කඳුළු – බන්ධන 04

ක්ෂීරපායී සතුන්ට විතරක් හිමි වෙච්ච ශරීරයේ උත්තේජන ග්‍රන්ථියක් තමයි කඳුළු ග්‍රන්ථිය . කෙනෙක්ට දුක හිතුනම මොළයේ නිපදවෙන RH සංඝටකයක් මගින් කඳුළු ග්‍රන්ථිය උත්තේජනය උනාම ඇස් වලට කඳුළු එනව. පිරිමි අඩුවෙන් හඬන්නත් ගැහැණු වැඩිපුර හඬන්නත් හේතුව හෝමෝන වල වෙනස් වීම් වුණාට දෙගොල්ලන්ටම තියෙන්නේ එකම විදිහෙ කඳුළු ග්‍රන්ථියක් .

වෙලාවකට සමහර මිනිස්සු අඬන්නේ මහ වැස්සක් වගේ. ඒ මිනිස්සුම සමහර වෙලාවකට අඬන්න ඕන තැන් වලදි දරා ගන්නවා මහ පොළොව වගේ. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය කියනවා වගේ

අහස නුඹ මෙතරම් සැඬ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි ….

මේ ලෝකෙ කොහොම සිද්ද වෙනවාද කියලා හිතාගන්න බැරි දේවල් අතර එක දෙයක් තමයි මිනිස්සු ඇස් වලින් කඳුළු වට්ටන එක .

අවමඟුලක් කියන්නේ මිනිසුන්ගේ කඳුළු දකින්න පුළුවන් එක තැනක් .මැරිච්ච කෙනාට තියෙන බැඳීම මත එක එක්කෙනාගෙ ඇස්වලින් කඳුළු වැටෙන විදිහ වෙනස් වෙනවා . බැදීම මොකක්ද කියලවත් නොදැන හැමෝගෙම ඇස් වලින් කදුළු වැටුනු අවමඟුලකට දවසක් මමත් ගියා. සෞම්‍ය කුමාර කියන්නෙ හොරණ තක්ෂිලාවෙ හිටපු 2006 උසස්පෙළ විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වෙලා වෛද්‍ය විද්‍යාලයට තේරුනු පට්ට මීටරයක්. ඒත් සෞම්‍යට වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන් උනේ දවස් තුනයි. ඒ වසන්තයේ මළගමට මමත් ගියා.

ගෝවින්න හංදියෙන් ගව් දෙකක් විතර ඈතට වෙන්න තමයි බෝගස් හංදිය තියෙන්නෙ. එතන ඉදන් පාරක් තිබුනනම් ඒ අඩි දෙතුන් සීයක් විතර. එතනින් එහාට තිබුණෙ මඩ ගොහොරු, ගල් කුළු පිරිච්ච පොඩි දොළ පාරක්. ඒ හැම බාධකයක් ම පහු කරගෙන සෞම්‍ය මෙච්චර දුරක් ආවෙ කොහොමද කියල හිතෙනව. මිනිස් වාසයක සේයාවක් නැති ස්භාව සෞන්දර්ය පිරිච්ච තැනක තමයි සෞම්‍යගෙ පුංචි ගේ තිබුණෙ. ඒ ගෙදර විඩාව නිවාගන්නට හිදගන්නට තැනක් තිබුණෙ නෑ. ඒත් ඒ හිනාව ඇතුලෙ කවදාකවත් මේ හිස්බව අපි දැක්කෙ නෑ. ඉටි රෙදි ගහල වෙන් කරපු පොඩි කාමර කෑල්ලක සෞම්‍යගෙ මල සිරුර තියල තිබුණ. දෙවියන් මේ තරම් නපුරු උනේ කොහොමද ….. ????

එකා දෙන්නගෙන් වැටුනු කදුළු මහ වැස්සක් වගේ අපේ ඇස් වලින් ගලාගෙන ගියා. එදා කදුළු නොවැටිච්ච ඇස් දෙකක් , හූල්ලපු නැති පපුවක් නැතුව ඇති. ඒත් සෞම්‍යගෙ අම්ම අටලෝ දහම විදදරාගත්තු ගැහැණියක් වගේ ඉවසගෙන හිටිය. මට තාමත් හිතාගන්න බැරි මළ පුතු ඔසවන් දුවපු කිසාගෝතමීල බුදුන් ජීවමාන කාලයෙත් හිටියනම් තමන්ගෙ එකම දරුවගෙ අකල් මරණයේදී කදුළු හංගන් ඉදපු ඒ හිත……

දවසක් යාළුවෙක්ගෙ බබෙක් බලන්න කියල මං රිජ්වේ එකට ගියා. බබාට එතකොට වයස මාස දෙකයි. හාට් එකේ ප්‍රශ්නයක් කියල තමයි බබාව නතර කරල තිබුණෙ. වාට්ටුවට ඇතුළු වෙනකොටම දැනුණෙ හුස්ම ගන්න අපහසුවක්. පපුව හිර කරනව වගේ. හැම ඇදකම හිටියෙ මාස දෙකේ තුනේ පුංචි මල් කැකුළු . නයයෙන් දාපු බට, අත්වල ගහපු කැනියුලා , හුස්ම ගන්න දාපු ඔක්සිජන් ආවරණ අස්සෙ පුංචි එවුන්ගේ මුහුණ අතපය පේන්නෙත් නෑ . දැක්කම පපුව පුච්චගෙන ගියා . මගෙ යාළුව නදුන්ගේ වයිෆ් බබා ලග ඇඳේ ඔලුව තියාගෙන පුටුවක වාඩි වෙලා හිටිය. අපි ගියාම යන්තම් ඔලුව ඉස්සුවා මිසක් වචනයක්වත් කතා කළේ නෑ . යටට ගිලිච්ච ඇස් දෙකෙන් බේරෙන නිදිමතට වඩා නැති වෙච්ච හීන,බලාපොරොත්තු වලින් ඒ මූණ හෙම්බත්වෙලා . දරුවට කොහොමද අහන්න හයියක් මට තිබුණේ නෑ .

” මං ජීවත් වෙන්නෙ ලොකු කෙල්ලගෙ ශිෂ්‍යත්වය ඉවර වෙනකල් විතරයි . ඊට පස්සේ උඹ මේකට ඕන එකක් කරපං… ”

එයා එකපාර උමතුවෙන් වගේ කැගැහුව. නදුන් එයාව පපුවට තද කර ගෙන නලල ඉම්ඹ. ඇස් තෙත් වෙන්න යන වෙලාවටත් වඩා අඩු වෙලාවකින් මගෙ කම්මුල දිගේ කඳුළු ගලා ගෙන ගියා . ඒත් මට අදටත් හිතාගන්න බැරි මට නවත්තගන්න බැරිවුන කඳුළු එයාගෙ දරුව, එයාගේ බිරිඳ වෙනුවෙන් නදුන්ගේ ඇස්වලින් වැටුන් නැත්තෙ ඇයි කියන එක. පිරිමි සමහර තැන් වලදී කඳුළු හංගන්නෙ හරි පුදුම විදියට…….

ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුලක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මං ….

ගුණදාස කපුගේ කියන විදිහට කෙනෙකුගේ වේදනාවක් වෙනුවෙන් කදුලක් නොවැටෙන්නේනම් එය මිනිසුන්ගෙ දුර්වලකමක්.ඒත් කඳුළු කියන්නේ දුකකදී , වේදනාවකදී විතරක්ම වැටෙන එකක් නෙමෙයි. ” සතුටු කදුළු ” ඒ කියන්නේ අපි හිතන්නෙත් නැති වෙලාවක අපිට දෙයක් ලැබුනම, ඉවසන්න බැරි හිතට එන සංවේදනයකින් බිහි වෙන්නක්.

පුස්තකාලයේ ඉඳන් හොරණ ටවුමට එන්න තියෙන කෙටි මාර්ගයේ එද්දි එක තැනකදී අපිට හම්බ වෙනවා සාස්තර කියන ගැහැණු. උකුලෙ පොඩි දරු පැටව් තියාගෙන වාඩිවෙලා ඉන්නෙ දවස ගෙවා ගන්න කීයක් හරි හොයා ගන්න . එක ගෑනු කෙනෙක් තමන්ගේ දරුවව බිමින් තියලා කෙනෙක්ට සාස්තරයක් කියනව. ඒ දරුවා එතන තියෙන සෙරෙප්පු කඩේ පිල උඩ ඩිස්කවුන්ට් දාපු සෙරෙප්පු කූඩෙ ළඟට ගිහින් සෙරෙප්පු අල්ලනව. කඩේ අයිතිකාර නෝන එලියට ඇවිත් මේ දරුවට බනිනව . කහට ගෑවිච්ච ගවුමෙ අතපිහදානගමන් අවුල් වෙච්ච කැරලි කොණ්ඩය හදාගෙන එයා ආයෙත් අම්ම ලගට යන්නෙ සෙරෙප්පු කූඩෙ දිහා බලාගෙන. කවදාකවත් සෙරෙප්පු දෙකක් දැකපු නැති ඒ කකුල් දැක්කම හීල්ලුන.

දරුවගෙ කකුලෙ තරමට ගැලපෙන සෙරෙප්පු දෙකක් අරගෙන මං ගියේ එයා ලගට. මාව දැකල අම්මගෙ සාය පිටිපස්සෙ හැංගුන කෙල්ල අම්මට මුවාවෙලාම සෙරෙප්පු දෙක ගත්තෙ හිනාවෙලා. මට තාම මතකයි ඒ ඇස්. ඒ ඇස් දිලිසුනේ කදුළු වලින්නම් ඒ සතුටු කදුළු වෙන්නම ඕන…..

කදුළු හරි පුදුමාකාරයි . වෙලාවකට වීදුරු වගේ බිදෙනව . වෙලාවකට මීදුම වගේ බැදෙනව. කවදාකවත් කාටවත් තේරුම් ගන්නවත්, තේරුම් කරල ඉවර කරන්නවත් බැරි කදුළු අපේ ජීවිතවල ලෙංගතුම කොටස කියල මට හිතුණ….

වැටෙන මුතු කදුළු
ඇසට බර වැඩිළු
සතුට යනු දුකලු
ඒ සසරෙ හැටිලු …

 

– නාමලි පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *