පොම්පෙයි නගරය – රෝමයට ලඟ පාර – 06 ( පියුමි ජයකලණි ලියයි )

ලොව ජනගහනය වැඩි වන කල්හි භූමිකම්පා, ත්සුනාමි, නායයෑම්, ගංවතුර වැනි ස්වභාවික විපත් මගින් මිනිස් ජනගහනය පාලනය කරයි. මෙය සොබාදහමේ නීතිය වේ. මෙයට අවනත නොවී සිටීමට අප කාහටවත් නොහැකිය. බහුතරයක් ආසියාතික රටවල් ජල ගැලීම්, නායයෑම් වැනි ආපදාවන්ට ලක්වන අතර බහුතර යුරෝපා, ඇමරිකානු රටවල් භූමිකම්පා, ගිනිකඳු, හිම පතන, සුළිසුළං යන ආපදාවන්ට මුහුණ දේ.

පොම්පෙයි නගරය
දෙවොල් වල ඇති බිතුසිතුවම්
පොම්පෙයි නගරයේ සංචාරකයින්

දකුණු ඉතාලියේ, “නාපොලි” නගරයට ආසන්නව පිහිටි “පොම්පෙයි” නගරය ද ස්වභාවික ව්‍යසනයක් මත දරුණු ඛේදවාචකයකට ලක්වූ ඉපැරණි නගරයකි. ‘විසූවියස්’ ගිණි කන්ද පුපුරා යාම නිසා ශාල සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්විය. ක්‍රි.ව.79 අගෝස්තු 24 දිනට පෙර මෙය පිබිදෙමින් තිබෙන වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ අතර 30,000 පමණ ජනගහනයක් සිටි නගරයකි. සැප්තැම්බර් මස දින 9 ක් තිබියදී නගරාසන්නව තිබූ ‘විසූවියස්’ ගිනි කන්දෙන් දුමාරයක් පිටවන්නට විය. පසුව එය ක්‍රම ක්‍රමයෙන් සුවිශාල කලු පැහැ වලාකුළක් වී සිතිජය දක්වා පැතිර යන්නට විය. මෙම වලාකුළේ විෂ සහිත වායු, අළු, තාපදීප්ත ලාවා තැන්පත්ව මුළු නගරය පුරාම පැතිර යන්නට ද විය. මෙම නිසා ක්සිජන් ප්‍රමාණය අඩු වී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යෑම සිදුවිය. ගිනි කන්දේ දැවෙමින් තිබූ තාපදීප්ත කොටස් මෙම වලාකුළෙහි තැන්පත් වීම නිසා පාෂාණ වර්ෂාවක් ද ඇතිවිය. මෙම හේතු නිසා ගිනි කන්ද පුපුරා යාමටත් පෙර මිනිසුන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. පුපුරා ගිය ගිනිකන්දෙහි වූ ලාවා තත්පර ගණනක් තරම් වූ පුංචි කාලයක් ඇතුලත බවබෝග, ගොඩනැගිලි සහ අහිංසක මිනිස් ජීවිත සියල්ලම පාහේ බිලි ගත්හ.
වර්ෂ 1549 දී ‘දොමේනිකෝ ෆොන්තානා’ නම් වාස්තු විද්‍යාඥයා විසින්, විනාශයට ලක් වූ පොම්පෙයි නගරය සොයා ගන්නා ලදී. වර්ෂ 1784 දක්වා කැණීම් කළ අතර අදටද අර්ධ වශයෙන් කැණීම් කරමින් පවතී. මෙහි ප්‍රදේශය හෙක්ටෙයාර් 50 වන අතර මෙය නැරඹීමට ලොව විවිධ රටවල් වලින් එන සංචාරකයින්ගෙන් නොඅඩුව පවතී.

ඉතා ධනවත් ව තිබූ මෙම පොම්පෙයි නගරය තුළ ඉතා අලංකාර වූත් සුඛෝපභෝගී වූත් රාජ්‍යමය ගොඩනැගිලි බහුල විය. මෙහි සිටි වැසියන් “සන්නීතා” සහ රෝමවරුන්ට එරෙහිව සටන් කළ අතර අවසානයේ මෙම නගරයේ යටත් විජිතයක් බවට පත්විය. ” “එත්රුස්කෝ” සහ ” සන්නීතා” වරුන්ගේ බලපෑම නිසා මෙහි නගර ව්‍යුහය සහ ගොඩනැගිලි ග්‍රීක සහ ඉතාලි සංකලනයක් ගෙන ඇත. ගිනි කන්ද පුපුරා යාම නිසා නගරය පුරා තැන්පත්ව ඇති දාව්‍ය සම්බන්ධවබොහෝ සියවස් වල කැණීම් කරන ලදී. පළමුව කැණීම් තාක්ෂණය අවිද්‍යත්මකව තිබූ නමුත් 19 සියවස අතරතුර මෙය සීඝ්‍රයෙන් වැඩි දියුණු විය. අද වනවිට දියුණු තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙහි කැණීම් සිදු කරයි. මෙහි අභිරහස් සොයන්නට පුරාවිද්‍යාඥයින් තවදුරටත් වෙහෙස මහන්සි වී කටයුතු කරන අතර මෙය සංරක්ෂණය කිරීමට ද වැඩ කටයුතු සිදු කරයි.

කැණීම්වලදී සොයාගත් ඓතිහාසික රෝමානු වරුන්ගේ අගනා වූ සිතුවම් රැසක් මෙම පෞරාණික නගරය ආලෝකවත් කිරීමට සමත් වේ. මෙම සිතුවම් ඉපැරණි රෝමානුවන්ගේ තීක්ෂණ බුද්ධිය පිළිබිඹු කරන කැඩපතක් බඳුය. මෙම බිතුසිතුවම් විවිධ වූ කාල සීමා හතරක ශෛලිය ගනී. මතුපිට ආවරණය සහිත සිතුවම් රතු සහ කහ පැහැයෙන් යොදා ඉතා වර්ණවත් අන්දමින් නිර්මාණය කර ඇත. නගරයෙහි ප්‍රසිද්ධ “විල්ලා දි මිස්තේරො” ගොඩනැගිල්ලෙහි රූප මගින් බිත්ති ආවරණය කරන ලද සිතුවම් රාශියක් ද, ” කාසා දෙයි වෙත්ති” නම් ගොඩනැගිල්ලෙහි ඉතාමත් සියුම් අන්දමින් නිර්මාණය කරන ලද ඊජිප්තු ශෛලිය බිතුසිතුවම් ද සොයා ගන්නා ලදී. “බැරොක්” (17 – 18 සියවස්වල වූ කලා ශිල්පය) මුහුණුවර සහිත ඉන්ද්‍රජාලික ප්‍රදර්ශන මෙහි බහුලව දැක ගැනීමට හැකිය. “ෆෞනුස්” නම් නිවාසයේ ඇති ” අලෙස්සාන්ද්‍රෝ හෙවත් ඇලෙක්සැන්ඩර්” ගේ සටන නිරූපණය කරන සැලකිය යුතු සිතුවමක් වේ. මක්නිසාදයත් එය පිගන් ගඩොල් හා වීදුරු තහඩු වැනි දෑ මත මෝස්තර හා චිත්‍ර රටා යොදා අඳින ලද අගනා සිතුවමක් වීමයි. ( “ෆෞනුස්” යනුවෙන් ගැම් ඉතාලි ජාතිකයන් අදහන අං හා වලිගය ඇති දෙවතාවක් වේ. ගම්බදව ගැවසෙන මෙම දේවතාව විසින් භවභෝග හා හරකබාන ආරක්ෂා කරනු ලැබේ යැයි විශ්වාස කෙරේ.)

විල්ලා මිස්තෙරියෝසො හෙවත් අභිරහස් වලව්වේ ඇති බිතුසිතුවම්

ග්‍රීක ශෛලිය අනුගමනය කරමින් කරන ලද බොහෝ මූර්ති හා කැටයම් සහිත පිගං ගඩොල් විශිෂ්ට ගණයේ නිර්මාණයන් වේ. මෙහි ‘ලෝකඩ’ හා ‘ටෙරාකොටා’ (ප්‍රතිමා ආදිය සෑදීමට ගන්නා රන් පැහැති වැලි මිශ්‍ර මැටි වර්ගයක්) යොදා නිර්මාණය කරන ලද ග්‍රීක යුදෙව්වෙකු ගේ අගනා ප්‍රතිමාවක්ද ඇත.

තවද මෙම නගරයෙහි සිත් ඇදගන්නා සුළු දර්ශන සහ ස්ථාන වේ. “අපොල්ලෝ හෙවත් “ඇපලෝ” පූජා ස්ථානයේ “ඇපලෝ” සහ ” දියානා” සිටින සිතුවමක් ද, එම සිතුවමේ “ඇපලෝ” වීණාවක් වාදනය කරමින් සිටින අයුරු ද, “එෆේබෝ” වල් ඌරන් හට පහර දෙමින් හා උන් දඩයම් කරමින් සිටින අයුරු ද වනසතුන්ගේ නර්තනයන් ද මැනවින් නිරූපණය කර ඇත.
විශේෂ දෙය නම් පොම්පෙයි නගරය සුවිශේෂී දේශපාලනික, ආගමික හා ආර්ථික මධ්‍යස්ථානයක් වී තිබීමයි.

අලංකාර බැසිලිකාව හා ඇපලෝ පුදබිමෙහි එකල සාදන ලද කැටයම් සහිත ආරුක්කු තවමත් ශේෂව ඇත. එකල දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ “වෙස්පසියානො” පුදබිම හා “ජෝවේ” පුද බිම් ද වේ. තවද මෙය නරඹන කාහටවත් අමතක නොවන සොහොන් ගෙවල් සහිත වීදිය ද, ඉතා අලංකාර අභිරහස් වලව්වද (විල්ලා මිස්තෙරියෝසො) වේ. මෙම වලව්වේ සිතුවම් කරන ලද පුරාණ පාපැදියක් සහිත රූපය සියලු දෑ අතුරින් සැලකිය යුතු එක් දෙයක් වේ. ක්‍රි.පූ.1 සියවසේදී අඳින ලද මෙම චිත්‍ර ජීවිත පැතිකඩයන් විචිත්‍රවත් අන්දමින් නිරූපණය කර තිබීමත් අභිරහස් හා නිර්නාමික දෑද නිරූපණය කර තිබීමත් සැලකිය යුතු කරුණකි. තවද කාගේත් අවධානයට පාත්‍ර වන දෑ අතුරින් ” කුපිදෝ” වලව්ව සහ දෙවියන් වෙත කන්නලව් කරන සාමකාමී චරිත ද, තවමත් කල් පැවැත්මෙන් සමන්විතව ඇති “වෙත්ති” නිවාසය සහ විශාල රඟහල, කුඩා රඟහල ද වේ.

පොම්පෙයි සංචාරය කිරීමේදී එකල ගෘහ භාණ්ඩ විකිණීමට යොදාගත් වෙළඳ කුටි, වෙළඳසැල් තිබූ ස්ථාන දැකිය හැකිවේ. සියවස් ගණනාවකට එහා මිනිස් ජීවිත තුළ වූ අවාසනාවන්ත සන්ධිස්ථා නාත්මක පෙරළියක ප්‍රතිඵලයක් වශයෙන් ගල් ගැසුණු මිනිසුන් සහ ක්ෂය වී ගිය ගොඩනැගිලි අදටද එලෙසම පවතින ආකාරය පොම්පෙයි නගරය තුළ දැකිය හැක.

 

එර්කොලානො” –

එර්කොලානො නගරය

එර්කොලානො” නම් 18 වන සියවස්වල මතකයෙන් ඈත් වූ පොම්පෙයි නගරය තුළ වූ තවත් කුඩා නගරයකි. මෙම නගරයෙන් පියවර කිහිපයක් ඈතට වන්නට එනම් ගොඩබිම තුළට නෙරා ගිය හුදු ප්‍රදේශයේ මධ්‍යස්ථය ට වන්නට,”විසූවියස්” ගිනි කන්ද පිහිටා ඇත. ගිනිකන්ද මෙම නගරයට ඉතාමත් ආසන්න බැවින් මෙහි වූ ජනතාව එකල ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නට ඇත. මෙම නගරය තුළ වූ බොහෝ ගොඩනැගිලි ලීයෙන් තනා තිබීම “විසූවියස්” විනාශයේදී මිනිසුන්හට තර්ජනයක් විය. මක්නිසාදයත් මෙය එක් දිනක් තුළදී සිදු වූ විනාශයක් නොවීම නිසාත් බිඳෙන් බිඳ දුමාරය පමණක් නිකුත් වෙමින් තිබූ ගිනි කන්දෙන් විෂ වායු, තාපය සහිත වෙනත් ද්‍රව්‍ය 12km පමණ දුරට පිටවීම නිසාත් ය. වර්ෂ 1709 දී ඔස්ට්‍රියානු කුමාරයෙකු විසින් මෙම කුඩා නගරය තුළ නිලනොවන කැණීම් කළ අතර වර්ෂ 1738 දී මෙහි නිල වශයෙන් කැණීම් ආරම්භ කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ” විල්ලා පපීරෝ” නම් වලව්ව සොයාගත් අතර එය තවමත් කල් පැවත්මෙන් තහවුරු වී ඇත. මෙම කැනීම් අතරතුර වර්ෂ 1972 දී පහත දෑ සොයා ගන්නා ලදී.

 

 

විසූවියස් ගිනි කන්දේ ලාවා වලට හසුවූ මෘත දේහ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අzසියෙන්දා දි ලවෝරො ( work house)

පවුල් කිහිපයක් එකට වාසය කරන ලද මෙම නිවසෙහි ලීයෙන් තැනූ අලංකාර බිත්ති කොටස්, නිවස මධ්‍යයට වන්නට ගිම්හාන කල රශ්මිය අඩුවීම සඳහා තනා තිබූ සීතල ජලය සහිත නාන තටාකය, කාබනික ගෘහභාණ්ඩ නිවාසය, ග්‍රීක ශෛලිය ගෘහ භාණ්ඩ ඇති “නෙත්තූනො” සහ “අනාෆාරිතිස්” නිවාසයද වේ. එමෙන්ම විශාල සුඛෝපභෝගී නිවාසයක් වන ” තෙල්ෆුස්” නිවාසය “එර්කොලානො” නගරයෙහි දකුණු පෙදෙසේ ප්‍රධාන මාර්ගයට වන්නට පිහිටා ඇත. මෙහි ඇති විශාල කාමර බොහෝ වර්ණවත් සුවිශේෂී පිගං ගඩොල්වලින් ආලෝකවත් කර ඇත. පොම්පෙයි නගරයෙහි ඇති මෙම ස්ථාන ශත වර්ෂ ගණනකට එහා තිබූ විජ්ජාවක් බඳුය.

ඔ’පොලොන්තිස්

මෙම ප්‍රදේශය පොම්පෙයි නගරයේ වූ ඉතා අලංකාර නේවාසික භූමියකි. ” තෝර්රෙ අනුන්සිzආතා” යන නමින් අද මෙය හඳුන්වනු ලබයි. මෙහි විශේෂ ගොඩනැගිලි දෙකක් වේ.”විල්ලා පොප්පේයා” (නීරෝ අධිරාජයා ගේ බිරිඳගේ වලව්ව) සහ “විල්ලා දි ක්‍රස්සූස්” ය. පළමු ගොඩනැගිල්ලෙහි කාමර සීයක් ද අතිවිශාල පිහිනුම් තටාකයක් හා විශේෂිත වූ බිතුසිතුවම් ද වේ. “විල්ලා දි ක්‍රස්සූස්” හි ඇති වෙනස නම් පළමු ගොඩනැගිල්ලට වඩා මෙය සුඛෝපභෝගීත්වයෙන් අඩුවීමයි. එහෙත් එය අනුකරණය කර තනා ඇති බොහෝ දෑ මෙම ගොඩනැගිල්ලෙහි ද දක්නට ඇත. මෙහි ධනවත් කෘෂිකාර්මික ගැමි නිවාසයක මුහුණුවරක් ගෙන ඇත. නරඹන්නන් කුතුහලයට ලක් කරන මෙහි, අච්චු මගින් කරන ලද කෙමි සහිත භාජන හා ගල් කුට්ටි 400 පමණ ප්‍රදර්ශනයට ඇත.

“පොම්පෙයි” නගරය සංචාරය කරන්නන් හට එය නැරඹීමේ කාලපරාසය ඉතාමත් දුෂ්කර වේ. මක් නිසාද යත් මෙම නගරය එක් දිනකින් දෙකකින් නරඹා අහවර කිරීමට නොහැකි බැවිනි. අතීත “පොම්පෙයි”වැසියන්ගේ නොමනා ක්‍රියා කලාපයන් (සතුන් සමග සංවාසයේ යෙදීම) වැනි දෑ නිසා දේව ශාපයකින් “විසූවියස්” ගිනි කන්ද පිපිරුවේය යන්න “පොම්පෙයි” ජනයා තුළ අදටද පවතින මතයකි.නගරය නරඹන්නන් හට එකල සතුන් සමග මිනිසුන් සංවාසයේ යෙදෙන අයුරු ප්‍රතිමා මගින් සංකේතවත් කර තිබෙන ආකාරයද දැකගත හැකිවේ.

“පොම්පෙයි” නගරය මවකට සමාන කරමි. මක්නිසාදයත් සියලු දුක් ගින්දර තනිවම විඳ දරා ගත් මෙම නගරය අද වන විට නිසොල්මන්ව හිඳී. ඇය සාක්ෂි දරන්නේ නැත. එහෙත් කිව යුතුමය. ශතවර්ශ ගණනාවකට පෙර සිදු වූ ඛේදවාචකයේ සාක්ෂි කෙසේ නම්
ලොවට වසන් කර තබන්න ද? එබැවින් “ඇය” යනුවෙන් අමතා “පොම්පෙයි” නගරයට සානුකම්පිතව ජීවත්ව ආරෝපණය කරන්නෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *