර ඉන්නවද මේ රටේ . ඉතින් එකම දරුවාට තාත්තාලා දෙන්නෙක් ඉන්න එක මොනතරම් වාසනාවක්ද ?

අපි හැමෝගෙම ඇස් කළුයි සුදුයි. ඒත් අපි ඒ ඇස් වලින් හොයන්නෙ එක එක පාට.

ඒ පාට අස්සෙ කතාකරන ඇස් හොයාගන්න හරි අමාරුයි . කෙනෙක්ගෙ ඇස් වලින් ඒ කෙනාගෙ හදවත කියවන්න පුළුවන්නම්…… පෙනෙන බොරුව සහ නොපෙනෙන ඇත්ත දකින්න තිබුණ. ඇස් ඉස්සරහ තියන ගොඩක් ප්‍රශ්නාර්ථ වලට උත්තර හොයාගන්න තිබුණා.

මල් පෙති බදාගෙන සිඹින
පිණි කැට නොරැදේවි පෙති මත
වරෙක ගිලිහෙන මියෙන
පිණි සේ පිරී හිස්වේ හදවත
දිනක ඇසට ඇස හමුවන
තැන තැන ගැටේනම් මේ හිත
එතැන ජීවිතයෙ මියයන
හැගුම් දහරක උල්පත….

– නාමලී පෙරේරා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *