පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

2020 එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා  නම් කොට තිබේ.

ඊයේ(11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති එම පක්ෂයේ මහා සම්මේලනයේදී මෙම තෝරා පත්කරගැනීම සිදු කළ අතර මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් පක්ෂ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලදී.

පක්ෂ නායකත්වයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුර අදහස් දැක් වුවේ මෙසේය.

“ මේ රට නැවත විනයගරුක නීතිගරුක රටක් බවට නැවත පත් කරන්න අපි භාර ගන්නා දිනයයි අද දිනය. සියළුම පුරවැසියන්ට ජාති ආගම් පක්ෂ භේද වලින් තොරව එකට සිට වැඩ කළ හැකි පක්ෂයක් අද අපි බිහි කළා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. එම පක්ෂය නිර්මාණය කිරීමටත් ගොඩනැගීමටත් මුල් වුණේ බැසිල් රාජපක්ෂ මහතායි. “

තම පක්ෂයේ, එනම් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කව්ද යන්න හෙළිදරව් කරමින් මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය.

ඉන් අනතුරුව සමුළුව ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක් වූයේ මෙසේය.

“එදත්, අනාගතයේදීත් මාගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තැබීමට මා කිසිවකුට ඉඩ තබන්නේ නැහැ. අපේ රජයක් තුළ ප්‍රථම කාර්ය භාරය වන්නේ රට තුළ පූර්ණ ආර්ක්ෂාවක් තහවුරු කිරීමයි. අපිට ය‍ළිත් මේ දිවයින ලෝකයේ සුරක්ෂිතම රට බවට පත් කළ හැකි බව මම ඉතා විස්වාසයෙන් ප්‍රකාශ කරනවා.  මම කිසි විටකත් අන්තවාදී ත්‍රස්තවාදයකට හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ. එමෙන්ම උතුරු නැගෙනහිරටම සුවිශේෂී වූ ප්‍රශ්න විසඳීමට වැඩපිළිවලක්, ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අවංක තීරණ ගන්නා රාජ්‍ය නිළධාරීණ්ට උපරිම ආරක්ෂාව ලබා දීමට අපි කටයුතු කරනවා. “

සමුළුව අවසන්වීමෙන් පසුව ජනාධිපති අපේක්ෂකත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරයට ගොස් මහා සංඝරත්නය හමු වී ආශිර්වාද ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *