ඩබලකගේ රැඩිකල් ලියුම් ගැන සහෘදයන්ගේ සංවාදශීලී දෙඩවිල්ල

අසංක සායක්කාරගෙ “වසරේ හොදම කෙටි කතාව” සහ විමල් කැටිපේ ආරච්චි විසින් රචිත” NGO හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල ” කෘති ද්විත්වය එළඹෙන 07 වන දින සවස 3.30 කොළඹ මැහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වීටම නියමිත අතර මෙම කෘති ද්විවත්වය හා එහි කර්තෘ සහෘදයන් සම්බන්ධයෙන් රැහේ හිත මිතුරන් කිහිප දෙනෙකු සමග lankatarget.com කළ විශේෂ සාංවාදශීලී ප්‍රශ්න යොමුව හා ඊට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ..

නිර්මාණයට මෙන්ම සමාජ ක්‍රියාකාරීත්වයට අවංක දෙන්නෙක් – අජන්ත අහකෝන්

ajantha alahakoon

නිර්මාණකරුවෙක් ලෙස කැටපේගේ හා සායාක්කාරගේ භාවිතාවන් සම්බන්ධයෙන් කවරක් ප්‍රකාශ කළ හැකිද ?

කැටිපේ සහ සායා වාමාංශික දේශපාලනික පදනමක් සහිතව මාධ්‍යකරණයට පිවිසි දෙදෙනෙක්. පුවත්පත් කලාවට අමතරව කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව, නාට්‍යය, ටෙලිනාට්‍යය, සිතුවම යනාදී කලා වපසරිය තුළ මොවුන් දෙදෙනාගේ නිර්මාණාත්මක භාවිතය ප්‍රගතිශීලීයි.

 ප්‍රායෝගික භාවිතාවේදී සිදුකරන දේශපාලන ක්‍රියාකාරීත්වය හා සාහිත්‍යෙය්දී සිදුකරන දේශපාලන ක්‍රියාකාරීත්වය එකි නෙකට වෙනස් මේ පදනමේ සිට මේ දෙදෙනාගේ කෘතීන් එළිදැක්වීම හා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද

කැටිපේ සහ සායා වාමාංශික අදහස් සහිත විශේෂයෙන් ඒ තුළත් නිතරම දේශපාලනිකව යාවත්කාලීන වීමට උත්සාහයක නියැලෙන චරිත දෙකක්. ලාංකීය කලාව තුළ නිර්මාණය සහ භාවිතය කියන්නේ එකිනෙකට දුරස් වූ අදහස් දෙකක්. හුදු බිස්නස් එකටම පමණක් ප්‍රගතිශීලී දේශපාලනික අදහස් නිර්මාණ තුළින් සමාජගත කර මුදල් හොයන වටාපිටාවක සිය නිර්මණයන්ට අවංකව නිර්මාණාත්මක කටයුත්තේ නියැලෙමින් සිය නිර්මාණයන්හි අන්තර්ගත දේශපාලනික අදහස්වලට සමගාමීව සමාජය තුළ තමන්ගේ භාවිතය සහ හැසිරීමද ප්‍රගතිශීලී ක්‍රියාවලීන් සමග බද්ධව කටයුතු කිරීමට කැටපේ සහ සායා සෑම මොහොතකම අවංක උත්සාහයක නියැලෙයි.

 

අසංක සායක්කාර යනු පිට කසා සනසවන්න බැරි `කෙලින් මිනිහෙක්` –  (NGO) කර්තෘ – විමල් කැටිපේ ආරච්චි

Wimal ketipearachchi

 

සායක්කාර අමුතු පන්නයක නිර්මාණකරුවෙක් වෙන්නේ කොහොමද ?

අසංක සායක්කාර කියන්නේ මතක හිටින්න ලියන්න පුළුවන් මිනිහෙක්. ඔබ ලංකා පත්තරේ පාඨකයෙක්ව සිටියා නම්, සායා ලංකා පත්තරේට ලියපු `කාක දූපතේ කතා` ඔබට හොඳින් මතක ඇති. කාක දූපතේ කතා විසින්, වාරණ නීති රීතිවලින් රිංගලා ගිහින් දේශපාලුවන්ගේ නිරුවත වහපු `චූටි කලිසම්` පවා ගලවලා වීසි කරනු ලැබුවා. ඔහු ලියූ `අයාලේ` කවි ඔබේ මතකයේ තාමත් පෙරළි කරනවා ඇති. `අයාලේ` විසින්, සම්මත සදාචාර මන්දිර සෙල්ලං ගෙවල් සේ සර බර ගාලා බිමට පාත් කරනු ලැබුවා. ඔහු විසින් සම්පාදනය කරන ලද, ලෙස්ටර් ජේම්ස් පීරිස් – ප්‍රේමසිරි කේමදාස වැනි යෝධයන්ගේ චරිතාපදාන, සරල සුගම නව ආරක් – නව පාරක් හඳුන්වා දුන්නා. ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවාගේ දිවිසැරිය ලංකා පත්තරයට කොටස් වශයෙන් සතිපතා ලිව්වා. එය ආරම්භ වන්නේ ලෙස්ටර් මහත්තයාගේ උපතෙන්. කතාව අවසන් වන්නේ, “ඔබ තුමන්ගේ ජීවිත කතාව ලියමුදැ“යි එතුමන් වෙත ලංකා පත්තරයෙන් එන දුරකථන ඇමතුමෙන්. අන්න ඒ වගේ මතක හිටින්න ලියන්න පුළුවන් මිනිහෙක් තමයි අසංක සායක්කාර. මම ඔහුගේ පාඨකයෙක් හැටියට මේ දේවල් කියන්නේ, අසංක සායක්කාර යනු පිට කසා සනසවන්න බැරි `කෙලින් මිනිහෙක්` බව හොඳින් දැනගෙනයි.

මාර්කට් එක ගැන හිතල පොත් ලියද්දී, එයින් සාහිත්‍යයේ පෝෂණයට වැඩක් වෙනව කියල හිතනවද ? මම ඇහුවේ සායාගේ පොතේ නමත් එක්ක ගොඩ නැගෙන ප්‍රශ්නයක් නිසා ?

ඒ ප්‍රශ්නය ගොඩනගන උදවිය මතුකරන හරය, `වසරේ හොඳම කෙටිකතාව` නමින්, අසංක සායක්කාරගේ කෙටිකතා සංග්‍රහය නම් කිරීම, වෙළඳපොළ ඉලක්ක කරගෙන කළ වැඩක් ය – එයින් සාහිත්‍යයේ පෝෂණයට වැඩක් වෙනවද ; යන්න නම්, (ඔහ්.. `මාර්කට් එක ගැන හිතල පොත් ලියද්දී` කියල කොටසකුත් තියෙනව.) කොහොම වුණත්, මගේ උත්තරය මේකයි.

දැන් මෙහෙමනේ. `මාර්කට් එක ගැන හිතල පොත් ලියද්දී` කියල කියනකොට, නිකම් වැරදි වැඩක් කරනවා වගේ අර්ථයක් එනවා. අලෙවියට තබන ඕනෑම පොතක වෙළඳපොළ හෙවත් මාකට් එක, පාඨක සමාජය. එහෙමනම්, එකී පොත්වලට නම් තබන්නේ පාඨක සමාජයේ වැඩිම ආකර්ශණය සහ අවධානය ලැබෙන විදිහට. ඒක මරණීය වරදක් නෙමෙයිනේ. මගේ අවබෝධයේ හැටියට මුළු ඉතිහාසය පුරාම ලේඛකයන් තම පොත්වලට නම් තැබුවේ පාඨක අවධානය (හෙවත් මාකට් එක) ගැන හිතල තමයි. `ගමක් පෙරැළෙයි` කියා නොදා `ගම්පෙරළිය` නමින් තමන්ගේ පොත මාටින් වික්‍රමසිංහයන් නම් කළේ ඒ නිසාය කියලයි මම හිතන්නේ. `විජයබාහුගේ රාජ්‍යය පැහැරගැනීම` කියා නොදා `විජයබා කොල්ලය` නමින් තමන්ගේ පොත ඩබ්ලියු ඒ සිල්වානුන් නම් කළේ `පාඨක සමාජය` ගැන හිතල නේද ?

අනෙක් අතට, සාමාන්‍යයෙන් කෙටිකතා සංග්‍රහයක් නම් කරන්නේ එහි අන්තර්ගත එක කෙටිකතාවක නමින්. ඉතින් මේ සංග්‍රහයේ එක කෙටිකතාවක් තියෙනව `වසරේ හොඳම කෙටිකතාව` කියලා. සායා ඒ නම පොතට යොදාගන්න එක වරදක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ. ඒ නමට අකැමති උදවිය ඉන්න පුළුවන්. හැබැයි ඒක `වරදක්` වෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි කරන්න අමාරුයි.

වැදගත්ම දේ තමයි; මේ කාරණාවට `මාකට් එක` ගැටගැහෙන තැන මොකද්ද ? ආර්ථිකය ලිබරල් කරන්න කියල කියන අය පවා, මේ පොතේ නම දැම්මේ මාකටින් වැඩකට නේද කියල අහන්නෙ ඇයි ? ඒ තමයි වෙළඳපොළ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ මවා තිබෙන ගූඪත්වය. තවත් විදිහකින් කියනවානම්, වෙළඳපොළ යනු `අප ගෙවන මේ වර්තමාන සමාජයේ` අනිවාර්ය මුණගැසීමක් කියන යථාර්ථය අමතක කෙරෙන පැරණි පන්නයේ ආචාර ධාර්මික විරෝධය. `මාකට් එක` ගැන දේශපාලනිකව දන්න අය `මාකට් එක`ට බය නැහැ. මාකට් බිල්ලට බයේ දේශපාලන පැටි වියේ මතවාදී හබුන් කටවල් කාපු ඉතිහාසයක් තියෙන නිසා, ඉතින් හිටපු ගමන් ඒ බය මතුවෙනවා.

උත්තරය අවසන් කරන්නම්. පොතකට මාකට් එක පාඨක සමාජය. මාකට් එක ගැන හිතල පොත් ලියනවා කියන්නේ පාඨක සමාජය ගැන හිතල පොත් ලියනවා කියන එකයි. ඔව්.. සාහිත්‍යය පෝෂණය කරන්න කාට හරි ඕන නම්, වහාම කළ යුත්තේ පාඨක සමාජය හෙවත් මාකට් එක ගැන සිතා හොඳ පොත් ලිවීමයි. ඒ පොත් සඳහා වඩාත් ආකර්ෂණීය නාමයන් වැඩි වැඩියෙන් තැබිය යුතුයි.

( විමල්ගේ උත්තරයේ පහතින් ලියා තිබූ වාක්‍යය – සම්පූර්ණ උත්තරයම ඔබ පළ කරාවි කියල මම හිතනවා. ) 

සායා සහ කැටිපේ ආකෘති දෙහෙක ඉලක්කගත නිර්මාණකරුවන් දෙදෙනෙක් – විවර ඊ නිවුස් කර්තෘ හිල්මි  සුපුන්

Hilmi supun

 

නාට්‍ය කාරයෙක් විදියට සායක්කාර සහ මාධ්‍යවේදියෙක් විදියට කැටපේව ඔබ හදුනා ගන්නේ කොහොමද

මං ඔය දෙදෙනාම හඳුනාගන්නේ ආකෘති දෙහෙක ඉලක්කගත නිර්මාණකරුවන් දෙදෙනෙක් විදියට. නව ආකෘතීන් ඔස්සේ අලුත් විදියට හිතමින් අලුත් දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරන නිර්මාණ කරුවන් දෙදෙනෙක්. පොදුවේ ඔය දෙන්නා ගැනම කතා කරනවා නම් දෙදෙනාම දේශපාලන දැක්මක් සහිත නිර්මාණ කරුවන් දෙදෙනෙක්. විශේෂයෙන්ම සායක්කාර ව මට හඳුනාගන්න පුළුවන්කම තියෙන්නෙ නාට්‍යයට වඩා මාධ්‍ය කරන ඒ යෙදුණු ඒ වගේම කවිය තුළින් සෘජුව පවතින දේශපාලන තත්ත්වයන් විවේචනය කරපු නිර්මාණ කරුවෙක් හැටියටයි.

නිර්මාණකරණයේදී මේ දෙදෙනාගේම ම කිරා මැන බැලීම් සමාජ දේශපාලනයට අමතන්නේද නැත්හොත් පුද්ගල අභිමතාර්ථ උදෙසා ක්‍රියාත්මක වන්නේද ?

කැටිපේ වුණත් එහෙමම තමයි. දේශපාලන ඉව තියෙනවා. නිර්මාණ තුලින් සමාජ අසාධාරණය ස්පර්ශ වෙනවා. අද මාකටින් නැතුව නිර්මාණ කරලා වැඩක් නෑ . ඔය එකතුවීමත් මාකටින් ,එනිසා ඔය දෙන්නා මාර්කටින්  පැත්තත් හොඳටම දන්න දෙන්නෙක්. ඔය හොඳ නිර්මාණකරුවන් දෙදෙනෙක් හොඳ මාකටින් වැඩ දන්න දෙන්නෙක්. මොනව උනත් උන් දෙන්නටම සුබ පතනවා.

 

කෘතියක  නම සම්බන්ධයෙන් අපි කිසිවකු කලබල විය යුතු නැහැ –  ජයසිරි අලවත්ත

Jayasiri alawatthe

 

සායක්කාරගේ නිර්මාණයන්හි අන්තර්ගතය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද ?

මම මෙතෙක් රසවිඳ තිබෙන්නේ සායක්කාරගේ නාට්‍ය පමණයි. ඒ නාට්‍යය තුළ ඉතා ගැඹුරු දේශපාලන කතිකා අන්තර්ගතයි. ඒ වගේම එම නාට්‍ය තුළින් ඔහු ඉතා ප්‍රබල ලෙස පවතින සියලු දේශපාලන දෘෂ්ටිවාද ඉතා සියුම් ආකාරයෙන් සහ උපහාසාත්මකව විවේචනයට බඳුන් කරනවා. එහි හුදෙක් විනෝදාශ්වාදයට පමණක් රාමු වුණ ප්‍රහසනත්වය ඉක්මවා ගිය ගැඹුරක් පවතිනවා.

තවම කියවා නැතත් සායක්කාරගේ වසරේ හොදම කෙටි කතාව යන නම යෙදීමත් එක්ක කෙටි කතාව පොඩි මාර්කට් කිරීමත් එක්ක පොත් එළිදැක්වීමක් පිළිබද ඉඟියක් ලැබෙනවා. මේ මාර්කට් කිරීම සාහිත්‍යෙය් ඉදිරි වර්ධනයක් සම්බන්ධයෙන් වන මතයක් දැක්විය හැකිද ?

කිසියම් කෘතියකට නමක් යෙදීමේ දි එහි ප්‍රචාරණාත්මක පාර්ශ්වය පිළිබඳ වෙසෙස් අවධානයක් යොමු කළ යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. එය සාහිත්‍යය කෘතියකට මතු නොව ඕනෑම කලා නිර්මාණයකට වලංගුයි. ඔහු විසින් නිර්මාණය කරන ලද නාට්‍ය සඳහා නම් යෙදීමේ දී ද මෙම උපක්‍රමය භාවිතා කර තිබුණා. එබැවින් කෘතියේ නම සම්බන්ධයෙන් අපි කිසිවකු කලබල විය යුතු නැහැ යන්නයි මගේ අදහස. මෙහි දී තවත් කරුණක් සටහන් කළ යුතුයි.

අපේ රටේ සිටින එක්තරා ජනප්‍රිය ලේඛකයෙක්… මම නැවත කියනවා ‘‘ජනප්‍රිය ලේඛකයෙක්‘‘ තමන්ගෙ පොත් සාප්පුව නම් කරන්නෙ ‘‘සම්මාන‘‘ කියල. සොයා බලද්දි දැනගන්න ලැබෙන්නෙ ඔහුට කවදාවත් සම්මානයක් නොලැබෙන බව දන්න නිසාම ඔහුගේ පොත් සාප්පුවට ‘‘සම්මාන‘‘ යන නම යොදන බවයි. එය මනෝ විද්‍යාත්මක ප්‍රශ්නයක්. එය මේ කෙටිකතා සංග්‍රහයට අදාළ කරාම සමහරවිට ඔබ බලාපොරොත්තුවෙන පිළිතුර ලැබෙන්න පුළුවන්.

 

කැටිපේ කියන්නේ, ශූර රචකයෝ අතරින් විශාල එකෙක්  -වසරේ හොදම කෙටි කතාව රචක, අසංක සායක්කාර

Asanka sayakkara

 

නිර්මාණයකදී තම පුද්ගලික දේශපාලනික මතය එළි දැක්වීම සාමාන්‍ය නිර්මාණ කරුවෙකුගේ විදියක්. විමල් කැටපේ ආරච්චිගේ කෘතිය සම්බන්ධයෙන් වන ඔබගේ අදහස කුමක්ද ?

කැටිපෙ කියන්නේ සාතිශ්‍ය දේශපාලන සත්වයෙක්. මේ බිමේ සිද්ධ වෙන දේශපාලන චලිතයන් ගැන ඔහු සවිඥානිකයි. එහෙම සවිඥානික මිනිසෙක් කලා නිර්මාණයක් කිරීමේ දී අපිට අනිවාර්යයෙන්ම හමුවන්නේ දේශපාලනික කලාකරුවෙක්. ඕනෑම පුද්ගලයෙක්ට දේශපාලනයක් තියෙනවා. තමන්ගේ නිර්මාණ හරහා ඒ දේශපාලන එළියට එනවා. ඒක වලක්වන්න බෑ. වලක්වන්න අවශ්‍යත් නෑ. කැටිපෙගෙ අලූත්ම නවකතාව කියන්නෙත් ඔහුගේ දේශපාලනයේ නූතනම ප‍්‍රකාශනය. දශක කිහිපයක් තිස්සේ ඔහු මුහුණදුන්න සමාජ දේශපාලනික සිදුවීම් නිර්මාණාත්මක වේෂයෙන් එළියට ඇවිත් තියෙනවා. ඒ ලියවිල්ල රසවත් කැමති කෙනෙක්ට කැමති තැනකින් මේ කෘතිය වෙත ප‍්‍රවේශ වෙන්න පුළුවන්. දේශපාලනයට ආස අයට මේකේ දේශපාලන පෙළ කියවා ගන්න පුළුවන්. පේ‍්‍රමයට වඩා සංවේදී අයට මේක ඇතුළෙ හමුවෙන පේ‍්‍රමය කියවා ගන්න පුළුවන්.

 නිර්මාණකරුවෙක් ලෙස හා දේශපාලන ඉදිරිගාමියෙකු ලෙස ඔබ කැටපේ දකින්නේ කෙසේද ?

ඔහු වැනි දේශපාලන ක‍්‍රියාධරයන් ඇත්තටම ඉන්න ඕනේ සිවිල් සමාජයේ නෙමෙයි. දියුණු දේශපාලන ව්‍යාපාර ඇතුළෙ. නමුත් මේ මොහොතේ ලංකාවේ තියෙන දේශපාලන ව්‍යාපාර කැටිපෙව රදවා ගැනීමට අසමත්. ඒ වැරැද්ද කැටිපෙගෙ නෙමෙයි. ඔහුත් ඇතුළව රැදෙන්න වැඩ කරන්න පෙනී සිටින්න දේශපාලන ව්‍යාපාරයක් නොමැතිව අසරණ වුණු අසරණ කළ පුරවැසි බලකණු තොගයක් එළියෙ ඉන්නවා. මේ පිරිස තමන්ට තියෙන උණ නිසා නැවත සිවිල් සමාජය තුළ විවිධ අවස්ථාව වල විවිධ අරගල තුළ පෙනී ඉන්නවා. මේ පුද්ගලයන්ගේ විභාවය අපතේ යැවීමක් විදියටයි මට මේක පෙන්නේ. අනිත් පැත්තෙන් ඔහු වැනි නිර්මාණකරුවෝ මේ මොහොතේ රට ඉල්ලා සිටිනවා. ජාතිවාදී නොවන ආගම්වාදී නොවන, සැබෑ මානව පේ‍්‍රමීන් එසේම නිර්මාණ කරණයේ ශූර රචකයෝ චින්තකයෝ පොකුරු පිටින් රටට අවශ්‍ය මොහොතක් මේක. කැටිපෙ කියන්නේ ඒ අතරින් එකෙක්. විශාල එකෙක්. ඒ වගේ තව රොත්තක්, තොගයක්, රැළක්, අපිට මේ වෙලාවේ අවශ්‍යයි.

 

මේ සායාගේ සහ කැටිපේගේ අතීත සෙල්ලක්කාර කමේ දිගුවක් – ටිම්රාන් කීර්ති

Timran keerthi

 

විමල් කැටපේ ආරච්චි විසින් රචිත නැළවෙන ගී ඕවිල්ල කෘතිය නොබෝ දිනකින් එළි දැක්වෙනවා . ඔබ විමල්ගේ නිර්මාණයන් සම්බන්ධයෙන් දරණ අදහස කුමක්ද ?

කැටයව මම මුලින්ම කියව ගන්නේ ලංකා එකේදී. කවි පිටුව කියවන්න ලංකා අරගත්ත කාලෙක උගේ නම දකිද්දී අමුතු ගතියක් දැනුන. අපේ අකුරුවල නැති රස්නෙකුත් කැටයගේ ලියවිලිවලදී තදට දැනුන. කැටය මාව පිස්සු වැට්ටුවේ සත්හඬේ ලෙන්ස් එකයි සෙන්ස් එකයි කරද්දී . අජ්ජයි කැටයයි නියමෙට පෑහුනා. ලංකාවේ කවිය ඇතුලෙ මෑත අවධියේ පේලි හතරකින් වැඩ දම්මේ දෙන්නයි. එකෙක් කොඩිය. අනිකා කැටය. ඔය මොනවටත් වඩා තව හේතුවක් තියෙනව. බරපතල ගුවන් විදුලි ශ්‍රාවකයෙක් වෙච්ච මට ගුවන් විදුලිය අත හැරුණ කාලෙක ආයෙමත් මීටරේ කරකවල දුන්නේ කැටය. ඌ ITN එකට ආවට පස්සේ එතන රහ තැනක් කෙරුව. කැටයගේ ලියවිලිවල බර ගැන කතා කරන්න බරක් තියෙන මිනිහෙක් ඕන. හැබැයි උගෙ අකුරු රහ ඇයි කියල කෙනෙක් මගෙන් ඇහුවොත් මං කැට තියල එක දෙයක් කියනව. හොයල බලන්න කැටය බරපතල චිත්‍ර කතා ලෝභියෙක්. ඉන්ද්‍රජාලික වීරයෝ එක්ක සාර ගණුදෙනුවක්, අතීතයක් තිබුන මිනිස්සු ලියද්දී කරද්දී අර රහ ඉඹේම කාන්දු වෙනව.

සාහිත්‍ය මාසයේ පොත් එළි දැක්වීම් හා ඒවාට යොදන නම් සම්බන්ධයෙන් කියවා ගැනීමේදී මේවා මාර්කටිං වැඩ කියා කෙනෙක් පැවසුවොත් ඒ ප්‍රකාශය සමග මෙම කෘති එළිදැක්වීම ගැන ඔබ කුමක් කියන්නේද ?

මට තාමත් හිතාගන්න බෑ අපේ මිනිස්සු ” මාර්කටිං” කියද්දී තවමත් ඉන්නේ ” බුදු අම්මෝ ඉවරායි “ වගෙ තැනක. පිරිවැයක් යොදවල කරන වැඩකදී වැඩක් කෙරුව කියන තෘප්තියෙන් සියල්ල කෙළවර වෙන්න ඕනේ නම් වැඩේ කරපු මනුස්සය සිතියමෙන් මැකිල යනව නම් ඒ අර්ථයෙන් ගත්තම නිර්මාණකරුවොත් අයිති වෙන්නේ වඳ වෙලා යන සත්ව කාණ්ඩෙට ද ? ලියන කියන මිනිස්සුන්ට සාහිත්‍ය මාසය වැදගත්. ඒ වැදගත්කමම කියවන විදින මිනිස්සුන්ටත් තියෙනව. කාට කාටත් වැඩක් වෙන විදියට දේවල් වෙන්න කෙරෙන්න ඕනේ.
තමුන්ගේ නිර්මාණ කෘති මිනිස්සු අතරට ගෙනියන්න ප්‍රචාරණය නිර්මාණාත්මක විදියට යොදාගන්න එකක් කලාවක්. හැබැයි මේ සියල්ල අතරේ පොත අතට ගත්තම ඇතුළ හිස් නම් අර සියල්ලම බාහිර සැරසිලි විතරක් බවට පත් වෙනව. පොතකට නමක් යොදනව කියන එකත් ආකර්ශනයක් සහිත දෙයක්. සායගේ සහ කැටයගේ අතීත භාවිතාවන් එක්ක බැලුවම මේකත් ඒ සෙල්ලක්කාර කමේම දිගුවක් තොටිල්ල පද්දන අයට වඩා ගස්සන අයට මං කැමති.

 

 

මම කැමතියි ඔවුන්ගෙ කෘති පිටිපස්සෙ කොන්දේසි විරහිත මානව ප්‍රේමය තියනවා නම් – මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ

Sandun priyankara

 

රැඩිකල් ලිවීම් සහිත කැටිපේගේ හා සායක්කාරගේ නිර්මාණාත්මක ලීවීම් සම්බන්ධයෙන් දරණ මතය කුමක්ද?

ඔවුන්ගේ නිර්මාණාත්මක මැදිහත්වීම් මම හිතන්නෙත් රැඩිකල් තමයි. ඒ කියන්නෙ සුලබව මෙහෙ භාවිතා වන රැඩිකල් අර්ථයෙන් නෙවෙයි. රාමුවෙන් පිටත නිර්මාණ කියන අර්ථයෙන්. සායක්කාරගේ විවිධ කෘතීන් ගත්තත්, කැටිපෙආරච්චිගෙ නිර්මාණ ගත්තත් එහෙමයි. ඔවුන් දෙදෙනාගේ ම සමස්ත නිර්මාණ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් චිත්‍ර දෙකක් අඳින්නට තව කල් තිබෙනවා වුණත්, මෙතෙක් කර ඇති නිර්මාණ භාවිතයන් ගත්ත ම ඒවා බලාපොරොත්තු දල්වන සුළුයි. අවසානයට මම සායක්කාරගෙ “ප්‍රින්ස්” සහ කැටිපෙගෙ “හමුවෙන්න තවම හැකි කොම්රේඩ්” එක්ක තමා භජනය තිබුණෙ. අපි මුහුණ දෙමින් ඉන්න මේ අප්‍රිය අමනාප ජීවන කොන්දේසි වෙනස් කරගැනීමේ ක්‍රියාන්විතයන්ට මේ කෘති දෙක ම යම් අලෝක කදම්භයක් එල්ල කරනවා. මේ මජර දේශපාලන සංස්කෘතිය අස්සෙ සායක්කාර ප්‍රින්ස්ගෙ ස්ථානගතවීම කතා කරන්නෙත්, කැටිපෙ සහෝදරවරුන් නැවත හමුවිය හැකියි කියන්නෙත් එතැනින්. සමස්තයක් විදිහට ගත්ත ම මම ඔවුන්ගෙ කලාත්මක භාවිතාවන් දිහා අතිශය ධනාත්මක විදිහට සාවධානයි.

දේශපාලන දහරාවක් නියෝජනය කිරීමේදී මිනිහෙක් අත පොවන මානයන් විවිධාකාරයි. සායක්කාරගේ නිර්මාණයේදී මෙන්ම කැටිපේගේ නිර්මාණයන්හිදී ගොඩ යන දේශපාලන න්‍යාය කුමක් විය හැකිද ?

මේ ප්‍රශ්නය බැරූරුම් තුසිත. මොකද දෙදෙනාගේ ම සමස්ත නිර්මාණ භාවිතයන් කිරා මැන බලලා විධිමත් අධ්‍යයනයකින් කිව යුතු දෙයක් ඒක. මොකද ඔබ දන්නවා මෙවැනි ප්‍රශ්නවලදි ඔව් හෝ නෑ වර්ගයේ පිළිතුරු නැති බව. කොහොම වුණත්, මම ඡායාත්මක වශයෙන් හිතනවා ඔවුන්ගේ මැදිහත්වීමේ පැහැය මගෙ විශ්වාසයන්ට සමපාතයි කියලා. ඔවුන් දේශපාලන ක්‍රියාධරයන්ගේ භූමිකාව දරණවා හෝ නැතිවා වන්නට පුළුවන් වුණත් ඔවුන් කලාත්මක භාවිතයන්හිදී ඒක අදාළ වෙන්නෙ නෑ. එතකොට ඔවුන්ගේ දර්ශනය විය යුත්තේ කොන්දේසි විරහිත මානව ප්‍රේමය කියලයි මම හිතන්නෙ. කලාකරුවෙක් ඔජ වැඩිය යුතු මූලික කොන්දේසිය ඒක. මම කැමැතියි ඒ දිහා මානව ප්‍රේමයේ ඇසින් බලන්න. ඒ පිටිපස්සෙ තිබෙන දර්ශනය මාක්ස්වාදය නම් ඒක අපේ වරදක් නෙවෙයි. චේ, . වතාවක් කිව් බව අහල තියනවා, ‘සත්‍ය මාක්ස්වාදී නම් එය මගේ වරදක් නොවේ‘ කියලා. මම හිතනවා සහ මම කැමතියි ඔවුන්ගෙ කෘති පිටිපස්සෙ කොන්දේසි විරහිත මානව ප්‍රේමය තියනවා නම්.

 

සමකාලීන සමාජ දේශපාලනයේ සීතාම්බරය ගැලවෙන්නේ මෙවැනි නිර්මාණවලින් – මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ 

Bigun menaka

 

පත්තරකාරයෙක් විදියට සායක්කාරට හා කැටපේට සමාජ දේශපාලන භාවිතාවේදී පොතක් ලියල කරන්න පුළුවන් වැඩේ මොකද්ද

පොතක් කියන්නේ නිකන් අකුරු සෙට් එකක් නම් වැඩක් නෑ කියල හිතන්න පුළුවන්. නමුත් කැටිපේ සායා වැනි සමාජ ජීවින්ගේ අකුරු කියන්නේම ඔවුන්ගේ සමාජ දේශපාලන ප්‍රකාශනයේ එක් මාධ්‍යයක්. ඉතින් මේ ප්‍රකාශන මාධ්‍ය සෘජුවම ප්‍රගතිකාරක දේශපාලන සමාජ බලවේග නිරන්තරයෙන් ඇසුරු කරන කලාපයක්නෙ. ඒක සදා වෙනස් නොවන ප්‍රගතිකාරක ප්‍රකාශන කලාපයක්. සමාජ සංවාදය අනවරතව පවත්වාගෙන යෑමට වගේම තමන්ගේ හෘදය විදාරණයට ඒක අත්‍යවශ්‍ය ඔසුවක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්.

 කැටපේ කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිට ගීතයක් ලියපු කෙනෙක්.. සමාජ දේශපාලනයේදී මේ වන විට ඔහු නියෝජනය කරන්නෙ අතිශය රැඩිකල් වගේම වාමාංෂික පාර්ශවය මෙහෙම වෙන්න පුළුවන්ද සහ මෙහෙම අයගේ කෘතීන් සමාජ භාවිතාවේදී සාහිත්‍ය පෝෂණය කිරීමට ඉවහල් වෙනවද?

මෙහෙම අයගෙ ප්‍රකාශන කියලා කියද්දි අවුලක් එනවා. ඇයි ඒ විශේෂණය යෙදුවේ කියලා. මොකද ඒ කැටගරයිස් කිරීම ඇතුලේම සාහිත්‍ය කියන ක්‍ෂේත්‍රය මේ ප්‍රශ්නය විසින්ම වෙනම තැනකට තල්ලු කරනවා. ඒ නිසා ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මෙහෙම අයගේ කෘතිවලින් තමයි සාහිත්‍ය තුළ අපේක්ෂිත එක් ලක්ෂයක් වන සමකාලීන සමාජ දේශපාලනයේ සීතාම්බරය ගැලවෙන්නේ. සමාජ දේශපාලනයේදි මහ පොළවේ වගේම මහේක්ෂ තලයේ දේශපාලනය හා ඒ කර්තෘකයන් ක්‍රියා කරන ආකාරය ගැන මේ දෙන්නාටම සමීප අත්දැකීම් තිබෙනවා. ඉතින් තමන්ගේ නොවන අත්දැකීම් තමන්ගේ කරගෙන පරිකල්පනයෙන්ම ලියනවට වඩා කැටිපේ හා සායා යන ද්විත්වයේ ඇඟ පත පුරා ගැටුණු දේශපාලනය සාහිත්‍ය කෘතියක් විදියට ප්‍රතිනිර්මාණය වීමම සාහිත්‍යට කරන්නේ ලොකු එකතු කිරීමක් කියලයි මම හිතන්නේ.

 

මේ කුප්ප සමාජය ක්‍රමය විවේචනය කරමින් කරන නිර්මාණ අනිවාර්යෙන්ම ජනතා සාහිත්‍යය පෝෂණය කරනවා –  තුසිත පතිරණ

Thusitha Pathirana

 

(බිගුන් මේනක ) –  කෙනෙක් පැවසුවොත් වමටත් නැති දකුණටත් නැති නරුමවාදය කරපින්නාගත් ඩබලක් කියල සායා සහ කැටපේ මොකද ඒ ගැන කියන්නේ ?

මේ කාලයේ වම, දකුණට කියල මොකවත් නැති සමාජයක නරුමවාදය රජ කරනව කියන්න බොහෝ දෙනා පෙළඹෙනවා . ඇයි ? මනුස්සකම කියන කියවීම දේශපාලනිකවම දකින්නේ.. ? වාමාෂිකවේවා, දක්ෂිණාංෂිකවේවා, රැඩිකල්වේවා මේ කවර පන්නයේ ආර්ථිකමය හෝ දේශපාලනික බේදීමක පදනම හැදෙන්නේ මනුෂ්‍යත්වය මතුපිට .. ඒ මතුපිට එකෙකුට නරුම වෙන්නත් තවත් එකකුට රැඩිකල් මත දරන්නත් එහෙමත් නැත්නම් බෝධිසත්ව ගුණෝපේත භාවයන් ලබන්නත් අවස්ථාව තියෙනවා.. මේ නිසා ලංකා සමාජයේ හරි හැටි කියවා ගන්නා දේශපාලනික සත්ව සංහතිය කියවා ගත යුතු (read) කරගත යුතු තැන් බොහෝ විට ඒ ඒ (…. ) ෂිකයන්ට මඟ හැරිලා. හැමදාමත් කියනවා වගේ මට කියන්න තියෙන්නේ මේ සියලු ආකාරයේ කියවා ගන්නන් යල් පැන ගියපු මතවාදයන් කර පින්නාගෙන ස්තොත්‍ර ගායනාවන් කළා දැන් ඇති, වසර 50ක් එපිටට කියවා ගත යුතු හැදැරිය යුතු තැනකයි, අපි මේ ලැඟ ඉන්නේ. එහෙව් තැනකදී සායක්කාර හෝ කැටිපේ විසින් කරණ නිර්මාණාත්මක කාර්යයන් ඒ කියන කෝවන්ට දා මැන බැලීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා, හැබැයි කියවන්නා නිරුවත්..! ඒ නිසා මේ හැම බඩකඩෙත්තුවක්ම අස්සේ මනුස්සකම කියවා ගන්න කියල පමණයි ඉල්ලන්න වෙන්නේ .. මම සායා සහ කැටිපේ කියවා ගන්නේ එතැන සිට විතරමයි..

( බිගුන් මේනක ) –  හුරතල් සාහිත්‍ය කරණයක් මගින් සාහිත්‍ය හෝ සමාජ පෝෂණයට කවර නම් ඵලදායි ප්‍රතිඵලයක් අත්පත් කර දෙන්නේද ?

සාහිත්‍යය හා කලාව නිර්මාණය වන්නේම යාර්ථය ප්‍රතිනිර්මාණය කරමින් හරියටම කියනවා නම් ප්‍රකෘතිය සෞන්දර්යාත්මකව හා යථාර්තවාදීව මිනිස් මනසේ ප්‍රතිනිර්මාණය කිරීම කලාව ලෙස අර්ථ දැක්වන පදනමේ සිට සාකයක්කාරගේ හා විමල් කැටිපෙ ආරච්චිගේ නිර්මාණ දෙස අවධානය යොමු කළොත් පවතින සමාජයේ යාථාර්තය කුමක්ද යන්න මූලිකවම විමසිය යුතුයි. ඔව්. ඒ සමාජය හුරතල් වගේම සුකුරුත්තන් සමාජයක්.. මිනිසාට නිදහස යන්න අබ මල් රොණකින් මායිම් නොකරන ඒ වගේම මිනිස් නිදහස අමු හෙළුවෙන් වෙන්දේසි කරන සමාජ වටපිටාවක් පවතින යථාර්තයක් ඇතුලේ එකී යථාර්තය ප්‍රතිනිර්මාණය කරන කලා කෘතියක් වේ නම් ඒවා හුරතල් මිස වෙන අර්ථයක් නැති කලා කෘතීන් තමයි. එහෙත් මෙකී සමාජයට එදිරිව සටන් කරන සටන් කරුවන් විසින් මේ කුප්ප සමාජය ක්‍රමය විවේචනය කරමින් කරන නිර්මාණ අනිවාර්යෙන්ම ජනතා සාහිත්‍යය පෝෂණය කරනවා . ඒ සාම්ප්‍රදායික රදළ සාහිත්‍ය කාරයන්ට මරු පහරක් වේවි එහෙත් අපි මේ සමාජය අතික්‍රමණය කිරීමට නම් එවැනි අකුරු කිරීම් හුරුතල් ලිවීමෙන්, ජෝර්ක් කිරීමෙන් හා කුජීත කිරීමෙන් සමන්විත වූවාට එය අනාගත පරම්පරාව සාහිත්‍යයට කරන ලද නිගරුවක් හෝ අවැඩක් ලෙස නොදකීවි. කෙසේ නමුත් සායාක්කාර හා කැටිපේ යනු එහෙව් පන්නයේ කියවීමක් සහිත හා කයිවරුකරුවන්ට වඩා විකල්ප සාහිත්‍ය ක්‍රමවේදයකට අත්පොත් තැබූ දෙදෙනෙක් ලෙස අවිවාදිතයි.

 

– සංවාද සටහන – තුසිත පතිරණ 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *