අපේ ම වී අප හමුවේවා – මේනුකා දම්සරණී

ජීවිතයේ දහසක් දෙනා වට සිටියත් හුදෙකලාව සිතට වද දෙන මොහොතක මට කවුරුන් හෝ ළඟින් නැති අඩුවක් දැනෙයි. ඒ කවුරුන් ද කියාවත් නොදැන ම මග යනඑන දහසක් මුහුණු මත මම සිත නිවන ජීවිතයේ හිස්තැන් පුරා පිරෙන රුවක් සොයන්නට ඇති. පියවර හඬකුදු නොනගා ඔබ හදවතට නොදැනීම සමීප වී ඇති බව වටහා ගන්නා විටත් මා ප‍්‍රමාදය ඔබට හදවතේ දොර නොහැර සිටින්නට. ඔබ හදවතේ ලැගුම් ගෙන අවසන් ය.

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරාවට
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූ වා නොසිතු ලෙසින්

ජීවිතේ මෙතෙක් ආ ගමන් මග හුදෙකලා ගමනක් බව වැටහුණේ ඔබේ උණුසුම් අතැගිලි අතර මගේ අතැගිලි පටලා ඇවිළුණු ජීවිතයක බර පසෙකින් තබා නිදහසේ ඔබේ පියවර හා සම ව නිවී නිවී ඇවිද යන විටය. ඔබ නොදැනීම මසිතට ළං වූණා පමණක් නොව මා ද නොදැනීම ඔබේ හදවතේ ලැගුම් ගෙන ය.

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්

පේ‍්‍රමයෙන් ළංවූ හදවත් විටෙක නොමිනිස් ලෝකයේ රිදුම් තැවුල් අතර ඉකිබිඳිද්දී තවත් සිත් පේ‍්‍රමයෙන් විකසිත වෙනවා. ඒ තමයි ලෝ දහම. ලෝකයට සිනාසෙන්නට ඉඩදී හදවතින් වැළපෙන පෙම් සිත් අතර ඔබත් මමත් ඇති.

මිලාන වූ මල් ඉකිබිඳ වැළපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

රුදුරු සිත් මැද රිදෙන සිත් ඇතිව ඉපදීම ම දුකක් බව හඳුනමි. ජීවිතයේ රිදුම් සැනසුම් කියන්නට පෙර කියවාගත්තේ නම් ඒ ඔබ ම පමණි. ඒ රිදුම් පිරිමදින ඔබේ රුව ම අද සිහිනයක් වූ විට ජීවිතය වෙහෙසකර බව පමණක් ඔබට පවසමි.

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

සැනසීම මේ යැයි හසරැල්ල මේ යැයි කියාදුන් ඔබ ම ඔබේ දුරස් වීම ම අද කඳුළට දුකට මග කියන විට ඔබේ සෙනෙහස් සුවය අතහැර ලෝකයට බියවී පළා යායුතුදැයි මම සියදහස්වර මගෙන් ම විමසමි.

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

ජීවිතයේ නුපුරුදු තැනෙක නොසිතූ දිනෙක එකිනෙක පැටළුණු අත්වැල් කී වරක් නම් ලිහි ලිහී යළි බැඳෙන්නට ඇත් ද? සීමා වැට කඩුලූ බැඳ පෙම් සිත් සසලකර තෙන් අයා බලා සිටින ලෝකය මොහොතකට සසලකර නිසසලව නෙත් පුරා ගිලී හුදෙකලා රජදහනක අපි හදවතින් එක්වෙමු ද?
බිඳි බිඳී යළි බැඳෙන ගමන නිමාකර, අපි සදහට ම හමුවෙමු ද? එක ම වර එක ම අහසක නැගෙන හිරුත් සඳුත් ලෙස.

හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එක ම අහසක හමුවෙලා
ලොව ම සසල ව බලා සිටියාවේ
යළිඳු අප ඇත ළංවෙලා

ඔබ බොඳ නොවන සුපෙම් සිහිනයක්, සිහිනෙකින් පවා මගේ හද නිවන ජීවිතය නළවන…. හුදෙකලාවේ රුදුරු හදවත් මැද නිහඬව ම වැළපුණු හදවතට සිතුවිල්ලකින් පවා සිහිලස ම ඉසින….

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ
නිදන නෙතු යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා

ඇස් ගාව නතර වෙන බොහෝ හෙවනැලි අතර හිත ගාව රැඳෙන්නේ එක ම එක රුවක් පමණි. හිත ළග දග කළ ඇස් ගාව හිනැහුණු ඔබේ රුවත් ඒ වගේ හදවතින් නොමැකෙන සෙවනැල්ලකි. ඔබේ ඇස්වල පේ‍්‍රමණීය බැල්ම වසන්තයකට කළ ආරාධනාවක්.

හිත ගාව දග කළා
නෙත ගාව හිනැහුණා
පැතුමකට ඉගි කළා
හදක ආරාධනා

ගල් බොරලූ කටු අකුල් පිරුණු ජීවිත ගමන අතරමග අහම්බෙන් හමුවුණු ඔබ පේ‍්‍රමයේ සිහිල් දොළ පාරකි මට. ජීවිතයේ දුකම පිරුණු ඉඩෝරෙක ඔබේ ඇස් බැල්ම, මට මල් මාවත් පිරි වසන්තයකට සෙනේබර ඇරයුමකි. ඒ පේ‍්‍රමයේ ගිළී කිමිදී ජීවිතයේ බොහෝ දුර පැමිණි පසුත් හැමදාමත් හදවතට දැනෙන්නේ ම සිනිඳු මල් පෙති මත ජීවිතය සතපවා දිනෙන් දින පිපෙන වස්සානයක්ම මිස, බිඳෙන් බිඳ ගෙවී යන තවත් ඍතුවක් නොවන බවම ය.

සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියැවුණා
සිව් නෙතක් ළං කළා ඔබේ ආරාධනා
කුරුලූ ගි පාවුණා නිල් නුවන් ගැබ පුරා
වසත් කල ළං කළා සෙනෙහෙ ආරාධනා

රන් හුයෙන් අතැගිලි බැඳ එක ම හෙවනක ඔබේ පතිනිය ලෙසින් අලූතින් ජීවිතයට උපදින්නට මම සිහින දකින්නෙමි. ඔබේ ජීවිතය මල්කමින් ලියකමින් හැඩ කරන්නට සේ ම ජීවිතයේ රිදෙන තැවෙන තැන්වල ඔබ හා ළංව සිට මේ මිහිමත ඔබ ළග නිබඳ සෙවනැල්ලක් වන්න මම සිහින මවමි’ මේ, ඒ සිහින සැබෑ වූ දිනෙක අපේ පේ‍්‍රමයේ උදාන ගීයයි…..

සිගිති සණ්ඩු මැද හිනා වේවී
කිරුලූ පළන් ජීවිත ගමනේ
දෝර ගලා දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී

පෙම්වතුන් සේ ජීවිතයේ විඳි මිහිරි මතකය එකම සෙවනක් යටත් ඔබත් මමත් අපත් වෙනුවෙන් යළි යළිත් විඳින්නට රන් හුයෙන් බැඳි අතැගිලි පටලා එකම කැදැල්ලක සෙනේබර පෙම්වතුන් ලෙස හිඳින්නට අපි අපට ම පොරොන්දු වෙමු. එදා ඔබ හා පේ‍්‍රමයෙන් හුදෙකලා වුණු ගං ඉවුර ලතා මඩුල්ල වෙරළ ඉම මතකයේ දරාගෙන ඔබේ තුරුලේ ඔබේ ම පතිනිය ලෙසින් සදා තුරුණු පෙම්වත්කමින් හුදෙකලා වෙන්න ඇත්නම්…. එයයි අප පේ‍්‍රමයේ මම පතන උත්තම මාර්ග ඵලය.

ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
සයුරු මානයේ පුලින තලාවේ
සෙනෙහස් හැගුමින් චමත්කාර වී
අප ගැන අප සිතු හැටි මිහිරියි

ඒත් ඒ පේ‍්‍රමය තවමත් සිහිනයකි. ඔබ ඔබේ පැලේ. මම මගේ පැලේ. හමුවුණේ කොතැන ද කෙලෙස ද කුමට ද නොදැන, හෙට නුඹ ව හිමි වේ ද අහිමි වේ ද නොදැන ඒත් ජීවිතේ අවසන් ම හුස්මෙනුත් ඔබව ම පතන මගේ පේ‍්‍රමයේ නිරන්තර ප‍්‍රාර්ථනය මෙයයි….

යෙහෙළියන්ගේ ඉගි දිනක සැබෑ වී
ඔබේ ම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේ ම වී මා මගේ ම වී ඔබ
අපේ ම වී අප ඉපදේවා

හදවතින් හමුවෙන අපි හදවතින් වෙන් නොවී යළිත් හමුවන්නට, අත්වැල් බිඳ සමුගන්න දවස් නිමාකර, ඔබත් මමත් නොවී අපට අප වන්නට හැකි ලෝකයකට දොරගුළු විවර වේවා….. ඒ ලොවේ අප හමුවෙන, ජීවිතේ මේ විඩාබර දවස් ඇසුරු සැණින් ගෙවී යානම්…..

ඇසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලූතින් බිහි වේවා
ඔබේ ම වී මා මගේ ම වී ඔබ
අපේ ම වී අප ඉපදේවා

සුවඳ ඉතිරිකර පරවන්නට මල්වලට හැකිය. එසේ ම මිනිසුන් ලෙස අපට අවැසිනම් පමණක් ලෝකයට සුවඳ ඉතිරිකර මිය යා හැකිය. එවැනි මිනිසුන් සදාකාලිකය. ඔවුන් සුවහසක් සිත් තුළ සදා ජීවමානය.
ඒත් මේ සටහන මලක් ගැන නොව… මලක් ඉතිරිකර ගිය සුවඳ ගැන සටහනකි…. කුසුමියක, මියෙන්නට පළමු සුවහසක් සිත් තුළ ඉතිරිකර ගිය සුවඳ අහුරක කතාවකි…..

ප‍්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක ගේය පද රචිකාවියක ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස සුවහසක් හදවත් තුළ ආදරණීය මතකයක් වී අපෙන් සමුගෙන ගිය කුසුම් පීරිස් මහත්මිය අතින් ලියැවුණු සොඳුරු පදවැල් ඇසුරේ ඇයට උපහාරයක් ලෙස තැබූ සටහනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *