පොතකින් දැනුන කවියක් – 08 – අශෝක කුලතුංග ලියයි

කෘතිය : සිඹිමි නිල් තුරු සිරස
කතෘ : නයෝමි සිරිනාලි නවරත්න
ප්‍රකාශනය : කවිවර

අවසාන තත්පරය වෙනසක ඇරඹුමයි.

සේනේහෙන් සිප බදාගත් පස
අකල් අවු වැසි තුඩු වැදී
මුදුන් සහ අන් සියලු අක් මුල්
බුරුල් වෙන්නැති රිදි රිදී
සතර වට කළු වලා ඇහැරී
කුණාටුවකට අර අඳී
බමන රුක් හිස වියරු විලසට
ඉතිරි කොළ ඉති හිත බිඳී
අනාරක්ෂිත කුරුලු කූඩුවෙ
පැටවු හාමත් වී නිදී
කිරිල්ලී බිඳි පියාපත් ඉකි ගසා
කඳුළින් පිරිමදී
අසුරු සැණකින් නැගිට ජවයෙන්
ඈ පැටවු වෙත දිරි දිදී
අතැර රුක් කඳ මහා වැසි මැද
පියාඹයි දුරකට ඇදී
අකුණු සමඟින් වැහි කැටිති වට
තව තවත් ගිගුරුම් දිදී
එළඹි අවසන කුණක් දැරු රුක
මහී මවු වෙත ළය පිදී

ස්ව ජන්ම භූමියෙන් බොහෝ ඈත පියඹා මළ මුහුදටත්, ගෝලාන් කඳුවැටියටත් මායිම් වූ යුදෙව් දේශයේ සිට කවි පියුම් සුපිෂ්පිත කරන මවු රටේ සුවඳ කව් මතින් සුගන්ධවත් කරන නයෝමි සිරිනාලි නවරත්න කිවිඳියගේ අභිනව කාව්‍ය කෘතිය “සිඹිමි නිල් තුරු සිරස” යි. 2014 වර්ෂයේ ‘කාව්‍යාංජලී’ නම් කාව්‍ය සංග්‍රහයේ හා 2016 වර්ෂයේ ‘සඳස නිලවර පියස’ නම් වූ විරිත් කාව්‍ය සංග්‍රහයේ ද සංස්කරණය තත් කිවිඳිය අතින් සිදු විය. වර්ෂ 2016 දී “සිහින තුළ මුත් අමුතු රස ඇති” හිසින් තම ප්‍රථම කාව්‍ය කෘතිය ජනගත කරන කිවිඳිය ඉන් දෙවසරක නිහැඩියාවකින් පසු අප සම්මුඛ වන්නේ “සිඹිමි නිල් තුරු සිරස” හිසින් විරචිත නව පද්‍ය සංග්‍රහයෙනි. කාව්‍ය නිර්මාණ 41ක් මෙහි අන්තර් ගතවන අතර සඳැස් හා නිසදැස් යන කාව්‍ය ආකෘති ද්වයෙන් ම නිර්මිත නිර්මාණයන් හි කිවිඳියගේ ප්‍රතිභාව මනාවට සංස්පර්ශය වේ.
කාන්තාවක සතු දාරක ස්නේහයත්, අප්‍රතිහත ධෛර්‍යයත් අරමුණු කරගනිමින් “අවසාන තත්පරය වෙනසක ඇරඹුමයි” යන පද්‍ය පංතිය සංරචිත ය. කුරුලු කූඩුවක් රැදි වෘක්ෂයක් අනපේක්ෂිත ලෙස කුණාටුවකට මුහුණපෑම කිවිඳිය තම වස්තු විෂය කරගනී. මතුපිටින් ගම්‍යවන අර්ථය අභිබවා යන ගැඹුරු ජීවන දර්ශනයක් ව්‍යංගාර්ථව විශද කිරීම කිවිඳිය සතු කාව්‍යකරණයේ පරිනතබාවය යි. කිහිපවතාවක් ම පදයෙන් පදය ලිහා බැලීමේ දී මතුපිට අර්ථයට එහා ගිය ජීවන අත්දැකීම් ද්වයක් ඉතා සියුම් ලෙස පෙරා ගැනීමට මාගේ කාව්‍ය පරිඥානයට හැකි විය.

“සේනේහෙන් සිප බදාගත් පස
අකල් අවු වැසි තුඩු වැදී
මුදුන් සහ අන් සියලු අක් මුල්
බුරුල් වෙන්නැති රිදි රිදී”

මුදුන් මුලක් සහිත සවිමත් තුරක් පොළව හා තදින් බැඳී පැවතියත් අකල් වර්ෂාවකින් ඒ මුල් බුරුල් වී වෘක්ෂය ඇද වැටීමේ පෙරනිමිති කිවිඳිය මතුපිටින් උපස්තම්භනය කරයි.

කිරිල්ලිය හෙවත් තත් කථකාව නිවසන ගෘහය නොසිතූ ලෙස ස්වභාවික ව්‍යසනයකට මුහුණපාන බව ව්‍යංගව සංලක්ෂිත වන එක් ජීවන අත්දැකීමකි.

තවත් සියුම් ලෙස මෙය නිරීක්ෂණයේ දී කථකාව වාසය කරන පියස කූඩුව ලෙසත් ඇය රකින සැමියා වෘක්ෂය ලෙසත් අකල් වැසි අනියම් ප්‍රේමයක මඟ ලකුණු බවත් මැනවින් ආලෝලනය වේ. සිවුපද ආකෘතිය තුළ කිවිඳිය බන්ධනය කරන සරල රූපකාර්ථවත් බස් වහර ප්‍රශස්ත ය.

“සතර වට කළු වලා ඇහැරී
කුණාටුවකට අර අඳී
බමන රුක් හිස වියරු විලසට
ඉතිරි කොළ ඉති හිත බිඳී”

ස්වභාවික කුණාටුවක් ඇතිවීමේ දී මහා තුරු පවා දස අතට සෙලවෙයි. මේ නිසා අතු මත ඇති සියලු පත් බිමට ඇද හැලෙයි.

කථකාව වෙසෙන නිවස ද එලෙසින්ම ක්‍රමයෙන් මේ සුළි කුණාටුවෙන් විනාශයට පත්වන බවක් දෙවන ජීවන අත්දැකීමට අනුව උපයුක්ත වේ. පාඨක හදවතේ සංවේගය වඩාත් තීව්‍ර කරන කිවිඳියගේ චිත්ත රූපිත භාෂා භාවිතය ඉතා සාර්ථකය. ‘වියරු’ යන පදයෙන් එහි භයංකාරත්වයත්, ‘හිත බිඳී’ යන දෙපදයෙන් කථකාවගේ හදවතෙහි නැගෙන බිය හා ශෝකයත් මනාවට දෙස් දෙයි.
තෙවන ජීවන අත්දැකීමට අනුව කුටුම්බිය රකින සැමියා අනියම් පෙම්වතියගේ උසිගැන්වීම මත කථකාව සමඟ අඩදබර ඇතිකරගන්නා බව විද්‍යාමාන වේ. “බමන රුක් හිස වියරු විලසට” යන පද්‍ය පාදයෙන් එය මැනවින් ධ්වනිත වේ. කථකාව මෙම ගැරහුම් මධ්‍යයේ අප්‍රමාණව ඉවසන බවත් ඇගේ හදවතේ නැගෙනා සංවේගයත් කිවිඳිය “ඉතිරි කොළ ඉති හිත බිඳී” යන පද්‍ය පාදයෙන් ජනනය කරයි.

“අනාරක්ෂිත කුරුලු කූඩුවෙ
පැටවු හාමත් වී නිදී
කිරිල්ලී බිඳි පියාපත් ඉකි ගසා
කඳුළින් පිරිමදී”

කාව්‍ය නිර්මාණයේ එකදු පද්‍ය පාදයක්වත් අතැර මෙම පැදි පෙළ රසවිදිය නොහැකි තරමට ම නිර්මාණකාරියගේ මනෝරම්‍ය පද සංඝටනය විශිෂ්ට ය. කිරිලියගේ පෙම්බර කුරුල්ලා බිඳුණු පියාපත් ඇති පක්ෂියෙකු බව සිරිනාලි කිවිඳිය අපට සම්මුඛ කරනුයේ නිර්මාණයේ තෙවන පද්‍ය කාණ්ඩයෙනි. සුළි කුණාටුව අභියස පැටවුන් හාමත් ව අනාරක්ෂිතව නිදන බව රූප රාමු පෙළක් සේ පාඨක හදවතෙහි ලැඟුම් ගන්නේ කිවිඳිය සතු කාව්‍යකරණයේ පෘථුල බව නිසාවෙනි.

කථකාවගේ සැමියා ආබාධිත ය. මේ ස්වභාවික ව්‍යසනය මැද දරුවන් සාගින්නෙන් පෙළෙන බවත්, නිවස තුළ ඔවුනට ඇති අනාරක්ෂිත බවත් දෙවන ජීවන අත්දැකීමට අනුව මනාවට සංනිදර්ශනය වේ. “ඉකි ගසා – කඳුළින් පිරිමදී” යන පද්‍ය පාදයෙන් පාඨක හදවතෙහි සංවේගය වඩාත් තීව්‍ර කරමින් කරුණා රසය උපස්තම්භනය කිරීමට ඇය සමර්ථ වෙයි.

තෙවන ජීවන අත්දැකීමට අනුව කථකාවගේ සැමියාගේ අනියම් ප්‍රේම සබධතාවය නිසා කුටුම්බියේ අඩදබර ඇතිවීමත්, මේ නිසා දරුවන් ද කුසගින්නේම නිදා සිටින බවත් රූපණය වේ. සැමියාගේ තාඩන පීඩන මධ්‍යයේ බැටකන කථකාව තැළුණු, බිඳුණු අත්පා තමා විසින් ම පිරිමැද ගැනීම පාඨක නෙතග කඳුළක් ජනනය කරනු නොරහසකි. කිවිඳියගේ සරල පද සංඝටනය එතරම් ම ශෝකී රසයෙන් සංගෘහිත ය.

“අසුරු සැණකින් නැගිට ජවයෙන්
ඈ පැටවු වෙත දිරි දිදී
අතැර රුක් කඳ මහා වැසි මැද
පියාඹයි දුරකට ඇදී”

මහ වැසි මධ්‍යයේ වුව කිරිල්ලිය තම සිතට එඩිය ගෙන කුරුල්ලා අතහැර පැටවුන් රැගෙන කූඩුවෙන් ඉගිලෙන්නී ය. මතුපිටින් කිවිඳිය විචිත්‍රවත් කරන පද්‍ය සිතුවම මනරම් ය.

ස්වභාවික ව්‍යසනය හමුවේ තම ආබාධිත සැමියා කැටුව යෑමේදී ඔවුන් ද එයට හසුවන බව වටහාගත් කථකාව හිත දැඩි කරගනිමින් තනිව ම දරුවන් හා යෑමට සූදානම් වන බවක් දෙවන ජීවන අත්දැකීමට අනුව විශද වේ. සිරිනාලි කිවිඳියගේ සරල රූපිත පද බන්ධනය ප්‍රශස්ත ය.

එකම කුටුම්බිය තුළ විරසක ව, අඩතේට්ටකම් හා ගැරහුම් ලබමින් සිටීමේ පලක් නැති බව වටහාගත් කථකාව තම දරුවන් ද රැගෙන සැමියා අතහැර ඔහුගේ ජීවන සුවය පිණිස නිවසින් සමුගනී. පාඨක හදවත ප්‍රකම්පනය කරන කිවිඳියගේ අලංකෘත භාෂා භාවිතය නිර්මාණශීලි ය.

“අකුණු සමඟින් වැහි කැටිති වට
තව තවත් ගිගුරුම් දිදී
එළඹි අවසන කුණක් දැරු රුක
මහී මවු වෙත ළය පිදී”

මතුපිට රූපනයට අනුව අවසානයේ මහා වැසි මැද කැදැල්ලේ තනි වූ කුරුල්ලා සමඟ ම වෘක්ෂය පොළවට ඇදවැටී විනාශයට පත් වේ.
කුටුම්බියේ තනි වූ ආබාධිත සැමියා ස්වභාවික ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්වන අතර ඔවුනගේ නිවසත් ඒ සමඟින් ම විනාශයට පත් වීම ද්වන ජීවන අත්දැකීමට අනුව ආලෝලනය වේ.

තම බිරිද නිවසින් බැහැර වුව ද කථකාවගේ සැමියා හා අනියම් පෙම්වතිය අතර එතරම් ම සාමකාමී දිවිපෙවතක් පැවති බවට සාධක නොපෙනේ. අවසානයේ ඔවුන් ද විටින් විට අඩදබර ඇතිකරගත් බව “අකුණු සමඟින් වැහි කැටිති වට” පද්‍ය පාදයෙන් මනාවට දෙස් දෙන අතර “තව තවත් ගිගුරුම් දිදී” යන පද්‍ය පාදයෙන් එම අඩදබර වඩාත් වැඩි වූ බවක් උපස්තම්භනය වේ. කථකාවගේ සැමියාට තම අනියම් ප්‍රේමවන්තිය පෙනෙන්නේ ‘කුණක්’ ලෙස ය. එතරම් ම ඔහුට නව සංවාසය අප්‍රිය විය. මේ නිසා ඔහු ඒ පෙම්වතියගේ දිවි තොර කොට තමාගේ දිවිය ද තොර කරගන්නා බව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ දී සංස්පර්ශය වේ.

මාගේ කාව්‍ය පරිචය අනුව නිර්මාණය අවසානයේ කිවිඳිය බෞද්ධ දර්ශනයකට පාඨකයා අවතීර්ණ කරයි. ලෝකයේ පවතින සියලු බැදීම්වල කෙළවර විනාශය යි. ලොව පවතින නියම සහ අනියම යන සියලු දෑ අස්ථිර ය. ඒවා කවදාක හෝ කෙලෙස හෝ විනාශ මුඛයට යෑම ස්ථිර බව කිවිඳිය මෙහිලා අපට පසක් කරයි.

පද්‍ය පාද ද්විත්වයක් එක් කර මාත්‍රා විසි හය බැගින් නිර්මාණයේ මුල සිට අග දක්වා ව රිද්මය රැකීමත්, සෑම පැදි පෙළවල් දෙකක් අවසානයේ ‘දී’ අක්ෂරයෙන් අවසන් කිරීමෙන් නිර්මාණයේ පවතින ශෝකී බව වඩාත් පාඨක හදවතට සංගෘහිත කිරීමත් කිවිඳියගේ නිර්මාණකරණයේ ස්ඵුටබාවය යි. එකම කාව්‍ය නිර්මාණයක් තුළින් සියුම් ලෙස ජීවන අත්දැකීම් ද්වයක් උපයුක්ත කිරීමේ දී කිවිඳිය යොදාගන්නා සිවුපද ආකෘතියත්, ධ්ව්නිපූර්ණ සරල මනෝරම්‍ය පද බන්ධනයත්, පාඨක හදවත වඩාත් සංවේගයට පත්කරවන චිත්ත රූපිත භාෂා භාවිතයත්, ශෝකී හා කරුණා රසය විශද කිරීමත් සැළකීමේ දී සිරිනාලි කිවිඳියගේ තත් කාව්‍ය නිර්මාණය ඉතා සාර්ථක නිර්මාණයක් බව මනාවට උපලක්ෂිත කළ හැකිය

 

– අශෝක කුලතුංග –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *