පොතකින් දැනුන කවියක් – 09

කෘතිය : අඟුළු ලූ හැඟුම් දොර
කතෘ : නිශාන්ත මල්ලවආරච්චි
ප්‍රකාශනය : කර්තෘ

මුරණ්ඩු සිසුවාගේ කවිය.

සිප්කිරි දියවරින් සපිරුණු වැව් දියට
පෑයූ නුඹයි අම්මා සදිසි සඳවත
ලැබ සඳ කිරණ හිනැහෙන කුමුදු මල’තර
මම වෙමි තඹුරු මල විල්තෙර සුසුම් ලන

බමන මතින් පියතුම නිවසට ඇදෙන
නිබද දබර මව් නෙත කඳුලින් පිරෙන
කවර වෙහෙස දරුවත් පොත හිත රඳන
ඔසුවක් නොමැත ඇදුරිඳුනේ නුඹ පමණ

අල්ලට සිඟා මව් ගෙන කැව් ඉඳුල්පත
වල් කොළ අතුළ රළු බිම නිදි සුවය දෙත
කල් ගිය රෙදි වැරලි දැලිකුණු අපුල වෙත
ඇල්මෙන් අකුරු නැති මා අත වරද නැත

පාඩම් අමතකව අන්තිම අසුන අරා
විළියෙන් බරව ඉමි නෙත්යුග කඳුළු දරා
සනසන් ම’සිත පටබැඳි නම ඉවත හෙළා
පියුමක් විලස සුපිපෙමි විදු සෙවණ පුරා

පාසැල් අවධියේ පටන් ම කාව්‍ය නිර්මාණවල නියැලෙමින් පුවත්පත් කවි පිටු අතර තම නාමය සනිටුහන් කරමින් විදග්ධ සාහිත්‍යවේදීන්ගේ නොමසුරු ඇගයීමට ලක් වූ තරුණ කවියෙකු වශයෙන් නිශාන්ත මල්ලවආරච්චි කවියා සංනිදර්ශනය කළ හැකි ය. වර්ෂ 2014 දී ඔහු තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය ලෙස “අඟුළු ලූ හැඟුම් දොර” හිසින් යුත් කෘතිය ජනගත කරයි. සඳැස් ආකෘතියෙන් යුත් කාව්‍ය සඳහා කවියාගේ වැඩි රුචිකත්වයක් ඇති බව මේ පද්‍ය කෘතිය කියවීමේදී මැනවින් ආලෝලනය වේ. කවියා විශේෂයෙන් තම නිර්මාණ සඳහා පුරාණ ජනශ්‍රැතික කතා වස්තු උපයුක්ත කරගනී. වෙසතුරු දා වත, යශෝදරාවත, වදන් කවි පොත හා ගුත්තිල ජාතකය මෙහි ලා විශද කළ හැකි ය. ඉපැරණි මූලාශ්‍ර ආශ්‍රයෙන් නව අත්දැකීම් නිර්මාණයෙහි ලා කවියා මහත් සමර්ථයක් දක්වයි. මෙම කාව්‍ය කෘතියේ පද්‍ය නිර්මාණ හතළිස් එකක් අන්තර්ගත ය.

ළමා මනසෙහි චින්තන ස්වභාවය අරමුණු කරගනිමින් “මුරණ්ඩු සිසුවාගේ කවිය” නම් පැදි පෙළ විරචිත ය. පාසැල් අධ්‍යාපනයට අදක්ෂ දරුවෙකු කවියා තම වස්තු විෂය කරගනී. සඳැස් ආකෘතියෙන් නිර්මිත මෙය වදන් කවි පොත අභාසයට ගනිමින් සංරචිත ය.

“සිප්කිරි දියවරින් සපිරුණු වැව් දියට
පෑයූ නුඹයි අම්මා සදිසි සඳවත
ලැබ සඳ කිරණ හිනැහෙන කුමුදු මල’තර
මම වෙමි තඹුරු මල විල්තෙර සුසුම් ලන”

ශිල්ප ශාස්ත්‍රය නැමැති දියවරින් සැදි වැවෙන් කවියා සංකේත කරන්නේ පාඨශාලවයි. ඒ විදුබිමට පැමිණි නව ගුරුවරිය මවක ලෙසත් ඇගේ මුහුණෙහි කාන්තිය වැවට පෑයූ සඳකටත් කවියා උපමා කරයි. කවියාගේ සංකේත හා උපමා භාවිතය ප්‍රශස්ත ය. සඳ සිසිලය; සෞම්‍යය. සඳ එළිය ගලන්නේ ද රාත්‍රියට ය. නව ගුරුවරියද ඇගේ ඉගැන්වීම ද එලෙසමය. ගුරුවරියගේ අවධානය යොමුවන්නේ පංතියේ එක් කොටසකට පමණි. එනම් දක්ෂ සිසුහූට වෙත්. ඔවුන් සඳ එළියට පිපෙන කුමුදු මල් වැනිය. කථකයා අදක්ෂ ය. ඔහුට මෙම ගුරුවරියගෙන් ශිල්ප ඉගෙනීමට නොහැකි වේ. ‘මම වෙමි තඹුරු මල විල්තෙර සුසුම් ලන’ යන පද්‍ය පාදයෙන් එය මනාවට උපස්තමභනය වේ. තඹුරු පිපෙන්නේ හිරු එළිය මැද අරුණෝදයේ ය. එහෙත් ගුරුවරිය සඳක් නම් ඔහුට වන්නේ සැමදා සුසුම්ලෑමටය. කවියාගේ ඖචිත්‍යය කාව්‍යෝක්තිමත් මනරම් පද බන්ධනයෙන් නිර්මාණකරණය පිළිබද කවියාගේ පෘථුල බව මනාවට සංස්පර්ශය වේ.

කථකයාගේ කුටුම්බිගත පරිසරය ඉතා වියවුල් ය. සුරාසොඩෙකු වූ ඔහුගේ පියා නිතර මව සමඟ අඩදබර කරයි. කථකයා ඉගෙනීමට මහත් ආශා කරන්නේය. එහෙත් ඔහුට මේ කුටුම්බියේ ප්‍රශ්න මධ්‍යයේ ඒ සඳහා මනස සකසාගත නොහැකි බවත් තමාට ද මවක වැනි ගුරුවරියගේ සහයෝගය අවශ්‍යබවත් පවසන්නේ පාඨක හදවතේ සංවේගය වඩාත් තීව්‍ර කරමිනි. චිත්තරූපිත බස්වහර තුළ කවියා කරුණා රසය උපයුක්ත කරනුයේ නිතැතිනි.

“අල්ලට සිඟා මව් ගෙන කැව් ඉඳුල්පත
වල් කොළ අතුළ රළු බිම නිදි සුවය දෙත
කල් ගිය රෙදි වැරලි දැලිකුණු අපුල වෙත
ඇල්මෙන් අකුරු නැති මා අත වරද නැත”

කථකයා ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන්නෙකි. ‘ඉඳුල්පත’, ‘වල් කොළ අතුළ රළු බිම’, ‘රෙදි වැරලි’ යන අවස්තානෝචිත යෙදුම් භාවිතය කවියා සතු කාව්‍යකරණයේ විශිෂ්ටත්වය යි. නිදහස් මානසිකත්වයක් නොමැති පරිසරයක ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන කථකයා තම අධ්‍යයන කටයුතු හීන වීම පිළිබද වරද තමා පිට පවරා නොගනියි. ඔහු එම චෝදනාව මේ සමාජ හා ආර්ථික යාන්ත්‍රණයට එල්ල කරයි.

කථකයා පාසැලේ අධ්‍යයන කටයුතු අතපසු කිරීම නිසා පසුපස ආසනයට වී සිටියි. එහෙත් ඔහුගේ හදවතේ නැගෙන ශෝකය හා අසරණබාවය කවියා පද්‍යයට නගන්නේ ‘විළියෙන් බරව ඉමි නෙත්යුග කඳුළු දරා’ යන පද්‍ය පාදයෙනි. කවියා තම නිර්මාණය හරහා සමාජගත කරන්නට උත්සහ දරන්නේ මහත් වූ ඛේදවාචකයකි. ඉගෙනීමට අදක්ෂ නොවුණු මෙවන් කුටුම්බිගත පරිසර මධ්‍යයේ අසරණ අහිංසක දුප්පත් දරුවෝ කී දෙනෙකු මෙරට ගම්නියම්ගම් පුරාවට සිටිත් ද? ඔවුන් අදක්ෂ බවට ලේබල් කොට පංතියේ අවසන් පේළියට ගාල් කරන ගුරුවරු මොනතරම් ප්‍රමාණයක් මේ පාසැල් පද්ධතිය තුළ සිටිත් ද? කථකයා වන් දරුවන්ගේ මනසට එබී බලා ඔවුනගේ ප්‍රශ්නය තේරුම් ගෙන ඒ මනස ශක්තිමත් කොට යහමඟ පෙන්වන ගුරුවරු ලංකාවේ කොතරම් සිටිත් ද? යන්න මට පුද්ගලිකව ජනනය වන ප්‍රෙහෙලිකාවකි. කථාකයා ද ඒ නැවුම් බලාපොරොත්තුවෙන් සිටින බව කවියා නිර්මාණය කරන්නේ පහත පරිදිනි.

“සනසන් ම’සිත පටබැඳි නම ඉවත හෙළා
පියුමක් විලස සුපිපෙමි විදු සෙවණ පුරා”

තම සුවඳ හදවතෙහි සඟවගත් මෙවැනි අසරණ දරුවන් කොතරන්නම් මේ ලාංකීය පාසැල් ප්‍රවාහයේ සිටින්නේද? ගුරුවරු ලෙස ඔවුනගේ වගකීම විය යුත්තේ සියලුම දරුවන්ට එක හා සමානව අධ්‍යාපනය ලබා දීමය. එම නිසා දක්ෂ අයවලුන් කෙරෙහිම තම සිත නොයොදා අදක්ෂ දරුවනුත් දක්ෂයන් බවට පත්කිරීම ගුරුවරුන්ගේ වගකීමය. එහෙත් වර්තමානයේ සිදුවනුයේ අදක්ෂ දරුවන් ගුරුවරුන්ගේ බාහිර උපකාරක පංතිවලට යොමුකිරීම ය. ඒ සඳහා ද සහභාගිවීමට නොහැකි කථකයා වැනි අසරණ දරුවන්ගේ ඉරණම කවරක් ද? නිශාන්ත කවියා මෙම නිර්මාණය තුළින් ඉතා පුළුල් සමාජ කතිකාවක් ගොඩනඟයි.

පාසැල් උගැනුමෙහි අදක්ෂ වූ දරුවකුගේ මානසිකත්වය නිර්මාණය කිරීමේ දී කවියා යොදාගන්නා සඳැස් ආකෘතියත්, අවස්තානෝචිත චිත්තරූපිත භාෂා භාවිතයත්, සංකේත හා උපමා භාවිතයත්, පාඨක හදවතෙහි කරුණා රසය දනවමින් සංවේගය උපලක්ෂිත කිරීමත්, වදන් කවි පොතේ අභාෂයෙන් තත් නිර්මාණය රචනා කිරීමත්, සමාජ ගැටලුවක් ඉතා සංයමයෙන් කාව්‍යාලංකාරව නිර්මාණය කිරීමත් හේතු කොට මෙම පැදිපෙළ මෙම කාව්‍ය කෘතියේ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස ස්පනිෂිත කළ හැකි ය.

 

By – Ashoka Kulathunge

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *